එයා ආදරේ ප්‍රකාශ කරද්දි මට බයත් හිතුණා-කස්තුරි ජයවර්ධන




සංගීත් ප්‍රභූ වගේම කස්තුරි ජයවර්ධන කියන්නේ මේ දවස්වල මොන රූපවාහිනී නාලිකාව දැම්මත් දැකගන්න ලැබෙන චරිත දෙකක්. පුංචි තිරයේ මේ දෙන්නා එකට රඟපානවා වගේම පෞද්ගලික ජීවිතයේත් ආදරණීය පෙම් යුවළක්. මේ දෙන්නගේ ආදර කතාව බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේ දෙන්නා ගැන මේ විදියට කතා කරන්න හිතුවා. 


තවම ප්‍රධාන චරිතයකට පණ පොවන්න බැරි වුණාට ලැබුණු චරිත හරියට කරලා සම්මානයක් ගත්තා නේද ?


මම නිර්මාණ බොහෝමයකට සම්බන්ධ වුණාට නිර්මාණ දෙක තුනක් තියෙනවා මාව වෙනස් කරපු චරිත. ඒ එකක් තමයි “කෝප් විදියේ” දේව්ගේ චරිතය. ඒ චරිතයට මම සාධාරණයක් කරන්න ඇති. ඒ නිසා තමයි මට මේ පාර රයිගම් සම්මානයක් හිමි වුණේ. ආසයි තව හොඳට වැඩ කරලා සම්මාන ලබන්න. ප්‍රධාන චරිත කරන්නම ඕන නැහැ. ලැබෙන චරිතය හරියට කළාම ඇති.


ඔබ රංගනයට ඇවිත් කාලයක් වෙනවා. ආසාවෙන් ද ඉන්නේ ප්‍රධාන චරිතයක් කරන්න ..?


එහෙම ආසාවක් කියලා නැහැ. මම හිතන්නේ අපිට ආදරේ කරන රසිකයන්ට අපිව දැනෙන්න රංගනයේ යෙදුණා නම් ඒක තමයි සාර්ථක රංගනයක් කියන්නේ. ප්‍රධාන සුළු කියලා එකක් නැහැ චරිත ඇතුළේ මට හිතෙන විදිහට.‍


රංගන ක්ෂේත්‍රයේ රංගන ශිල්පිනියන්ට නම් කැපිලි කෙටිලි තියෙනවා. නළුවෙක් විදිහට ඔබට කොහොමද?


කැපිලි කෙටිලි කියන එක මොන රැකියාවටත් පොදුයි. මම හිතන්නේ අපි කරන දේ හරියට කරන්න ඕන. අපේ පාත් එක අපි හදාගන්න ඕන. ගමන කොහොමද යන්නේ කියලා අපි කලින් තීරණය කරන්න ඕන. එතකොට මොන බාධක ආවත් අපිට අදාළ නැහැ අපේ ගමන අපිට යන්න පුළුවන් . මම නම් එහෙම හිතාගෙන තමයි ජීවත් වෙන්නේ. එතකොට ජීවත් වෙන්න ලේසියි.


ප්‍රවිණ නළු නිළියෝ එක්ක එකට කැමරාව ඉදිරියේ සිටියදි ඔබේ රංගන සහාය මදි කියලා ටේක් කිහිපයකට ගිහින් තියෙනවාද ..?


අපොයි ඔව්. මම ටෙන්ෂන් වුණු වෙලාවට ගොඩක් නළු නිළියන්ට කරදර වෙලා තියෙනවා. නමුත් මට ටේක් කීයක් ගියත් හරි ෂොට් එක හරි අවුට් පුට් එක එනකල් කරන්න පුළුවන්. එවැනි අවස්ථා ඉවසගෙන ඉඳලා තියෙනවා. ඒක මම කරදරයක් විදිහට දකින්නේ නැහැ. සමහර අවස්ථා තියෙනවා ඉල්ලලා නැවත කරන. එතකොට අවුට් පුට් එක හොඳයි.


කස්තුරි පෙම්වතිය කරගත් එක තමයි මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරන්නේ. කොහොමද ඇගේ හමුවීම..?


අපි පෙම්වතුන්. නමුත් අපි තවම අපිව තේරුම් ගනිමින් ඉන්නවා. එයා එයාගේ ගමන යනවා. මම මගේ ගමන යනවා තනි තනි විදිහට දැනට. එයා හොඳ පෙම්වතියක්. එයා වගේ කෙනෙක් ලැබීම ගැන සතුටුයි මට. ඒ වගේම කියන්න ඕන එයා මගේ ජීවිතේට ආවට පස්සේ මම ගොඩක් සාර්ථක වුණා කියන එක


ආදරේ ප්‍රකාශ කරද්දී එයා අකමැති වුණා නම් මොකද කරන්න හිටියේ..?


එහෙම එකක් ඇත්තටම හිතුණේ නැහැ. අපි දෙන්නා යාළුවෝ වගේ ආශ්‍රය කළා. ඒ කාලේ නොදැනුවත්වම ආදරේ කරන්න පටන් ගත්තා දෙන්නම. 


කසාද බඳින්නම ද ආදරේ කරන්නේ ..?


කසාද බඳින්න තමයි ආදරේ කරන්නේ. නමුත් ඒකට මේ සුදුසු කාලය නෙමෙයි . අපි දෙන්නා ජීවිතේ ගොඩනඟා ගනිමින් යනවා. සුදුසු කාලයේ දි විවාහ වෙනවා.


ආදරෙන් පරාජය වෙයි කියලා බය නැද්ද ..?


එහෙම ලොකු තේරුමක් නැහැ. පුළුවන් හැම මොහොතකම ආදරෙන් ඉන්න උත්සාහ කරනවා. ආදරේ කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒක ඇත්ත. ඒත් මට එහෙම හිතිලා නැහැ. මේ මොහොත ජීවත් වෙනවා.


හැමෝගෙන්ම ආදර කතාව කොච්චර කල් හංගගෙන හිටියද..?


එහෙම හංගගෙන හිටියේ නැහැ. දන්න අය දන්නවා. අදටත් හැංගිලා ආදරේ කරන්නේ නැහැ.


දෙන්නම වෙජිටේරියන් නිසා කසාද බැන්දට පස්සේ උයන්න පහසු වෙයි….?


අපි දෙන්නා සෙට් වෙන්නෙත් ඔය වෙජිටේරියන් කතාවක් නිසා තමයි. ඒක දිග කතාවක්. ගැළපෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති. එහෙම ගැළපිම් තියෙන එකත් හොඳයි ඉතිං.


සංගීත් ව්‍යාපාරිකයෙක් වෙන්න මාන බලනවලු..?


රඟපාන අතරතුර ව්‍යාපාරයක් කරන්න හිතුවා. මේ දවස්වල ඒකටත් සූදානම් වෙනවා. මම හිතනවා ඒකට වැඩි කාලයක් යොමු කරන එක හොඳයි කියලා.


කස්තුරි කොහොමද ජීවිතේ මේ දවස්වල ආදරෙ විඳිමින් ජීවත් වෙනවා නේද..?



ආදරේ විඳිනවා. අපි සතුටින් ජීවත් වෙනවා. ඔය අතරේ එයා එයාගේ වැඩ කරගන්නවා. මම මගේ නිර්මාණ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා. 


සංගීත් ආදරය ප්‍රකාශ කරද්දී මොකද හිතුණේ. එයා ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා තේරුණාද..?


ඇත්තටම කිව්වොත් ආදරේ ප්‍රකාශ කරපු කාලයක් මතක නැහැ. අපි දෙන්නටම. අපි මුලින්ම යාළුවො වගේ හිටියේ. සංගීත් අයියා කිව්වා වගේ අපේ ආදරේ ඇති වුණේ ඔය යාළුකම දුරදිග ගිහින් තමයි. එයා ගැන මට එහෙම තේරුම් ගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මොකද යාළුවෝනේ.


ඔයත් නිළියක්, නළුවෙක්ට ආදරේ කරන්න බයක් හිතුණේ නැද්ද..?


ඇත්තටම බයක් හිතුණා. බොහෝ දෙනෙක් කියනවානේ නළුවෝ මෙහෙමයි. එයාලගේ චරිත මෙන්න මේ වගේ කියලා. ඒ නිසා එයා ආදරේ ප්‍රකාශ කරද්දී මට පොඩි බයක් හිතුණා. නමුත් නළුවෝ කියන්නෙත් මිනිස්සු. සමාජ ගොඩනඟා ගැනීම් මත තමයි ඒවා. නළුවෝ හොඳ නැහැ. නිළිය හොඳ නැහැ නරකයි කියලා සමාජය විසින් කතා හදනවා. එක හැමෝටම පොදු නැහැ. එහෙම නරක නළුවෝ හෝ නිළියෝ කීපදෙනෙක් ඇති. ඒ එක්කෙනෙක් දෙන්නෙක් නිසා තමයි හැමෝම ඒ මිම්මෙන් මනින්නේ. සාමාන්‍ය ජීවිත ගත කරන පිරිමිත් ඉන්නවා ගැහැනු ළමයි රවට්ටන. ප්‍රශ්න ඇති කරන. ඒ නිසා මම ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැහැ. එයා ආදර ප්‍රකාශ කරන්න කලින් අපි යාළුවෝ වගේ ආශ්‍රය කරද්දි තේරුණා එයා හොඳ කෙනෙක් කියලා. එයා මට ආදරේ කරන විදිහ, එයා මාව ආරක්ෂා කරන විදිහ මම එයාගෙන් දැක්කා. ඒ නිසා මම සංගීත් අයියට බය නැතුව ආදරය කරන්න පටන් ගත්තා.


කොච්චර කාලයක් හැංගිලා ආදරේ කළාද..?


එහෙම අපි හැංගිලා ආදරේ කළේ නැහැ.


සාමාන්‍ය පෙම්වතුන් වගේ අපි දෙන්නත් ආදරේ කරනවා. අපි ආශ්‍රය කරන අය දන්නවා අපි පෙම්වතුන් කියලා. අපි දැන් ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු තුනහමාරක් වෙනවා. නමුත් අපි පෙම්වතුන් වුණා කියලා එහෙම මාධ්‍යට කියලා නැහැ. නිදහසේ ජීවත් වෙන්න තමයි බලන්නේ.


මනාලියක් වෙන්න දැන්ම දින ගණිනවද, ටික කාලයක් යයිද..?


තව ටික කාලයක් යයි. මම ඉගෙන ගන්නවා. තවමත් අපි ස්ථාවරයකට ඇවිත් නෑ. හිමීට අපි අපි දෙන්නගෙ වැඩ කටයුතු කරගෙන හරි කාලය ආවම විවාහ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. තවම දින වකවානු දාගෙන නැහැ. බොහෝ දුරට තව අවුරුදු දෙක තුනකින් වෙයි.


දෙන්නගේ තේරුම් ගැනීම කොයි වගේද? වැඩිපුර රණ්ඩු කරන්නේ කවුද ..?


වැඩිපුරම තේරුම් ගැනීම තියෙන්නේ සංගීත් අයියට. වැඩිපුරම රණ්ඩු කරන්නේ මම. මම හිතන්නේ අපි දෙන්නගෙ ආදරේ මෙච්චර දුරදිග ආවේ එයාගේ ඉවසීම නිසා වෙන්න ඇති. ඒ තරම් එයා මාව තේරුම් අරගෙන ජීවත් වෙන්නේ.


විවාහයෙන් පස්සේ සංගීත් රංගනයෙන් ඉවත් වෙන්න කිව්වොත් ඔයා මොකද කරන්නේ..?


මම හිතන්නේ නැහැ විවාහ වුණාට පස්සේ සංගීත් අයියා මට රංගනයෙන් ඉවත් වෙන්න කියයි කියලා. අදටත් නිර්මාණයක් ලැබුණොත් එයා තමයි කියන්නේ මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. අද මම රංගන ජීවිතයේ යම් තැනක ඉන්නවා නම් ඉන්නේ එයා නිසා. ඒ නිසා මම හිතන්නේ නැහැ එයා මට රංගනයෙන් ඉවත් වෙන්න කියයි කියලා. කිව්වොත් එදාට බලමු. 


ආදරේට කස්තුරිට ගෙදරින් බාධා ආවේ නැද්ද ..?


කොහෙත්ම නැහැ. අපි යාළුවෝ වගේ ආශ්‍රය කරනකොට එයා ගැන මගේ පවුලේ හැමෝම දැනගෙන හිටියා. එයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඒ නිසා අපි පෙම්වතුන් වුණාට පස්සේ කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. සම්බන්ධය නතර කරන්න කිව්වේ නැහැ . ප්‍රශ්නයක් නැහැ කිව්වා. දැන් මට වඩා එයා තමයි මගේ පවුලේ අයට ලොකු. ඒ තරම් එයාට ආදරෙයි.


නළුවෝ සාමාන්‍යයෙන් දකින දකින නිළියට ආදරේ කරනවා කියලා කියනවා, සංගීත් එහෙම කෙනෙක් කියලා හිතුණේ නැද්ද..?


ඒ කතාවත් සමාජ සම්මතයක්. මටත් එහෙම නොහිතුණා නෙවෙයි.. හැබැයි මට හිතුණේ නැහැ සංගීත් අයියා එහෙම කරයි කියලා. එයා එහෙම කෙනෙක් නෙවෙයි. කවදාවත් මට බොරු කරල නැහැ. මගේ විශ්වාසය කඩලා නැහැ. ඒ නිසා මට එයා ගැන එහෙම හිතන්න බැහැ. මට එහෙම හිතෙන්නේ නැහැ.


ඔයා ශලනි තාරකා වගේ කියලා කවුරුත් කියලා නැද්ද .. ශලනිගේ ප්‍රතිචාර කොහොමද ..?


බොහෝ දෙනෙක් මට කියලා තියෙනවා මම ශලනි අක්කා වගේ කියලා.


ශලනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න නිහතමානීම නිළියක්. ශලනි අක්කා හරිම හොඳයි. ඊර්ෂ්‍යාවක් නැති චරිතයක්. එයා ගොඩක් ජනප්‍රිය කෙනෙක්නේ. ඒ තැන වෙන කෙනෙක් හිටිය නං ශලනි අක්කා වගේ මට ප්‍රතිචාර දක්වන එකක් නැහැ. සමහරු කැමති නැහැනේ තමන් වගේ කෙනෙක් තවත් ඉන්නවා කියලා හිතන්න. විශේෂයෙන්ම මේ වගේ ක්ෂේත්‍රයක. නමුත් ශලනි අක්කා එහෙම නැහැ. කොහේ දැක්කත් හොඳට කතා කරනවා. ඒ නිසා මම එයාට හරි ආදරේයි. ගරු කරන චරිතයක්.


ඒ රූපයට සමාන නිසා ඔයාට රඟපාන්න අවස්ථා හිමි වෙලා තියෙනවා ද ..?


ඕන තරම් අවස්ථා හිමිවෙලා තියනවා. මම හිතන්නේ ඒ රූපයට ටිකක් මම සමාන නිසා මට ගොඩක් නිර්මාණ වලට ආරාධනා ලැබිලා තියෙනවා. එයත් මාව රෙකමන්ඩ් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් එහෙම කවුරුත් කරන්නේ නැහැ. මම ඒ රූපයට සමාන නොවුණා නම් අද රංගන ශිල්පිනියක් නොවෙන්න ඉඩ තිබුණා. මට වැඩ ගොඩක් ලැබෙන්නේ එයා නිසා තමයි.


ඒ වගේම කියන්න ඕන මම දෙරණ අවුරුදු කුමරිය වෙන්න එයා වගේ කියන එකත් බලපාන්න ඇති. මගේ කන් දෙකට ඇහිලා තියෙනවා එයා ශලිනි තාරකා වගේ එයාව තෝරගන්න කියලා කියනවා. එනිසා මම එදා අවුරුදු කුමරිය විදිහට තේරෙන්නත් ඇති.


අලුත් නිර්මාණ කටයුතු මොනවද කියලාම අපේ කතාබහට සමුදෙමු..?


ජානු ටෙලි නාට්‍යයෙන් මාව දකින්න ලැබෙනවා. ඊට අමතරව නීල පබළු ටෙලිනාට්‍යයේත් තවත් අලුත් ටෙලි නාට්‍ය දෙකකත් මාව දකින්න ලැබෙනවා. මේ දවස්වල මගේ කාලය වැඩිපුරම ගත වෙන්නේ ඔය නිර්මාණ ටිකත් එක්ක තමයි.





Previous Post Next Post