මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් විදිහෙ කෙනෙක් නම් වඩා හොඳයි -සංජානා විජේනායක



කඳුරට පුරවරයේ සුන්දර ගම් පියසකින් කලා ලොවට පෑයූ රුවැත්තියකි නෙත්මි සංජානා විජේනායක. ඉතාම කෙටි කලක් ඇතුළත ප්‍රේක්ෂක ආකර්ෂණය තුළින් ඉහළ ජනප්‍රියත්වයක් ලද ඇය ස්වර්ණවාහිනීයේ විකාශනය වන “නොනිමි“ (නිමා නොවන සෙනෙහසක කතාව) ටෙලි නාට්‍ය තුළින් දැන් ඔබේ ආලින්දයටම එන්නීය. එහි එන සමරසිංහ මැඩම්ගේ දුව ෂෙනාලි ලෙසින් එහි ඇය රංගනයෙන් දායක වන්නීය.


මුලින්ම ඔබේ පවුලේ විස්තර කිව්වොත්?


මගේ පවුලේ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි ඉන්නේ. අපි ඉන්නේ පිළිමතලාවේ. මගෙ තාත්තා රජයේ රැකියාවක් කරන්නේ. අම්මා ගෘහණියක්. මල්ලි නම් තවම ඉගෙන ගන්නවා.


ඉගෙන ගන්න කාලේ මොන වගේ කෙනෙක් වෙන්නද හිතුවේ?


මම ඉගෙන ගත්තේ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ. පාසල් යන කාලේ මගේ වැඩිම කැමැත්ත තිබුණේ ගුරුවරියක් වෙන්න. ඒ වුණත් රඟපාන්නත් පොඩි අවස්ථාවක් ලැබුණොත් හොඳයි කියලා වගේ අදහසකුත් හිතේ තිබුණා. ගෙදරින් මට නිදහස දීලා තිබුණා කැමැති දෙයක් කරන්න. මගෙ අම්මා තාත්තා දන්නවා මම වැරදි තීරණ ගන්නේ නැහැ කියලා. මම පාසලේ නිවේදන කටයුතු කළා. මගෙ අම්මාගේ සාරි ඇඳගෙන මම ගුරුවරියක් වගේ පුංචි කාලේ රඟපානවලු. අපේ නැන්දා ගුරුවරියක්. ඒ කාලේ ඉඳලම ගුරුවරියක් වෙන්න තමයි මම හීන දැක්කේ.


 

පුංචි කාලේ ඉඳලා තිබුණු ගුරුවරියක් වීමේ හීනේ දැන් අත්හැරිය ද?


මං මේ වෙනකොටත් ඒ සඳහා සූදානම් වෙමින් ඉන්නේ. දැනට මම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියේ වැඩ කටයුතු කරගෙන යනවා.


 

ඔබේ කුඩා කාලයේ ඉඳලා තිබුණු බලාපොරොත්තු දෙකම ඉටුවෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?


ගොඩක් සතුටුයි. කලාවට එක්වීමට ලැබීම ගැන හරිම සතුටුයි. ඒ ජනප්‍රියත්වය හැමෝටම ලබාගන්න බැරි එකක්.


 තාත්තා ඔයා නිළියක් වෙනවට කැමති වුණාද?


අනේ නෑ. එයාලගෙන් ලොකු විරෝධයක් ආවා. පස්සේ සුරාජ් අයියා කරුණු කියලා දීලා පැහැදිලි කළාට පස්සේ 100%ත් විශ්වාසයි. දැන් ෂේප්. මොකද මේ ෆීල්ඩ් එක ගැන විවිධ කතා තියෙනවනේ. ඒවයින් මම අමාරුවේ වැටෙයි කියලා අම්මා තාත්තාට බියක් ඇති. ඒකයි.


 

ගෙදරින් ඔබට දැන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?


ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මි මාත් එක්ක ෂූටිං තියෙනකොට එනවා.


 

මේ ඔබේ ප්‍රථම ටෙලි නාට්‍ය නේද?


නොනිමි මගේ ප්‍රථම ටෙලි නාට්‍ය. ප්‍රධාන චරිතයක් එක්කම රඟපාන්න මට ඒ අවස්ථාව ලැබීම ගැනත් සතුටුයි.


 

කෙටි කලක් තුළ ඔබ අසීමිත ජනප්‍රියත්වයක් ලබමින් ඉන්නවා. ඒ ගැන මොකද හිතෙන්නේ?


ගොඩක් සතුටුයි. දෙස් විදෙස් රටවල බොහෝ පිරිස්වලින් ඒ සඳහා ‍මට ප්‍රතිචාර රැසක් ලැබෙනවා.


 

මේ දවස්වල නාට්‍යයේ පේන්න නැත්තේ ඇයි? ඉක්මනින් අපිට බලන්න ඔයා ඒ ෂෙනාලිගේ චරිතය තුළින් අපි අතරට නැවත එන්න කියලා බොහෝ අය කමෙන්ට්ස් දානවා.


 

ඔබට රඟපෑමේ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


චවිනි කියන මගේ යාළුවෙක් හරහා තමා මේ ටෙලි නාට්‍ය සඳහා මට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. එයා කිව්වා මෙන්න මේ විදිහේ අවස්ථාවක් තියෙනවා කතා කරලා බලන්න කියලා. දවසක් මම දුරකතනයෙන් නොනිමි නාට්‍යයේ අධ්‍යක්ෂ සුරාජ් මාපා අයියාට කතා කළා. ඔහු මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්වා. මම එහි ගියා. ඉන් පස්සේ තමයි මට නොනිමි නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ.


ප්‍රවීණයන් එක්ක හා හා පුරා කියලා ප්‍රථම වරට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම කොහොමද?


ඇත්තටම ඒක තමා මට ලැබුණු ලොකුම වාසනාව. මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ප්‍රවීණ රංගන ශිල්පී සුරාජ් මාපා. ඒ වගේම මගේ අම්මා විදිහට ඉන්නෙ ප්‍රවීණ රංගනවේදිනියක් වන දිල්හානි අශෝකමාලා. දිල්හානි මහත්මියව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඇය ලොකු සහයෝගයක් මට ලබා දෙනවා. ගොඩක් දේවල් කියලා දෙනවා. ඇය හරිම නිහතමානී කෙනෙක්. ඇත්තටම මට අම්මා කෙනෙක් වගේ. මගේ ප්‍රථම නිර්මාණය තුළින්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ රඟපාන්නට ලැබීම මා ලැබූ වාසනාවක් කියලා දැනෙනවා. හැමෝම මට හොද සහායක් ලබා දෙනවා.


 

රූගත කිරීම්වලදී අමතක නොවන සිදුවීම මොකක්ද?


මං මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්නෙ. ඉස්සර වෙලාම රූගත කිරීම් වලට සහභාගී වූ අවස්ථාව මට කවදාවත් අමතක වෙන්නේ නැ. මම එදා පුරුදු පුහුණු වෙලා මගේ චරිතෙට අදාළ ඩයලොග්ස් එහෙමත් මතක තියාගෙන කැමරාව ඉස්සරහට ගියා. ඒත් මට එතැනදී ඔක්කොම අමතක වෙලා බය හිතුණා. කැමරා තාක්ෂණ ශිල්පීන් ඇතුළු පිරිස මං දිහා බලාගෙන හිටියා. සුරාජ් අයියා මගේ හිත හදලා අපි ආයෙ සීන් එක ගමු නංගි කිව්වා.


 

පෙම්වතෙක් ඉන්නවද?


තවම නැ.


 

අනාගත සහකරු මොන වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලද ඔබට හිතෙන්නේ?


හොඳ තේරුම් ගැනීමක් ඇති මං ගැන ලොකු විශ්වාසයකින් හා අවබෝධයකින් හැමදාටම මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් විදිහෙ කෙනෙක් නම් වඩා හොඳයි.


 

අවසාන වශයෙන් නෙත්මිට කියන්න තියෙන්නෙ මොනවාද?


මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සුරාජ් අයියා, සම අධ්‍යක්ෂ චන්දන ජයසිංහ, ප්‍රවීණ නළු නිළියන් ඇතුළු සියලු දෙනාටමත්, මගේ යාළුවා ලෙස රඟපාන ෂයිනි අක්කටත් ටීම් එකේ සියලු දෙනාටත්, මාගේ අම්මා තාත්තා විශේෂයි. මගේ දෙස් විදෙස් ප්‍රේක්ෂක ජනතාවත් මම මේ වෙලාවේදි ආදරයෙන් මතක් කරනවා.





Previous Post Next Post