මං හොයන්නේ “ශලනි තාරකා“ වගේ කෙනෙක් - ගීත් මධුසංඛ

 


ගීත් මධුසංඛ කියන්නේ ගායනය, රංගනය, නිරූපණය සහ නිවේදනය කියන මේ හැම අංශයකින්ම දක්ෂතා පෙන්නුම් කරන කඩවසම් තාරුණයෙක්. අද කතා බහ ඔහු සමඟ ඔහුගේ කලා ජිවිතේ මෙතෙක් ආ ගමන් මඟ සහ ඉදිරි බලාපොරොත්තු ගැන.


 සම්පූර්ණ නම?


මගේ සම්පූර්ණ නම නම් ටිකක් දිගයි. ශ්‍රීමාධිපති රාජපක්ෂ තල්ගහගොඩ ගණිත ගෙදර ගීත් මධුසංඛ තල්ගහගොඩ. නමුත් ක්ෂේත්‍රයේ දී මම පාවිච්චි කරන්නේ ගීත් මධුසංඛ කියන කොටස. මගෙ ගම මහනුවර.


මම මුලින්ම පාසැල් ගියේ අපේ ගමේ ඉස්කෝලේ පිළවල මහ විද්‍යාලයට. ඊට පස්සේ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයට සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයට.


පවුලේ විස්තර?


මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි. තාත්තා නම් මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. අම්මා පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. ලොකු නංගී විවාහකයි. විදෙස්ගත වෙලා ඉන්නේ. මස්සිනා විදේශිකයෙක්. චූටි නංගී තාම ඉස්කෝලේ යනවා. මට වඩා අවුරුදු 15ක් එයා බාලයි. තාත්තා නැති වුණාට පස්සේ චූටි නංගිව මම දකින්නේ මගේ වගකීමක් විදියට. ඉතිං යහපත් පුරවැසියෙක් විදියට එයාව සමාජගත කරන එක තමයි මට තියෙන ලොකුම බර. පවුලක් කිව්වම දුක, සතුට වගේම විවිධ ගැටලු මැද ඒවත් විසඳගෙන අපිත් යහතින් ජීවත් වෙනවා.


පාසලේදී කලාවට සම්බන්ධ කැපී පෙනෙන චරිතයක්ද?


උසස් පෙළ දක්වා මම පාසලේ කලා කටයුතුවලට නැතිවම බැරි කැපී පෙනෙන චරිතයක්. මට මතකයි ඉස්කෝලේ තිබ්බ හැම සංස්කෘතික උලෙළකම වගේ මගේ නම තුන් හතර සැරයක් කියවෙනවාමයි. රූපවාහිනි වැඩසටහන්වලත් නිතර දකින්න ලැබුණු නිසා පාසලේ ගුරුවරු අතරත් ජනප්‍රිය චරිතයක්. ඔය අතරේ ඉස්කෝලෙන් සතියක් දෙකක් Suspend වුණු අවස්ථා, ගැටුම් ඇති කරගෙන දඬුවම් ලැබුණු අවස්ථා එහෙමත් තියෙනවා.


කලාවට සම්බන්ධ වෙන්න හීන තිබුණු කෙනෙක්ද?


අනිවාර්යෙන්ම මම ස්ටාර් කෙනෙක් වෙන්න හීන දැක්ක කෙනෙක්. මම ඒ හීනයට ආදරෙයි. නොතේරුම් කාලේ ඉඳලා දැක්ක ඒ හීනය දිනාගන්න, මට ගෙදරින් ලොකූ සහයෝගයක් ලැබුණා. කලාවට අවතීර්ණ වෙන්න ඒ ආව ගමනේදි මට උදව් කරන්න නොයෙක් මිනිසුන් හමු වුණා. ඒ වගේම මඟ අහුරන මිනිස්සුත් හමු වුණා. කොහොම වුණත් ඒ හැම කෙනෙක්ගෙම සහයෝගයෙන්, දිරිමත් කිරීමෙන් මට පුළුවන් වුණා කලා ක්ෂේත්‍රයට එකතු වෙන්න. පීඩනය, හිත් තැවුල්, බලාපොරොත්තු, ඒවා කඩවීම් හැම දෙයක් එක්කම ආව ගමනක්. නමුත් යන්න තියෙන දුර ඊට වැඩියි සහ කලාවේ රැඳී ඉන්න එකත් හරිම අමාරුයි.


කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?


පුංචි කාලේ ඉඳලම මම මාධ්‍ය එක්ක ගනුදෙනු කරපු කෙනෙක්. කලාවේ මාව පිරිසක් අඳුන ගත්තේ රියැලිටි ගායකයෙක් විදියට. මගේ ඇතුළේ ඉන්න ගායකයාට මම ගොඩක් ආදරෙයි. නමුත් මේ වෙද්දි මාව බොහෝ දෙනෙක් හඳුනන්නේ සිරස ටීවී නාළිකාවේ නිවේදකයෙක් විදියට. ඒක මට ලැබුණු වාසනාවක්. කලින් මම බොහෝ නාළිකාවල නිවේදන කටයුතු කරලා තියෙනවා. ඒ නාළිකා ප්‍රධානීන්ගෙන් ලැබුණු අවවාද උපදෙස් මත ගොඩ නඟාගත්ත දේවල් එක්ක මම මේ වෙද්දි මගේම කියලා ගමනක් යමින් ඉන්නවා. මම මේ ලංකාවේ Full Package එකක් විදියට මාව හඳුන්වන තැනට එන්න උපරිමයෙන් මහන්සි වෙනවා.


නිවේදනය ගායනය කියන අංශ දෙකෙන් කැමතිම අංශය මොකක්ද?


කලින් ගායනයට. දැන් දෙකටම. මොකද මට මුලින්ම අඳුන ගන්න ලැබෙන්නේ මගේ ඇඟ ඇතුළේ ඉන්න ගායකයාව. ගායකයෙක් විදියට තමයි අද මං මේ ගොඩ නඟාගෙන යන මාවතේ මුල්ම පියවර තියන්නේ. පෞද්ගලීකව මාව හැමෝම ගායකයෙක් විදියට හඳුන්වනවට කැමතියි. මට උපතින් ලැබුණ ඒ හැකියාව මගේ කටහඬ ගැන මම හරිම ආඩම්බරයි. නමුත් මට වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ, අවස්ථා හිමි වුණේ නිවේදකයෙක් විදියට. ඉතින් ඒ හැකියාවන් දෙක මට මගේ ඇස් දෙක වගේ. ගොඩක් වටිනවා. ඒ තරම්ම ආදරෙයි.


ඔබගේ රංගන ජීවිතේ ගැන කතා කළොත්


මම කරපු මුල්ම ටෙලි නිර්මාණය තමයි ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කළ “මුතුකුඩ“ ටෙලිනාට්‍යය. මට නිරූපණය කරන්න තිබුණේ ඉංග්‍රීසි කපිතාන්වරයෙකුගේ චරිතයක්. ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. ඊට පස්සේ තුෂාර තෙන්නකෝන්ගේ “රාවණා 1“, හර්ෂ උඩකන්දගේ “ලොක්කි“ වගේ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. ළඟදීම අලංක ටී. කලුආරච්චි අධ්‍යක්ෂණය කරන යූටියුබ් කතා මාලාවකින් මාව දැකගන්න පුළුවන් වේවි.1st Schedule එකේ රූගත කිරීම මේ වෙද්දි අවසන්.


The Voice වේදිකාවේ ලැබුණ අත්දැකීම ගැන මොකද හිතන්නේ?


මගේ ජීවිතේ මම ගත්ත හොඳම තීරණයක් විදියට මම The Voice තරගාවලිය දකින්නේ. The Voice නැති වුණා නම් අද මම මේ ළඟා කරගත්ත බොහෝ දේවල් මට නොලැබෙන්න තිබුණා. 100%ක් නොවුණත් අදටත් පාරට බැස්සම මාව අඳුන ගන්න මට Wish කරන පිරිසක් ඉන්නවා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම සිරස ටීවී කියන්නේ මම පුදුම විදියට ආදරය කරන තැනක්. මට හදවතින්ම ආදරය කරන මිනිස්සු පිරිසක් ඉන්න මතක ගොඩක් එක්ක බැඳුණු තැනක්. මම යෝජනා කරනවා ගායනයට දක්ෂ කොල්ලෝ කෙල්ලෝ හැමෝටම මේ ජාත්‍යන්තර මට්ටමේ රියැලිටි අත්දැකීම විඳ ගන්න එන්න කියලා.


ආදරේ ගැන කොහොමද දකින්නේ?


මටත් හිතා ගන්න බැරුව ඉන්නේ ආදරේ කියන්නේ මොකක්ද කියලා. මොකද ආදරේ කියන දේ අපි එකිනෙකාට දැනෙන්නේ වෙනස් විදියට. ආදරේට ලෝකේ කොච්චර නිර්වචන තිබ්බත් මං හිතන්නේ ආදරේ විඳිද්දී අපි අපිටම ගැළපෙන නිර්වචනයක් අපේ ආදරේ වෙනුවෙන් නිර්මාණය කරගන්නවා. මම තාම එහෙම ආදරය සම්බන්ධව පරිණත අදහසක් එකතු කරන්න තරම් ආදරය ගැන දන්නේ නෑ


මේ වෙද්දි ආදරවන්තයෙක්ද?


නෑනේ. මම Single. මට අවුරුදු 20/21 කාලේ මම දැක්කා අවුරුද්දු 27/28 ක් වෙන අයියලා අක්කලා කසාඳ බඳිනවා. දැන් මම ඒ වයස් සීමාවට ආවම මම දකිනවා අවුරුදු 20/21 කොල්ලෝ කෙල්ලෝ කසාද බඳිනවා. හැමදේටම වෙලාවක් තියෙනවනේ. වැඩේ තියෙන්නේ මගේ චූටි නංගී කැමති නෑ එයාට නෑණා කෙනෙක් ගෙදරට ගේනවට. මම පොඩ්ඩක් ගෑනු ළමයෙක් ගැන උනන්දුවක් තියෙනවා කියලා දැන ගත්ත ගමන් එයා බකට් එක පෙරළනවා. එයාට තියෙන ආදරේ අඩුවෙයි කියලා. ඒත් දැන් නම් මගේ හොඳම වයස විවාහයක් ගැන හිතන්න.


මොන වගේ කෙනෙක්වද ආදරේ කරන්න හොයන්නේ?


ගතිගුණ අතින් ගත්තොත් කතා කරලා හිනා වෙලා සතුටින් ඉන්න, සැර වැර නැති, අවංක බොරු සෝබන නැති කෙනෙක්. රූපය අතින් ගත්තොත් මං හොයන්නේ “ශලනි තාරකා“ වගේ කෙනෙක්. ශලනි තමයි මගේ All Time Crush එක.


අනාගත බලාපොරොත්තු?


බලාපොරොත්තු ගොඩක් තියෙනවා. කාලීනව ඒවා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. මුලින්ම කලා ක්ෂේත්‍රයේ මම ගොඩනඟාගත්ත දේවල් රැක ගන්න එක තමයි බැරෑරුම්ම දේ. ඊට පස්සේ කොහොමද ඉදිරියට තව දේවල් ගොඩනඟා ගන්නේ කියන දේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. මම කලින් කිව්වා වගේ කලා ක්ෂේත්‍රයේ Full Package එකක් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඕනෑවට වඩා ඉක්මන් වෙන්නෙත් නැතුව, මන්දගාමී වෙන්නෙත් නැතුව, Short Cut හොයන්නෙත් නැතුව හැමෝටම උදව් කරගෙන නිහතමානි මනුස්සයෙක් විදියට මගේ ගමන යන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.


  අනුෂා රණසිංහ





Previous Post Next Post