මේ ක්ෂේත්‍රයේ පිවිතුරු ගනුදෙනු අඩුයි - ගම්‍යා විජයදාස




ගම්‍යා විජයදාස 2009 වසරේ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් සුරූපිනියයි. ඇය එම වසරේම දෙසැම්බර් 12 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හී පැවති ලෝක රූ රැජන තරගය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරන්නටද විය. එමෙන්ම ශ‍්‍රී ලංකා රූ රැජනක හා බොලිවුඩ් නිළියක වන ජැකලයින් ෆර්නැන්ඩ්ස්ගෙන් පසුව බොලිවුඩ් සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි කර ගන්නට සමත් වූ ලාංකික රූ රැජන වූයේද ගම්‍යා විජයදාසයි. ඒ අනුව 2012 වසරේ තිරගත වූ Aalaap බොලිවුඩ් චිත්‍රපටයේ Chadti Jawaani ගීතයට ගම්‍යා විජයදාස රංගනයෙන් එක් විය. මේ වෙද්දී ඇය රංගනයෙන් දායක වූ තවත් සිනමාපටයක් ඉන්දියාවේ Disney Hotstar හි තිරගත වේ. ඒ wrong way චිත්‍රපටයයි...


මේ දිනවල ඉන්දියාවේ තිරගත වන wrong way නිර්මාණය ගැන කතා කළොත්...


මට ඒ අවස්ථාව ලැබෙන්නේ අහම්බෙන්. මම එහෙ ආශ්‍රය කරපු දන්න හඳුනන කණ්ඩායමකගේ නිෂ්පාදනයක් කෙරෙනවා කියලා අහම්බෙන් මාව තැනකදී මුණගැහුණම කිව්වා. එතැනදී තමයි ඔවුන් මගෙන් ඇහුවේ මෙහෙම වැඩක් කරනවා කරමුද කියලා. මම එහෙ ගොඩක් ඔඩිෂන්වලට ගිහින් මහන්සිවෙලා තමයි මම කරපු අනෙකුත් චිත්‍රපට ලැබුණේ. නමුත් මේක මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. ඒක ලැබෙන්නෙත් මම නොහිතපු වෙලාවක.


කොයි කාලෙද රූපගත කළේ...

මේක රූපගත කළේ 2015 වසරේදි දිල්ලි නගරයේ. අපේ මුළු කාස්ට් එකම මාස එකහාමාරක් වගේ කාලයක් එක තැනක නතර වෙලා ඉඳලා තමයි රූපගත කිරීම් කළේ. ඒ නිසාම ඒ කාලය ඉතාම ආදරණීයව සහ සුන්දරව ගතවුණු කාලයක්.


මේ කාලේ තිරගත වෙන නිසා ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ දවස්වල Disney Hotstar හි wrong way චිත්‍රපටය ට්‍රෙන්ඩින් යනවා. ඒක ඇත්තටම සතුටට කරුණක්. අපි මේ චිත්‍රපටය කළේ ගොඩක් දේවල් කැපකිරීම් කරලා අපිට ගොඩක් අඩු සම්පත් යටතේ. එහෙම එකේ මේ වගේ ප්‍රතිචාරයක් ලැබීම ගැන කණ්ඩායමටම තෘප්තිමත් වෙන්න පුළුවන්.


අමතක නොවන අත්දැකීම් ඇති...


මෙහි විශේෂත්වය මුළු චිත්‍රපටයම අපි රූපගත කළේ රාත්‍රි කාලයේ. ඒ එක්කම 80% ක්ම රූපගත කළේ කාර් එකක් ඇතුළේ. මේ දේවල් එක්ක විවිධ දේවල් සිද්ධ වුණා. කැලේ මැද්දේ රූපගත කළ නිසා අපි බය වුණු අවස්ථා තිබ්බා. විවිධ අත්දැකීම්වලට මුහුණ දුන් නිසා ජීවිතේට විවිධ අත්දැකීම් ගත්තා.


ඉන්දියාව සමග ඉදිරියටත් වැඩ කරන්න ඇරයුම් ලැබිලාද තියෙන්නේ...


මේ වෙද්දී ප්‍රොජෙක්ට්ස් දෙක තුනකටම ඇරයුම් ලැබිලා තියෙනවා. මේ අවුරුද්දේ ඒ දේවල් මම පටන් ගන්නවා. කාලයක් මම ඉන්දියාවේ ඉඳලා නැවත පොඩ්ඩක් ඈත්වෙලා ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ වැඩවලට ෆෝකස් එකක් දීලා හිටියා. දැන් මේ චිත්‍රපටය එක්ක නැවත ඉන්දියාවේ මගේ ගමනට ලොකු ආලෝකයක් ලැබිලා තියෙනවා.


ඉන්දියාවේදි ලැබුණු අත්දැකීම් මොනවාද?


හරිම අභියෝගාත්මකයි. දුක සතුට පැණිරස තිත්ත රස ඒ සියල්ල තිබුණා. එහෙම වුණත් මට යන්න අරමුණක් තිබ්බා. එතැනින් මම ඈත් වුණේ නැහැ.


පුංචි තිරයේ ඉදිරියට ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?


මගේ පළමු ටෙලි වෘතාන්තය ගොඩක් දුරට මේ මාසේ තිරගත වීම ආරම්භ වෙයි. ඒ චරිත් අබේසිංහගේ චණ්ඩි කුමාරිහාමි. එහි මම ප්‍රධාන චරිතවලින් එකක් වන හීන් මැණිකේගේ චරිතය රඟපානවා. ඒක ගොඩක් වෙනස් නිර්මාණයක්. මේ නිර්මාණය හැම අතින්ම වෙනස් නිසා තමයි මම මේ චරිතය කරන්න බාර ගත්තේ.


සිනමාවෙන් මේ අවුරුද්දෙ දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?


ළඟදීම අරුණ ජයවර්ධනගේ ‘1970 ලව්ස්ටෝරි’ චිත්‍රපටය දකින්න ලැබෙයි.


1970 ලව්ස්ටෝරි හි මතකය පොඩ්ඩක් අවදි කළොත්...


ඒක ඇත්තටම සුන්දර මතකයක්. ලංකාවේ මම කරපු පළමුවැනි චිත්‍රපටය නිසා ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂතුමා ආදරෙන් මතක් කරන්න ඕනේ. කිසිම විදියේ පෞද්ගලික දැන හැඳුනුම්කමකින් තොරව මාව නිර්මාණයට සම්බන්ධ කර ගත්තා. මේ ක්ෂේත්‍රයේ පිවිතුරු ගනුදෙනු අඩුයි. ඒක මම කියන්නම ඕනේ. මම මගේ ජීවිතේ කොහොමත් ආධ්‍යාත්මිකව පැත්තෙන් යන කෙනෙක්. ඉතින් අරුණ මට ඒ අවස්ථාව ලබා දුන්නා ඉතාම පිවිතුරු තැනකින්. ඒ නිර්මාණයේදී මට හමුවුණු පුද්ගලයන් සහ ගතවුණු කාලය, නිර්මාණය කරපු හැටි විඳපු අත්දැකීම් හරිම සුන්දරයි.


සැබෑ ජීවිතේ ගැනත් කතා කළොත් ගම්‍යා පෙම්වතියක්ද?


කාන්තාවක් වීම නිසා සහ ජීවිතේ සහ ආදරේ කියන දෙකම අනපේක්ෂිත නිසා මම පෞද්ගලිකව මගේ ආදරේ ගැන කතා කරන්නේ මම විවාහ වුණු දවසක.


ජීවිතේදී ආදරේට දීලා තියෙන්නේ මොනවගේ ඉඩක්ද...


කරන වැඩේට ආදරේට කිරීම. හමුවෙන හැම කෙනාටම ආදරේ දැක්වීම කියන දේ ඉතාම පිවිතුරු දෙයක්. ආදරේ කියන්නේ මනුෂ්‍යත්වයේ පදනම. ඒක නැති තැන තමයි ගොඩක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. ඉතින් මම ආදරේට ගොඩක් ආදරේ කෙනෙක්. ඒ නිසා ආදරේ ට දීලා තියෙන ඉඩ ගොඩක් ලොකුයි





Previous Post Next Post