නවකයන්ගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා - උමාරා සිංහවංශ




උමාරා සිංහවංශ කියන්නේ බටහිර ආරයේ සංගීතයත් එක්ක හරි හරියට නිර්මාණ කරන සැබැවින්ම කලා ක්ෂේත්‍රය තුළට ආලෝකයක් ගෙන දෙන දක්ෂ චරිතයක්. ඇයගේ නැඟණිය වන උමාරියා සිංහවංශත් සංගීත ලොවට දායක වුණු දක්ෂ ගායන ශිල්පිනියක්. කොහොම නමුත් උමාරා කියන්නේ තමන් සතු දැනුම මතු පරපුරට තිළිණ කරන්නට වෙර දරන කෙනෙක්. ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික සංගීත සන්නාමයක් බවට පත්වෙමින් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දුන් ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ සිය සංගීත ගුරු භුමිකාවේ නවමු පිටුවක් පෙරළමින් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දස්කම් එළිදැක්වීමට One Mic නමින් ප්‍රසංගයක් පසුගිය වසරවල පැවැත්වූවා. ඇගේ අලුත්ම තොරතුරු දැන ගන්නට ඇයට කතා කළා.


 උමාරා කොහොමද ජීවිතේ?


මේ දවස්වල නම් ටිකක් කාර්යබහුල කාලයක් ගත වෙන්නේ. නමුත් බොහොම සතුටින් උනන්දුවෙන් තියෙන වැඩ ටික කරගෙන ඉන්නවා.


මේ තරම් කාර්යබහුල වෙලා ඉන්න හේතුව මොකක්ද?


ඇත්තටම කාර්යබහුල වෙලා ඉන්නේ මගේ “උමාරා මියුසික් ස්ටුඩියෝ ඇකඩමි” ඇකඩමි එක මඟින් හැම වසරකම සංවිධානය වන One Mic ප්‍රසංගයේ “One Mic - phase 3” හි වැඩ කටයුතු කරගෙන යන ගමන් ඉන්න නිසා. අපි මේ ප්‍රසංගය මිට වසර දෙකකට පෙර පටන් ගත්තේ“උමාරා මියුසික් ස්ටුඩියෝ” සංගීත පාසලේ ඉගෙන ගන්න දරුදැරියන් තුළින් අනාගත ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට සහ ජාත්‍යන්තර තලයේ තරුණ දක්ෂතාවලින් පිරි පරපුරක් බිහි කිරීමේ අරමුණින්.


උමාරා මියුසික් ස්ටුඩියෝහි ආරම්භය මතක් කළොත්?


2017 වසරේ පෙබරවාරි මාසයේ දී, මගේ සංගීත පාසල ආරම්භ වන්නේ. මේ පාසලේ අරමුණ තමයි සංගීත ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් සහ සංගීතයට ආදරය කරන නව පරපුරට සංගීතය තුළින් ආනාගතය සාර්ථක කර ගෙන සංගීතයෙන් ඉදරියට එන්න අත්වැලක් සැපයීම. නිවැරදි තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් නිවැරදි ගායකයෙක් වෙන්නේ කොහොමද කියන දැනුම ඇකඩමිය යටතේ දරුවන්ට ලබා දෙනවා.


'One Mic - phase 3' ප්‍රසංගය අපි පවත්වන්නේ අප්‍රේල් මස 5 වෙනිදා BMICH එකේ.


කලින් වසරවලට වඩා මේ වසරේ සිදු කරලා තියෙන වෙනස්කම් මොනවාද?


ගිය වසරවලට වඩා මෙවර ප්‍රසංගයේ සුවිශේෂිත්වය තමයි ප්‍රසංගයට කලින් Graduation ceremony එකක් පවත්වනවා. මුල සිට මගේ “උමාරා මියුසික් ස්ටුඩියෝ ඇකඩමි” එක මඟින් ඉගෙන ගත්ත අයගේ convocation එක පවත්වන්න ප්‍රධාන උත්සවයක් තියෙනවා. ඒ එක්කම මෙවර මගේ පාසලේ දැනට සහභාගී වෙලා ඉන්න දරුවන්ගේ Audition Process එකෙන් පස්සේ දරුවන් 15 දෙනෙක් මේ ප්‍රසංගයට ඉදිරිපත් කරනවා. ඊට අමතරව අපේ රටේ ප්‍රවීණයින් සමඟ මේ වෙද්දී මේ සංගීත ක්ෂේත්‍රයේ නමක් හදන් ඉන්න අපේ ඇකඩමි එක මඟින් ඉගෙන ගත්ත ළමයි වෙනුවෙන් තමයි 'One Mic - phase 3' ප්‍රසංගය පවත්වන්නේ.


ඔබේ අලුත් ගීතයක් අහන්න ලැබෙන්නේ කවදද?


අනිවාර්යෙන්ම ළඟදීම අහන්න ලැබෙයි. අපි හිතාගමුකෝ ඒ අප්‍රේල් 5 වෙනිදාටම කියලා.


දවසින් දවස ක්ෂේත්‍රයට අලුත් අය එනවා, ඒ ගැන මොකක් ද අදහස?


ඒක අනිවාර්යෙන්ම විය යුතු දෙයක්. එතකොට තමයි ඕනෙම ක්ෂේත්‍රයක පැවැත්මක් තියෙන්නේ. නවකයන්ගෙන් අපටත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ඒ දේවල් එක්ක අපිට ක්ෂේත්‍රයක් විදියට බොහෝ දුරක් යන්න පුළුවන්.


ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන කතා කරොත්, දැන් කොහොමද පුතාට?


පුතා ඉතාම හොඳින් ඉන්නවා. පුතාගේ ඒ දියුණුව දිහා අපි දෙන්නම සතුටින් බලන් ඉන්නවා.


පුතත් සංගීත කටයුතුවලට කැමැත්තක් දක්වනවද?


මම විශ්වාස කරනවා පුතාත් සංගීතය එක්ක ඉඳියි කියලා. නමුත් තවම පොඩි නිසා අනාගතය ගැන ලොකුවට කියන්න බැහැ. මේ වෙද්දී නම් සංගීතයට වඩා ක්‍රීඩාව පැත්තට ගොඩක් බරයි.


ඔබේ සියලු කටයුතු වෙනුවෙන් ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


මට මගේ සංගීත ගමන යන්න මගේ දෙමව්පියෝ, අයියලා දෙන්නා, නංගි ලොකු සහයෝගයක් දුන්නා. ඒ අයගේ සහයෝගය නැත්නම් අද මම මෙතන නැහැ. ඒ වගේම මගේ ආදරණීය සැමියා සහ මගේ පුතාවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ හැමෝම මට ලබා දුන් සහ තවමත් ලබා දෙන සහයෝගය මත තමයි මම මේ තරම් සාර්ථක ගමනක් ඇවිත් තියෙන්නේ.


අනාගත බලාපොරොත්තු මොනවාද?


“උමාරා මියුසික් ස්ටුඩියෝ ඇකඩමි” එක තවදුරටත් ඉදිරියට සාර්ථකව කරගෙන ගිහින් අනාගතයේදී මේ සංගීත ක්ෂේත්‍රයට ලංකාවේ ඉන්න හොඳම ගායක ගායිකාවන් කිහිප දෙනෙක්ම බිහිකරන එක සහ මගේ පෞද්ගලික සංගීත ගමනේ වැඩ කටයුතු ටික සාර්ථකව කරගෙන යන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව.





Previous Post Next Post