මගේ දායකත්වය සිනමාවට පමණයි - චමත්කා ලක්මිණි

 


නිරූපණ ක්ෂේත්‍රය හරහා සිනමා රංගනයට පිවිසි ඇගේ පළමු සිනමා සිත්තම 'සරුංගලය' යි. ඉන්පසු ඇය 'ඊතලය', 'හුස්ම' වෙතින් නැවතත් ප්‍රේක්ෂකයන් වෙත ආවේය. එහෙත් බොහෝදෙනකුගේ කතාබහට ලක් වූයේ 'හුස්ම' සිනමා සිත්තමේ ඇගේ රංගනය ගැනයි. දැන් ඇයගේ නවතම රංගනය ඇතුළත් 'පියාඹන්න ආයෙත්' තිරගත වීම අරඹා තිබේ. ඇය චමත්කා ලක්මිණි. මෙවර තරුණී කවරය හැඩවෙන්නේ ද ඇගේ රුවිනි.



ඔබ රංගන ක්ෂේත්‍රය තෝරා ගන්නෙ ඇයි?


මගේ ජීවිතේ ගොඩක් බලාපොරොත්තු තිබුණා. ඒ බලාපොරොත්තුවලින් සමහරවිට මේ එකක්. මගේ බාහිරට වැඩිය අභ්‍යන්තරයේ සැඟවිලා සිටිය නිළිය වෙන්නැති මේ එළියට එන්න ඇත්තේ කියලයි මම හිතන්නේ. මගේ යම් දක්ෂතාවක් දැකලා වෙන්නැති "සරුංගලය" සිනමාපටයට නාලක විතානගේ මාව තෝරාගන්න ඇත්තේ. ඒ තෝරා ගැනීම නිසා මම අද නිළියක්. මේ තෝරා ගැනීම අහම්බයක්.


 සිනමා නිළියක් ලෙස ඔසවා තැබීම ගැන මොකද හිතෙන්නේ?


බලන, දකින සහ විඳින, ලස්සන සතුටක් මට තියෙනවා. මේ කියූ කාරණා සියල්ලම ප්‍රේක්ෂකයා සතුයි. ඔවුන් තමයි මගේ සම්පත. ඒ සියලු දෙනා මාව අද මෙතැනට ගෙනාවේ නැත්නම් මම අද නිළියක් නෙවෙයි. මම මගේ මතයේ හැටියට පොළොවේ පය ගහලා ඇවිදින කෙනෙක්. මම ඇවිද ගිය මාවත්වල සුවඳ විලවුන්වලට වැඩිය දැනු‍ෙණ දහඩිය සුවඳයි. ඒ හින්දා තමයි මම අද නිළියක් වුණේ. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියන කතාවට මම එකඟ වෙන්නේ ඒ නිසයි. මේ මාවතේ දැනගෙන යා යුතුයි. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොදැන ගෙන කිසිම කෙනකුට මේ මාවතේ යා නෙහැකියි.


 

කාර්යබහුල තරුණ මවක් ඒ වගේම ඔබ නිළියක්. පවුලෙ අයත් එක්ක ආදරේ බෙදාගන්නේ කොහොමද?


මගේ චූටි පුතා සහ සැමියා එක්ක මම හරිම සතුටින් ජීවත් වෙනවා. මගේ මහත්තයා ඇතුළු සියලු දෙනාම මට හොඳ සහයෝගයක් ලබා දෙනවා.


 ඔබ ජීවිතේ ගොඩක් දේවල් අත්හරිනවා නේද?


ඔය කියන විදියට සිනමාපටයේ නම් ගොඩක් දේවල් අත්හරිනවා. ඒ වගේම අවසානයේ ආපහු එකතු කර ගන්නවා. ජීවිතේ ගොඩක් දේවල් අපි අත්හරිනවා. හැබැයි ආයෙ ඕ‍ෙන වුණොත් විතරයි එකතු කරගන්නේ. මම මගේ ජීවිතයෙත් කරල තියෙන ගොඩක් දේවල් එහෙමයි. කවදාවත් අපි තීරණයක් ගන්නා විට සෙලවිය නොහැකි ලෙස ශක්තිමත් බැම්මක් දැමිය යුතුයි.


 

ගොඩක් දෙනෙක් ඔබට චෝදනා කරනවා ඔබ උඩින් පාත් වෙච්ච නිළියක් කියලා?


මම රංගනය හදාරලා ආව කෙනෙක් නෙමෙයි. මේ කාලය තුළ සිනමාපට හතරකට පමණ දායකත්වයක් දීලා ති‍ෙයනවා. දැනට තිරගත වන "පියාඹන්න ආයෙමත්" සිනමාපටය "රූඩ් movie" ගණයට වැටෙන සිනමාපටයක්. සරල ආදර කතා තේමාවකින් ආරම්භ වෙන මෙහි ගැඹුරු ආදරයක් පිළිබඳ පුළුල් අර්ථකථනයක් ඉදිරිපත් කරනවා.


මේක ප්‍රේක්ෂකයන් හොඳට වැලඳගෙන තියෙනවා. හොඳ කතා සාරාංශයක් තුළ සිනමාශාලාවට එන ප්‍රේක්ෂකයා වැළැක්වීමට ඔය කියන කතාවලට බෑ කියලා මම හිතනවා.


 ලොව පුරා කොවිඩ් වසංගතය පැතිරී යන මොහොතක නේද මේ සිනමාපටයෙ රූපගත කිරීම්වලට යොමු වෙන්නේ?


ඔව්. "පියාඹන්න ආයෙත්" සිනමාපටය කොරෝනා වසංගත කාලයේ තමයි රූපගත කිරීම් ආරම්භ කළේ. වාහන දෙකකින් කිලෝ මීටර් 4500 කට වැඩි දුර ප්‍රමාණයක් මෙහි රූපගත කිරීම් සිදු කළා. තිර පිටපතට අනුචිතවයි මේ සියලු දේවල් සිදු වුණේ. මට එදා ඕනෙ වුණේ හිර වෙලා ගෙදරට වෙලා ඉන්නවට වැඩිය එළියට බැහැලා වැඩක් කරලා පෙන්වන්නයි. ඒ දේ මම එදා කළා. අපේ පීඩනය එදා අපි නැති කරගත්තේ මේ සිනමාපටය නිසා කිව්වොත් හරි.


 ඔබ නැවතත් සිනමාපටයකට දායකත්වය දෙන්නේ වසර කිහිපයකට පසුවයි?


බබා ලැබුණාට පස්සේ වසර දෙකක් නිහඬ වෙලා හිටියා. පොඩි එකාට අම්මගෙ උණුසුම අවශ්‍ය වන කාලේ තමයි මම ගෙදරට වෙලා හිටියේ. මම බලාගෙන හිටියේ කොයි වෙලාවෙ ද එළියට බහින්නේ කියලායි. ඒ වෙලාවේ මගේ මිත්‍රයා වූ කලා (කලණ ගුණ⁣සේකරගෙන්) දුරකථන ඇමතුමක් ලැබෙනවා. හිර වෙලා ඉන්න අපට හොඳ වැඩක් තියෙනවා කරමු ද කියලා. මම එක පයින් එයට කැමැති වෙනවා.


 

කලණගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ඇත්තටම කලා, සරුංගලයේ නූලේ අතේ තියාගෙන වගේ ලස්සනට මගේ රංගනය මෙහෙය වූවා. මේ ක්ෂේත්‍රය තුළ කලාගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා. කලණ වගේ සම්පතක් අපේ සිනමාවට වටිනවා. හොඳ යාළුවකුට හොඳ දේවල් හොඳාකාරව හොඳින්ම බෙදාගන්න පුළුවන්. ඒ මිතුදම මට සිය දහස් වාරයක් වටිනවා.


 

ඔබ රැඳී සිටින්නේ සිනමා ක්ෂේත්‍රය තුළ පමණ ද?


බොහෝදුරට මම සිනමා ක්ෂේත්‍රය තුළ පමණයි රැඳී සිටින්නට උත්සාහ කරන්නේ. ඕනෑම කෙනකුට ක්ෂේත්‍රය තුළ තමන් ගොඩනඟා ගත් අනන්‍යතාවයක් තියෙනවා. මම මගේ මාවත ලෙස තෝරාගෙන තියෙන්නෙ සිනමාවයි. ඒ නිසා මට මගේ අයිතිවාසිකම ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. නිදහස් අවකාශය තුළ රඟපාන්න පුළුවන් වටපිටාවක් සිනමාවේ තියෙනවා. ඒත්, ගුණාත්මක භාවයෙන් අඩු රැල්ලේ ටෙලිනාට්‍යයට හා වේදිකාවට මට දායකත්වය දෙන්න වෙන්නේ නෑ.


 සිනමාපටවලට ඔබව තෝරාගනිද්දී සලකා බලන්නේ මොනවාද?


මාව තෝරාගනිද්දී කිසි පදනමක් අවශ්‍ය නැහැ. හැබැයි මට ප්‍රේක්ෂකයා ලේබලයක් ගහලා තියෙනවා. වඩාත් සුදුසු සම්භාව්‍ය මට්ටමේ සිනමාපට සඳහා පමණක් කියලා. නමුත් මම වර්ගීකරණයක් කරලා රංගනයේ යෙදෙන්නෙ නෑ. තිරපිටපත හොඳ නම් මමත් හොඳ රංගනයක යෙදෙනවා. ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නේ හොඳ රංගනයක්. ඒ ඉල්ලන දේ මට දෙන්න පුළුවන් නම් තමයි ඔවුන්ගේ සතුට රඳා පවතින්නේ. එතැනයි මගේ රංගනය හැමදාම රඳා පවතින්නේ .





Previous Post Next Post