අපේම කියලා ගෙයක් හදන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා - විශ්ව කොඩිකාර




විශ්ව.. මේ දවස්වල ඔබ නිර්මාණ කටයුතු කිහිපයකම නියැලිලා ඉන්නවා?


ඔව්.. මේ දවස්වල මම මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා රචනා කළ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන'කියා දෙන්න ආදරේ තරම්' ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ ටෙලිනාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව මේ දිනවල විකාශය වෙන'ගගන පියවර' ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායක වෙනවා. එහි තිර පිටපත ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ. අධ්‍යක්ෂණය කරන්නෙ චන්දික විජයසේන මහතායි. මම රංගයෙන් දායක වෙන'Ice' ටෙලිනාට්‍යයත් ජාතික රූපවාහිනි‍යේ මේ දිනවල විකාශය වෙනවා. එම ටෙලිනාට්‍ය ප්‍රභාත් රෝෂාන් මහතාගේ අධ්‍යක්ෂණයක්. ගයාන් ‍හෙට්ටිආරච්චිගේ තිර පිටපතක්.


ඔබ රඟපෑ සිනමාපටයක් තිරගත වීමටත් බොහෝ ආසන්නයි. එහෙම නේද?


ඔව්.. අජිත් ධර්මසූරිය මහතා අධ්‍යක්ෂණය කළ'වර්ණ' චිත්‍රපටය තිරගත වීමට සූදානම්. ඉදිරියේදී එම චිත්‍රපටයත් තිරගත වේවි. බොහෝ විට අප්‍රේල්, මැයි මාස වෙද්දි චිත්‍රපටය තිරගත වේවි. මම මේ වෙද්දි චිත්‍රපට කිහිපයක්ම කරලා තියෙනවා. හැම නිර්මාණයකටම මම මගේ දරුවන්ට වගේ ආදරය කරනවා. ඒ හා සමානව'වර්ණ' චිත්‍රපටයටත් ආදරය කරනවා. මගේ කලා ජීවිතේ ධනාත්මක වෙනසක්'වර්ණ' චිත්‍රපටය නිසා සිදුවේවි යැයි මම විශ්වාස කරනවා.


විශ්ව මහනුවර කෙනෙක්. අද වෙද්දි විශ්වගේ පදිංචිය ගමෙන් කොළඹට මාරුවෙලාද?


නැහැ. මගේ පදිංචිය වෙනස් කරන්න මම කැමති වුණේ නැහැ. මම නුවරට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඕනෑම කෙනෙක් නුවර සුන්දරත්වයට, ඒ පරිසරයට හරි ආසයි. හරිම නිස්කලංක වටපිටාවක්. මේ වෙද්දි මම මගේ බිරිඳගේ නුගේගොඩ තියෙන මහගෙදර පදිංචිවෙලා ඉන්නවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුවෙන්නෙ කොළඹයි. ඉතින් ඉදිරියේදි කොළඹ අවටම අපේම කියලා ගෙයක් හදන්න සූදානමින් ඉන්නවා. ඒ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු නිසාමයි. ඒ කැපකිරීම දරුවන් නිසා කරන්න වෙනවා. හැබැයි මම තාමත් නුවරට ආදරෙයි. කලාකරුවෙක් හැටියට ඒ නිස්කලංක බවට, ඒ පරිසරයට, ඒ හුස්ම පොදට මම අදටත් හරි ආදරෙයි.


ඔබ කලා පවුලක කෙනෙක්. කලාකරුවෙක් වෙන්න ඒ පසුබිම බලපෑවා නේද?


ඔව්.. මම කලාකරුවෙක් වෙන්නෙ මගේ පියා නිසායි. ඔහු හිටපු රංගන ශිල්පියෙක්. නිෂ්පාදකවරයෙක්. අධ්‍යක්ෂවරයෙක්. තාත්තා මට මේ ක්ෂේත්‍රයට එන්න බල කළේ නැහැ. "ඔයාට කැමති දේ ඔයා කරන්න" කියලා තාත්තා මට උපරිම නිදහස දීලයි තිබුණෙ. මම මේ ක්ෂේත්‍රයට එන්න ආසා නිසා "ඔයා මේ සම්බන්ධව ඉගෙන ගන්න"  කිව්වා. මම මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ අවුරුදු තුනක් නාට්‍ය හා රංගන කලාව ඉගෙන ගත්තා. ඒ කොළඹ සුදර්ශි ආයතනයෙන්. ඉරිදා, සඳුදා, අඟහරුවාදා තිබුණු වැඩමුළුවක්. මම ඉරිදා උදේ මහනුවර ඉඳන් බස් එකේ ඇවිත් අඟහරුවාදා ආයෙත් නුවර ගියා.


පුංචි කාලේ ඉඳන් ඔබ තාත්තාගේ කලා නිර්මාණ දැක්කා. ඒ අත්දැකීම කලා ක්ෂේත්‍රයට එන්න ලොකු හේතුවක් වුණා නේද?


ඔව්.. පුංචි කාලේ මම'නොහඬන් ළඳුනේ' කියන චිත්‍රපටයේ රන්ජන් රාමනායකගේ ළමා කාලයට රංගනයෙන් දායක වුණා. වීණා ජයකොඩි මහත්මිය තමයි ඒ චිත්‍රපටයේ මගේ අම්මා විදිහට රඟපෑවේ. එතකොට මට අවුරුදු පහක් විතර ඇති. පුදුමාකාර ආසාවකින් මම ඒ චිත්‍රපටයේ රඟපෑවා. රන්ජන් රාමනායක, විජය කුමාරණතුංග, ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම යන අය ඒ දවස්වල මගේ ලෝකයේ වීරයෝ වුණා. මේ වෙද්දි මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි යන අයත් ඒ කොටසට එකතුවෙලා ඉන්නවා. ඉතින් ඒ කාලේ මගේ වීරයෙක් වුණු රන්ජන් රාමනායක විදිහට මම ඇන්දා. ඒ විදිහට ඇවිද්දා. කොහොම හරි පාසලේ හතර වසර වෙද්දි මම පාසල් සංගීත කණ්ඩායමට එකතු වුණා. මම මුලින්ම ගොඩමුන්න කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගත්තා. හතර වසරේ සිට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා.


පුංචි කාලේ වීරයෙක් වුණු රන්ජන් රාමනායක එක්ක පසු කාලයේදී රඟපාන්න අවස්ථාවක් ලැබුණෙ නැද්ද?


මෑත කාලයේදී සුනිල් ටී. ප්‍රනාන්දු මහතා නිෂ්පාදනය කරන චිත්‍රපටයකට අවස්ථාවක් ලැබුණා. නමුත් යම් හේතුවක් නිසා ඒ අවස්ථාව මඟහැරුණා. මට එදා ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ අවස්ථාව මඟහැරුණා කියලා දැනගනිද්දි මට ලොකු දුකක් ඇතිවුණා. කවදා හරි දවසක රන්ජන් රාමනායක මහතා එක්ක එකට රඟපාන්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.


විශ්ව අද දරුවන් දෙන්නෙකුගෙ පියෙක්?


ඔව්.. අපිට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. දුව කවින්ද්‍යා ගංසාදරී කොඩිකාර. පුතා ඔනෙත් දනල් කොඩිකාර. දැන් දුව තුන වසරෙත් පුතා දෙක වසරෙත් ඉගෙන ගන්නවා. ඒ දෙන්නා ජාත්‍යන්තර පාසල් දෙකක අධ්‍යාපනය ලබනවා. දරුවන්ගේ කියුම් කෙරුම්, ඒ හැසිරීම් බලලා මමයි එරන්දියි ගොඩක් සතුටු වෙනවා. දරුවන් දෙන්නා අපි දෙන්නට වාසනාව ගෙනාවා. ගෙවන හැම තත්ත්පරයකම මම තාත්තා කෙනෙක් විදිහටත් එරන්දි මවක් විදිහටත් ගොඩක් සතුටු වෙනවා. 


දරුවන් ඔබව තිරයෙන් දකිද්දි ඒ දෙන්නගේ ප්‍රතිචාර කොහොමද?


දුවගේ පුංචි කාලේ මට තාම මතකයි. මගේ ඔඩොක්කුවේ හිටපු දුව මාව රූපවාහිනියෙන් දකිද්දි ඔළුව උස්සලා මගේ මූණ දිහා බැලුවා. ආයෙත් රූපවාහිනිය දිහා බැලුවා. අයෙත් මගේ දිහා බැලුවා. කවුද ඒ ඉන්නෙ කියලා මම දුවගෙන් අහද්දි එයා හිනා වුණා. එයාට මෙයාම තමයි ඉන්නෙ කියලා දැනෙන්න ඇති. ඒක හරි සුන්දර අත්දැකීමක්. පුතාත් එහෙමයි. හැබැයි ඒක දුවගෙන් ඊට කලින් දැකලා තිබුණු නිසා ඒ දේවල් මට අරුමයක් නොවුණත් හරි සුන්දර මතකයන් වුණා. අද වෙද්දි මාව රූපවාහිනියෙන් දකිද්දි "අන්න තාත්ති" කියලා ඒ දෙන්නා කෑගහනවා.


කලාවට ඒ දෙන්නගේ තියෙන කැමැත්ත කොහොමද?


පුතා සින්දු කියන්න හරි ආසයි. දුවටත් ඒ හැකියාව තියෙනවා. ඒක තාත්තා කෙනෙක් විදිහට මට ලොකු සතුටක්. හරියට තාලය තියලා දුවට සින්දු කියන්න පුළුවන්. මගේ අම්මගේ පරම්පරාවේ ගොඩක් අය සංගීතය නැඹුරුයි. එරන්දිගේ පැත්තෙත් සංගීතයට දක්ෂ අය ඉන්නවා. මගේ තාත්තගේ තාත්තත් සංගීතවේදියෙක්. ඒ නිසා ඒ හැකියාව මගේ දරුවන්ටත් ඇති කියලා මම විශ්වාස කරනවා. හැබැයි මමවත් එරන්දිවත් කවදාවත් දරුවන්ට බලපෑම් කරන්නෙ නැහැ. ඒ දෙන්නට චිත්‍ර ඇඳීමේ හැකියාවත් තියෙනවා. මට යහපත්, හොඳ ගතිගුණ තියෙන දරුවන් දෙන්නෙක් හිටියොත් හොඳටම ඇති. ජීවිතේ යන්න ඕන තැන ඒ අය තෝරාගනීවි. දරුවන්ට අපි නිදහස දීලයි තියෙන්නෙ. මගේ දරුවා පන්තියේ පළවෙනියා වෙන්න ඕනෙ, සාමාන්‍ය පෙළ ඒ නවයක්, උසස් පෙළ ඒ හතරක් ගන්න ඕනෙ කියලා බලාපොරොත්තු, හීන මටවත් එරන්දිටවත් නැහැ. ඒ දරුවන් විභාග අසමත් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. දරුවන්ගේ හැකියාවට නිසි තැන දෙන්න මම උත්සාහ කරනවා. දරුවන් නිදහසේ ඒ අයගේ නිවැරදි මාවත තෝරාගනීවි. දරුවන්ට ඒ නිදහසත් එක්ක දෙමව්පියන්ගේ ආදරය ලබා දීම හරිම වටිනවා.


2023 වසරේ හිතේ තියෙන බලාපොරොත්තු මොනවද?


මේ අවුරුද්දෙ හොඳ කලා නිර්මාණවලට දායක වෙන්න ලොකු වුවමනාවක් තියනෙවා. ගිය අවුරුද්දෙ නිර්මාණයක් නිෂ්පාදනය කරන්න ආසාවක් තිබුණා. ඒක මඟහැරුණා. මේ අවුරුද්දෙ කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේම කියලා ගෙයක් හදන්න පටන් ගන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.


දිශානි ජයමාලි





Previous Post Next Post