මම රඟපෑ හැම චරිතයකටම හරිම ආදරෙයි - මනෝජා ප්‍රනාන්දු




නිස්සාර, රාධාවනී, මතක වැනි ගීත රූප රචනාවල මන බඳින රංගන විලාශයකින් බොහෝදෙනාට ආකර්ෂණය වූ ඇය මනෝජා ප්‍රනාන්දු. ටෙලි නාට්‍ය රංගනය තුළත් ඇය පෙන්වන රංගන ප්‍රතිභාව සුවිශේෂියි. 2023 ආරම්භ වෙද්දිම ඇය වේදිකාවට ගොඩ වී තිබෙනවා. ඒ මකරෙක් ඇවිත් වේදිකා නාට්‍යය සමඟින්.


 

අලුත් අවුරුද්දෙ වේදිකාවට ද ඉස්සෙල්ලාම ගොඩ වුණේ?


ජනවාරි මාසේ මුලින්ම වේදිකාවට තමා ගොඩ වුණේ. අපි අලුත් වේදිකා නාට්‍යයක් පටන් ගත්ත, අලුත් කිව්වට මේක අවුරුදු කීපයකට කලින් රාජ්‍ය නාට්‍යය උලෙළේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන හයක් දිනාගත් ළමා නාට්‍යයක්. නාට්‍යයේ නම “මකරෙක් ඇවිත්“ එහි මංගල දර්ශනය ප්‍රේක්ෂා නාට්‍යය උලෙළට ඉදිරිපත් කරනවා. ඒ අනුව ජනවාරි 24 වෙනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී සවස 3.30 සහ 6.30ට මකරෙක් ඇවිත් වේදිකා නාට්‍යය දැක ගන්නට පුළුවන්.


 මකරෙක් ඇවිත් වේදිකා නාට්‍යය ගැන ටිකක් විස්තර ඇතුව?


මකරෙක් ඇවිත් කියන ළමා නාට්‍යය සමන් පුෂ්පකුමාර මහතාගේ නාට්‍යයක්. මෙවර මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ පූජන දංදෙණිය අපේ සහෝදර කලා ශිල්පියා. නාට්‍යය නිෂ්පාදනය කරන්නෙ කැලුම් තෙලසිංහ. මේ නාට්‍යය 2014 අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් රාජ්‍ය නාට්‍යය උලෙළේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන හයක් දිනාගත් නාට්‍යයක්. මේ වෙද්දි ත් විවිධ පාසල්වලින් අපිට ආරාධනා ලැබිලා තියෙනවා.


 වැඩි කැමැත්තක් තියෙන්නේ වේදිකාවට ද?


මම වේදිකාවට කැමතියි. නමුත් පුංචි කාලේ මම නාට්‍යය කරන්න කැමතිම නැහැ. “ඔයා වේදිකාවට සුදුසු කෙනෙක්“ කියන එක බලෙන් කිය කිය මාව වේදිකා නිර්මාණවලට ගත්ත ගුරුවරුන්ට පිංසිද්ධ වෙන්න අද මම මේ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යනවා කියලා මම හිතනවා. හැබැයි මම වැඩිපුරම කැමති සිනමාවට.


 සිනමාවට කොහොමද තියෙන ඇරයුම්?


මගෙ ජීවිතේ මුලින්ම ඇරයුම් ලැබෙන්නේ සිනමාවට. ඒ නිසා පුංචි තිරයට කලින් මම රඟපෑවේ සිනමා තිරයේ. පුංචි තිරයට එන්න මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මුලින්ම පුංචි තිරයට මම ආරම්භයක් ගත්තේ පානාමංකඩ ටෙලි නාට්‍යය තුළින්. එය රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කරපු ඉතාමත් හොඳ නිර්මාණයක් නිසා තමයි මම කමක් නැහැ මේ ටෙලි නාට්‍යය කරනවා කියලා හිතුවේ. කොහොම වුණත් ඒ කාලේ ඉඳන් සිනමා නිර්මාණවලට දායක වුණා. රටේ තිබුණු තත්ත්වය එක්ක තවම ඒ චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් නැහැ..


 කලාවට සම්බන්ධ වීම ගැන අද තෘප්තිමත් ද?


අනිවාර්යයෙන්ම තෘප්තිමත්. මම කලාවට සම්බන්ධ වෙන්නෙ පුංචි කාලේ ඉඳන්මයි. මම කලාවට ගොඩක් ආදරෙයි. ඒ නිසා කලාවත් එක්ක ජීවත් වෙන ජීවියෙක් කියලා දැනෙනකොට හරිම සතුටක් දැනෙනවා.


 

මනෝජා කියන්නෙ ගොඩක් චරිත තෝරලා භාර ගන්න කෙනෙක් ද?


ඔව්. මම ගොඩක් දේවල් තෝරලා හිතලා හිතලා තමයි භාර ගන්නෙ. ඒක මම ක්ෂේත්‍රයට එන්නත් කලින් ඉඳලා කරපු දෙයක්. මට ක්ෂේත්‍රයට එන්න අවකාශය ගොඩනැඟුණේ විවිධ නිර්මාණෙවලින්. මට ටෙලිනාට්‍යය වලට ආරාධනා ලැබුණා. නමුත් මම ඒ කිසි දෙයක් භාර ගත්තේ නැහැ. 2014 ඉදලාම මට මෙගා ටෙලිනාට්‍යය සහ විවිධ අවස්ථාවන් ලැබුණත් මම 2017දී තමා මගේ පළවෙනි නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ. මම එච්චර කාලයක් ඉවසන් හිටියේ මට හොඳ නිර්මාණයක් අවශ්‍ය නිසා. ඒ නිසා චරිත තෝරා බේරා ගැනීම මුල් කාලේ සිට කරපු දෙයක්. ඉදිරියටත් ඒක පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.


 ලැබෙන ඇරයුම් ගැන තෘප්තිමත් ද?


ලැබුණු චරිත ගැන තෘප්තිමත්. මම රඟපෑ හැම චරිතයකටම හරිම ආදරෙයි. ඉදිරියේ දී මම කරන්න ආසාවෙන් ඉන්න චරිත ලැබුණොත් ඉස්සරහට තවත් මම තෘප්තිමත් වෙයි.


 ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන කතා කරොත් මේ වෙද්දි ආදරවන්තියක් ද?


නැහැ.


ඔබ ආදරේ දකින්නෙ කොහොමද?


ආදරේ කියන්නෙ කැපකිරීම් දරාගැනීම් විශ්වාසය සහ රැකවරණය සෙනෙහස වගේ දේවල්වල එකතුවක්.


 කලාව තුළින් ජීවිතේ ට ලැබුණු හොඳම දේ මොනවාද?


අත්දැකීම්


 අනාගත බලාපොරොත්තු මොනවාද?


බලාපොරොත්තු සහ හීන ගොඩක් තියෙනවා. හැමෝගෙම වගේ මගෙත් හීනය හොඳ රටක් නිර්මාණය කරගෙන අපේ ඉලක්ක වලට ගිහින් සාර්ථක සහ සතුටින් ජීවිතයක් ගත කිරීම. මම ප්‍රාර්ථනා කරනවා ඒක එහෙම වෙන්න කියලා.





Previous Post Next Post