සමහරු මට කෝල් කරලත් ඇහැව්වා කසාද බැන්දද කියලත් - ආශා එදිරිසිංහ



 ආශා එදිරිසිංහ ප්‍රේක්‍ෂක හදවත්වල ලැගුම්ගත් රංගන ශිල්පිනියක්. නමුත් පසුගිය කාලයේ ඈ පිළිබඳ කිසිදු නැවුම් තොරතුරක් තබා ඇය දායක වුණු කිසිදු නිර්මාණයක් ද දැකගන්න ලැබුණේ නෑ. නමුත් මේ දිනවල ඇගේ හඬ අවදිවෙන්න පටන් අරගෙන.


ඉතිං ආශා මේ කියන්නේ මොන ආදරයක් ගැනද? අපි ඇගේ කතාවට ඉඩදුන්නා.


“ආදරේ මගේ වුණා ගීතයේ තනුව සහ සංගීතය ලස්සන ජයසේකර. පද රචනය මැණික් ජයසිංහගේ. ගීතයේ රූප රචනාව අධ්‍යක්‍ෂණය කළේ සඳරුවන් ජයවික්‍රම. ඇත්තටම මේ ගීතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මම ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණෙත් නෑ.

 


ඇයි ඒ?


මේක හරි හදිසියේ වෙච්ච නිර්මාණයක්.


පසුගිය දවස්වල මගේ උපන් දිනය තිබුණානේ. මේක ඇත්තටම මගේ උපන් දිනයට අම්මගෙන් ලැබුණු තෑග්ගක්. අම්මා ගොඩක් ආසාවෙන් හිටියා මගේම ගීතයක් කරයි කියලා. අම්මගේ වුවමනාවට හරිම අහම්බයෙන් වෙච්ච දෙයක්.


‘ආදරේ මගේ වුණා. ආශාගේ අත්දැකීමක් ද?


අනේ නැහැ. හැබැයි මම හිතනවා හැම ගැහැනු ළමයෙකුගේම මේක හීනයක් කියලා. හැම ගැහුනු ළමයෙකුගේම හීනයක් නේ තමන්ගේ විවාහය. සඳරුවන් අයිය තමයි මේ විදිහේ රූප රචනාවක් කරමු කියල යෝජනා කළේ. මට හිතෙන්නේ මේක හැමෝගේම හීනයක් කියලා. මමත් ගැහැනු ළමයෙක් හින්ද මගෙත් හීනයක් තමයි.


රූප රචනාවට දර්ශන් තවරාජ් තෝරාගත්තේ ඇයි?


සඳරුවන් ජයවික්‍රම අයියා තමයි එයාව සම්බන්ධ කරගන්න ඕනෑ කියලා තීරණය කළේ. සඳරුවන් අයියා තමයි රූප රචනාව ගැන සියලුම තීරණ අරගත්තේ.


මේක ඇත්තම ආදර කතාව ද දන්නේ නැහැනේ?


සමහරු එහෙම කමෙන්ට් දාලා තිබුණා. මේක ඇත්තටම සින්දුවක් නේ. වෙඩින් සින්දුවක් හින්ද එහෙම හිතුණද දන්නෙ නැහැ.


හැබෑවටම කසාද බැඳලා කියලත් සමහරු හිතුවා නේද?


සමහරු මට කෝල් කරලත් ඇහැව්වා කසාද බැන්දද කියලත්. ඒ වුණාට දර්ශන් ඉන්න නිසා එහෙම හිතයි කියලා හිතන්නේ නැහැ. දර්ශන් නව පරපුරේ ඉන්න දක්‍ෂයෙක්. දර්ශන්ව අඳුරන්නේ නැති කෙනෙක් එහෙම හිතන්නත් පුළුවන්.


රඟපෑමට වැඩි ඉඩක් දෙන්නේ නැතිද?


අනේ නැහැ. ඕක හැමෝම අහන ප්‍රශ්නයක්. මම රඟපෑ ටෙලි නාට්‍ය පහක් විතර තියෙනවා විකාශය වෙන්න. මම විශ්වාස කරනවා ඉක්මනටම මේවාට විකාශන කාලයක් ලැබෙයි කියලා. මම එකිනෙකට වෙනස් චරිත කළා. ඒවා හරිම ලස්සන වැඩ. පසුගිය කාලයේ හරිම වෙනස් නිර්මාණ ටිකක් තමයි මට කරන්න හම්බ වුණේ.


පසුගිය කාලයේ නිහඬව හිටියා නේද?


ඇත්තටම මම නිහඬ වුණේ නැහැ. තවම මගේ නිර්මාණ විකාශනය වෙන්නේ නෑ.


වැඩිපුර කැමති ගායනයටද? රංගනයටද?


අනිවාර්යයෙන් ම රංගනයට. ගායනය මට කරන්න හම්බවුණේ අහම්බයෙන්.


අලුත් ගීතය ගැන ක්‍ෂේත්‍රයේ අය මොනවද කිව්වේ?


ගොඩක් ප්‍රතිචාර ලැබුණා. සමහර කලාකරුවෝ ඔවුන්ගේ සමාජ මාධ්‍යවල මගේ ගීතය ෂෙයාර් කරලා තිබුණා. තවත් අය මේක බලල මට පෞද්ගලිකව මැසේජ් කරලා තිබුණා. ගුවන් විදුලි නාලිකාවල අය මට කිව්වේ මෙච්චර දෙයක් බලාපොරොත්තු වුණේ නෑ කියලා. මොකද මම රංගන ශිල්පිනියක් නේ. ඒ කමෙන්ට් සියල්ල මට හරි වටිනවා.


ප්‍රසංග වේදිකාවටත් ආරාධනා ලැබුණා කියන්නේ?


විදෙස් රටවලින් කොහොමත් ආරාධනා ලැබෙනවා. ඒවට මම සහභාගිවෙලත් තියෙනවා. ඒක මගේ විෂය නොවන නිසා මම ඒකට වැඩි උනන්දුවක් දක්වලා නැහැ. නමුත් විදෙස් ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා.


රංගන ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?


ගොඩක් සතුටුයි. මොකද රංගන ජීවිතය නිසා මට ලැබිච්ච දේවල් ගොඩක් තියෙනවා. මම ඉගෙන ගත්තේ රංගන ශිල්පිනියක් වුණ නිසා කියලා කෙළින්ම කියනවා.


ආපසු හීන හතක් වගේ වැඩසටහනක් කරන්න කැමති නැතිද?


මට ගොඩක් ආරාධනා ලැබුණා. මම ඒවා හරිම ගෞරවයෙන් බැහැර කළා. මොකද මම නිවේදනයට එච්චර ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ පැත්තට මම මගේ කාලය යෙදෙව්වේ හරිම අඩුවෙන්.


ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?


හරිම සතුටුයි. මම ප්‍රඩක්ෂන් හවුස් එකක් කරනවා. අළු බඳුන. රන් සමනලයෝ” සුළඟ” රණා” වර්ණ” වගේ ටෙලි නාට්‍ය කිහිපයක් අපි නිෂ්පාදනය කළා. මිනිස්සු අහනවා අදටත් ඒ වගේ එකක් බලන්න බැරිද කියලා. මේ වෙනකොට අපි ප්‍රඩක්ෂන් එකක් පටන් ගත්තා. මම කොහොමත් ලද දෙයින් සතුටුවන චරිතයක්.


ආශා හරි නිහඬ චරිතයක් නේද?


එහෙම නැහැ. මාව දැක්කහම සමහරුන්ට එහෙම හිතෙනවා ඇති. මම මගේ වැඩ ටික කරගෙන හිමින් යන කෙනෙක්නේ. ඒක වෙන්න ඇති එහෙම හිතෙනවා ඇත්තේ


ටෙලි නාට්‍ය ජීවිතයේ වැඩිපුර තිබෙන්නෙ සුන්දර අත්දැකීම් ද? අසුන්දර අත්දැකීම් ද?


අනිවාර්යයෙන්ම ඔව්. මට නම් එහෙම අසුන්දරයි කියලා අත්දැකීමක් නැහැ.


ගීතය වගේම ඔබේ පුද්ගලික ජීවිතය වෙනස් වෙන්නෙ කවදාද?


හැමදේම වෙනස් වෙනවනේ. ඉතිං මගේ ජීවිතයත් අනිවාර්යයෙන්ම වෙනස් වේවි. ඒ වෙනස්වීම් ඔයාලට කියන්නම්.


දිනේෂ් විතාන






Previous Post Next Post