රසිකයෝ මට විශ්‍රාම ගන්න දෙන්නේ නෑ- සුනිල් එදිරිසිංහ



දිගු කාලයක් පුරාවට මෙරට සංගීත රසකාමීන්ගේ අපමණ ඇගැයීමට සහ වින්දනයට හේතු වූ සුනිල් එදිරිසිංහයන් ගේ ‘සඳකඩපහණ’ ප්‍රසංගය නැවත රටවටා ගමන් අරඹන්නට සැරසෙන තතු මෙරට සුනිල් එදිරිසිංහයන්ට ආදරය කරනු ලබන රසිකයන්ට දැන ගන්නට ලැබීම අමන්දානන්දයට හේතුවක්. ඉතිං එළැඹෙන පෙබරවාරි 04 වැනිදා සවස 6.30 ට ගම්පහ සිරිකුරුස විදුහලේදී තවත් සඳකඩපහණක ආරම්භයක් සනිටුහන් කරන්නට සැරසෙන වේලාවක  ඒ හඬට ඉඩකඩක් වෙන්කරන්න තීරණය කළා.


සුනිල් එදිරිසිංහයන් දිගු නිහැඬියාවකට පසුව යළි සඳකඩපහණ ප්‍රසංගය රටවටා ගෙනියන්න සූදානම් වෙනවා?


ඇත්තටම ඉතිං පසුගිය වකවානුවේ පාරිසරික බලපෑම් සහ විවිධ හේතූන් නිසා සංස්කෘතිකමය පරිසරය අපට අහිමි වුණා. ඉතිං ඒ කාලයේ මිනිස්සුන්ට කලා රසවින්දනයක් ලබන්න තරම් අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් දැන් ඒ තත්ත්වය මඟහැරිලා තියෙන නිසා නැවත සංස්කෘතිමය පරිසරය අපි ඇතිකර ගත යුතුයි. ඒ හින්දා මට හිතුණා නැවත ප්‍රසංගය පටන්ගත්තොත් හොඳයි කියලා.


සඳකඩපහණ ප්‍රසංගය පවත්වන්න විශේෂ හේතුවක් තිබුණාද?


මුළු ලෝකයම වෙලාගත්තු වසංගත තත්ත්වයක් එක්ක ප්‍රසංගයත් ඉබේම නතර වුණා. නැතිව අපි නතර කළේ නැහැ. නැවත ඒ තත්ත්වය මඟහැරීගෙන යන නිසයි යළි ප්‍රසංගය ආරම්භ කළේ. මේක යළි පටන් ගත්තේ මගේ වුවමනාවකට විතරක්ම නෙමෙයි. මොකද මට නිතරම ලැබෙන රසික ඉල්ලීම් නිසාමයි යළි ආරම්භ කළේ.


වසර හතරකට පසුව ප්‍රසංගය ආරම්භ කළහම ලැබුණ ප්‍රතිචාර එහෙම කොහොමද?


මට නම් කිසිම වෙනසක් නැහැ. මොකද මගේ ප්‍රසංගය යන ශෛලියක් තියෙනවා. මම ගීතයේ තියෙන ගුණාත්මක බව රැක ගැනීමට පුළුවන් තරම් උත්සාහ කරනවා. මම මෙහෙම හිතුවට මේ වැඩේට දායක වෙන්න විශාල පිරිසක් ඉන්නවා. අපි හුඟක් වෙලාවට බලන්නේ මෙතෙක් පැවති සුභාවිත ගීතයේ රාමුව සහ ඒ ආර ආරක්‍ෂා කර ගැනීමටයි. එතකොට අපි බලාගන්න ඕනෑ රසිකයාට උපරිම ගුණාත්මක වටිනාකමකින් යුතු දෙයක් ලබාදෙන්න. ඒ අනුව තමයි රසිකයාගේ කලාකරුවාගේ වගේම රටේ පැවැත්ම ඇතිවෙන්නේ.


නිහඬව හිටපු කාලයේ රසිකයෝ කතා කරලා මොනවද ඔබට කිව්වේ?


රසිකයෝ රසිකාවියෝ ඇයි සඳකඩපහණ කරන්නේ නැත්තේ, කවදද කරන්නේ කියන විපරමෙන් තමයි නිතරම හිටියේ. දැනටත් එහෙම තමයි. පසුගිය 14 වැනිදා හලාවත මාදම්පේ තිබුණ ප්‍රසංගයට කුරුණෑගලින්, කොළඹින් වගේම ගම්පහින් රසිකයෝ ඇවිත් හිටියා. රසිකයෝ සඳකඩපහණ ප්‍රසංගය හොයාගෙන යන ගතියක් තියෙනවා. ඒකට හේතුව අපි ප්‍රසංගයක් ඉදිරිපත් කරන සාර්ථක අසාර්ථක බව අනුවයි ඒක තීරණය වෙන්නේ. මම හැම තිස්සේම විශ්‍රාම ගන්න බලාගෙන ඉන්න කෙනෙක්. නමුත් රසිකයෝ මට විශ්‍රාම ගන්න ඉඩ දෙන්නේ නැහැ.


එදා තිබුණ සඳකඩපහණමද අද අපි මේ දකින්නේ?


මෙහෙමයි. අපි කාලානුරූපීව අපි ගීත කිහිපයක් වෙනස් කරලා තියෙනවා. ඊට අමතරව මගේ පුතයි දුවයි මේකට සහභාගි කරවා ගන්න මට වුවමනාවක් තියෙනවා. නමුත් පුතා විදෙස්ගතවෙලා ඉන්නේ. ඒක හින්දා මම දැන් දුවව සහභාගි කරවා ගන්නවා. ඒක මටත් ප්‍රසංගයේදී පොඩි විවේකයක් ලැබෙනවා. ඒ වගේම අපේ සුභාවිත ගිත ආර තරුණ පරපුරට භාරදිය යුතුයි.


එතකොට මේ ප්‍රසංග මාලාව දුවටයි පුතාටයි භාරදෙන්න අදහසක් තිබෙනවාද?


සමහර වෙලාවට ඒ ගොල්ලන්ට රසිකයෝ අතර ප්‍රසාදයක් ලබාගත්තොත් දිගටම කරගෙන යන්න පුළුවන්. මගේ බලාපොරොත්තුවක් නැහැ එහෙම භාරදෙන්න ඕනෑ කියලා. ඒක ස්වභාවයෙන් ම කරන්න ඕනෑ දෙයක් කියලයි මම හිතන්නේ. ඇත්තට ඒවා බලෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දුවයි පුතයි මේකට බලෙන් දාන්න බැහැ. රසිකයෝ පිළිගන්න ඕනෑ. මේ වෙනකොට රසිකයෝ පිළිගන්න වාතාවරණයක් ඔවුන්ට හැදිලා තියෙනවා.


පෙබරවාරි 04 වැනිදා සඳකඩපහණ ගම්පහට ගෙන එනවා නේද?


සඳකඩපහන ප්‍රසංගය ආරම්භ කළේ 1990 දශකයේ. එදා ඉඳලා අද දක්වා මේ ප්‍රසංගයට හොඳ ඉල්ලුමක් තිබෙනවා. මම ඒ ගැන කලාකරුවෙක් විදිහට බොහොම නිහතමානී සතුටක් තිබෙනවා. මගේ යුගයේ පරම්පරාවේ ඉන්න ජීවතුන් අතර ඉන්න රසික පිරිස ඉන්නවා වරින්වර ප්‍රසංගය නැරඹීමටත් එනවා. මට ඊට වැඩිය බොහොම සතුට දනවන කාරණයක් තමයි ටික ටික තරුණ පරම්පරාවත් මේකට එකතු වෙනවා. ඒක බොහොම සාධනීය ලකුණක්. මේක වියයුතු දෙයක්. මට ඒ පරපුරට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. මොකද මගේ දරුවෝත් තරුණයිනේ. මම විශ්වාස කරනවා මේ ගමන ඉදිරියට යන්න පුළුවන් කියලා.


මේ තරම් සියුමැළිද කළුගල් නමැති ගීතය ගැනත් කතා කළොත්?


ඒක ඇත්තටම හොඳ අර්ථාන්විත ගීතයක් කඩඉමක් වශයෙන් සලකන්න පුළුවන්. ඒ ගීතය දිගු ගමන් මඟකට පසුව බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු ගීතයක්. මේ ප්‍රසංගයේ ඒ ගීතය ගායනා කරන්නේ නැහැ.


වර්තමානයේ අපේ රටේ බිහිවන ගීත කලාව සහ තරුණ්‍යයේ නිර්මාණ ගැන මොකද හිතන්නේ?


මෙහෙමයි. අපේ රටේ මුල් බැසගත් හොඳ සංගීත ශෛලියක්, ආරක් තියෙනවා. වරින්වර ලෝකයේ ඇතිවන ප්‍රවණතා අනුව එක එක සංස්කෘතික ප්‍රවාහයන් රටවල් ඇතුළට ඇතුළු වෙනවා. ඒක අපට වළක්වන්න බැහැ. නමුත් රටක මුල්බැස ගත් කිසියම් සංගීත ක්‍රමයක්, ආරක් තියෙනවා නම් ඒක ජනතාව හොඳයි කියලා පිළිඅරගෙන තියෙනවා නම් ඒක බැහැර කරන්න බැහැ. ඒක නිසාමයි අදත් අපිට සඳකඩපහණ වගේ ප්‍රසංගයක් පවත්වාගෙන යන්න පුළුවන්වෙලා තියෙන්නේ.


අද වගේ කාලෙක මේ වගේ ප්‍රසංගයක් පවත්වනවාම කියන්නේ ලොකු අභියෝගයක් නේද?


ලෝකයේ වරින්වර ඇතිවන රැළි පෙරළි අනුව හොඳ කලාව ඉදිරියට ගෙන යෑම ලොකු අභියෝගයක්. ඒක මුළු ලෝකයටම පොදුයි. විශේෂයෙන් ම විචිත්‍ර සංගීතය පවත්වාගෙන යනවා කියන්නේ හරි අමාරු වැඩක්. මොකද මිනිස්සු බොහෝ වේලාවට නැඹුරු වෙන්නේ සරල ඉක්මනින් ආශ්වාදයක් ලබන්න පුළුවන් සංගීතයකට. ඉතිං හොඳ කලාවට අනිවාර්යයෙන් ම අභියෝගයක් තිබෙනවා හරසුන් ජනප්‍රිය රැල්ලක් එක්ක ස්වභාවිත ගීතයට අභියෝගයක් තිබෙනවා. නමුත් හරවත් ජනප්‍රිය රැල්ලකුත් තිබෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ.


වර්තමානයේ ඇසෙන ගීත දැක්කහම හිතේ කනගාටුවක් තිබෙනවාද? අද වෙනකොට කුණුහරුප අර්ථයේ ගීත පවා බිහිවෙනවා නේද?


පැහැදිලිව ඒ ගැන හිතේ කනස්සල්ලක් තිබෙනවා. මොකද ජනමාධ්‍ය කියන්නෙත් මිනිස්සු අතරට යන මාධ්‍යයක් නේ. එතකොට අපේ ලංකාවේ හොඳ ගීත අවශ්‍ය නම් නාලිකාවලට ඉස්මතු කරන්න පුළුවන්. නමුත් නාලිකාවලින් ඒ වගකීම ඉටුකරන්නේ නැහැ. ඉතිං ඒක නිසා අපිට කනගාටුදායක ස්වභාවයක් තියෙනවා. යන රැල්ලට උදව් කරනවා මිසක් උඩුගම්බලා පිහිනීමට නෙමෙයි උත්සාහ කරන්නේ.


යන අතට මගහගෙන යන්න ඉඩ හරිනවා. නමුත් එහෙම නෙමෙයිනේ වෙන්න ඕනෑ. ගලන ගඟෙන් සියල්ලම මුහුදට යා නොදී ඒ ගඟෙන් දිය දෝතක් අරගෙන තව තෙත්බිම් පරිසරය කොච්චර සරුසාර කරන්න පුළුවන්ද?


මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මිනිස්සු සඳකඩපහණ වගේ ප්‍රසංග බලන්න ඒවිද?



තවමත් සඳකඩපහණ ප්‍රසංගය වටා රසිකයෝ එක්රොක්වෙලා ඉන්න නිසා එහෙම ලොකු ප්‍රශ්නාර්ථයක් මට දැනෙන්නේ නැහැ. තවමත් රසිකයෝ පිරිස ඉන්නවා නේද?. තවමත්


කරගෙන යන්න පුළුවන් නේද කියන සැහැල්ලු බවක් තමයි මට දැනෙන්නේ. ආර්ථික ප්‍රශ්න මුළු රටේම තියෙනවා. ඒත් මිනිස්සු ආර්ථික ප්‍රශ්නත් තියාගෙන මෙවැනි ප්‍රසංගයක් නැරඹීමට එනවා නේද කියන කාරණාවත් එක්ක තෘප්තිදායක මනසක් ඇතිකරගන්න පුළුවන්.


සඳකඩපහණට යළි ආලෝකය වැටීම ගැන ඔබේ මතය මොන වගේද?


මෙතැන හුඟක් වෙලාවට දැන් තියෙන්නේ අපි ඉදිරිපත් කරන ගුණාත්මකභාවය එක්ක නෙමෙයි ගැටලුව තියෙන්නේ. ප්‍රධාන ගැටලුව තියෙන්නේ ආර්ථිකය එක්කයි. දැන් හැමදේම මිල අධික වෙලානෙ තියෙන්නේ. එතකොට ඒ කාලේ අපි ප්‍රසංගයක් ලබාදුන්න තත්ත්වයට අද කරන්න බැහැනේ. අන්න එතැනදී පොඩි ප්‍රශ්නාර්ථයක් එනවා. මිනිසුන්ගේ තිබෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක කොහොමද මිනිස්සු කලාව රස විඳින්නේ කියලා. නමුත් ප්‍රසංගයට තියෙන ඉල්ලීම අඩුවෙලා නෑ. හැබැයි ආර්ථිකය හරස්වෙලා තිබෙනවා හොඳ කලාව රස විඳින්න අධික මිලක් දීලා මිනිස්සුන්ට ටිකට් එකක් අරගෙන ප්‍රසංගයක් නරඹන්න යන්න බැහැනේ.


අලුත් ගීත එහෙම නිර්මාණය කළාද?


දැන් අපිට අලුත් ගීතයක් ප්‍රචාරය කරන්න තියෙන එකම මාධ්‍ය තමයි යූ ටියුබ් චැනල් හරහායි. ඉතිං ඒක කරගෙන යනවා. අලුත් ගීත කියැවුණහම. යූ ටියුබ් මාධ්‍යයට මුදාහරිනවා. හොඳ පදමාලා හම්බවුණොත් කියනවා.


නාලිකාවලින් සුනිල් එදිරිසිංහට ලොකු ඉඩක් හම්බවෙන්නේ නැතිද?


මට විතරක් නෙමෙයි. මේ රටේ මුල්බැසගත් ගීත සාහිත්‍යයක් කොතරම් නම් තිබෙනවාද?. එතකොට මට විතරක් නෙමෙයි ඒ අදාළ මුල් බැසගත් සංගීතයටම නාලිකාවලින් ඉඩක් නැහැනේ. ඇත්තටම ගීතය ඇතුලේම සාහිත්‍ය කලාවක් තිබෙනවා. ගීතය කියන්නේ මුළු ජීවිත අවබෝධයක් ලබාදෙන්න පුළුවන් කලා මාධ්‍යයක්නේ. ඒ තරම් ජනකාත්න කලා මාධ්‍යයක්නේ. ඇත්තටම ප්‍රචාරක නාලිකාවලින් තමයි ඒක ඉස්මතු කරලා ගන්න ඕනෑ.


සඳකඩපහණින් පසුව වෙනත් ආරක ප්‍රසංගයක් රසිකයන්ට තිළිණ කරන්න අදහසක් තිබෙනවාද?


නැහැ නැහැ. සඳකඩපහණ නමින් තමයි ඕක ඉතිං කරගෙන යන්න වෙන්නේ. මොකද මේක මගේ මුල්ම ගීතය. එතකොට ඒ නම දැන් රටේ ස්ථාපිත වෙලානේ තියෙන්නේ. සමහර වෙලාවට දැන් මේකට දියණියගේ සහභාගිත්වයත් ලැබෙනවා. රසිකයෝ මේ ගීත ආර වැළඳගන්නා තාක්කල් මේක කරගෙන යයි.


දිනේෂ් විතාන





Previous Post Next Post