විශ්වාසය හා ආදරය නිසා අපේ පවුල් ජීවිතේ රැකුණා-සනත් විමලසිරිගේ ආදරණිය බිරිඳ විනීතා

 


මනමේ, සිංහබාහු වැනි අති විශිෂ්ට වේදිකා නාට්‍යවලින් තාත්වීක රංගනය වේදිකාවට ගෙන ආ ඔහු එදා සේම අදටත් වේදිකා නාට්‍යයට මුල් තැනක් දෙන රංගධරයෙක්. වේදිකාව සේම සිනමාවත්, පුළුල් තිරයේත් ඔහුගේ රංගන හැකියාව දකින්න ලැබෙනවා. තවත් විටෙක ඔහු සිසුන්ට ඉතා සමීප ගුරුවරයෙක්. මේ සියලු භූමිකා එක්ක පුංචි කුටුම්බය රැකගෙන ආදරණීය රසිකයින්ගේ හදවත් දිනූ ඔහු සනත් විමලසිරි. මදුරු කොයිල් දැන්වීමෙන් එකල තරුණ හිත් සොරා ගත් ඔහු ගැන ඔහුගේ ආදරණීය ප්‍රියම්බිකාව විනීතා එරන්දති මේ විදිහට කතාබහක යෙදුණා. මේ ඒ ගැනයි.


“සනත් අයියයි මායි දෙන්නම එකම ගුරු විද්‍යාලයට ගියේ, අපි නිතරම දැකලා කතාබහ කරනවා. එයා මට වඩා වැඩිමහල්. ටික කාලයකට පස්සේ එයාගේ අම්මයි අප්පච්චියි අපේ ගෙදර ගිහිං මගේ මවුපියන් එක්ක මම ගැන කතා කරලා ඒ ගැන මම දන්නෙ නැහැ. මගේ මවුපියන් වගේම සනත් අයියගේ මාවුපියනුත් අපි ඉගෙන ගත්ත ට්‍රේනිං කොලේජ් එකේ ඉගෙන ගෙන තියෙන්නේ. ඒ නිසා එයාලා එකිනෙකාව දන්නවා. දවසක් මගේ අම්මා කෝල් කරලා ඇහුවා කොලේජ් එකේ සනත් විමලසිරි කියලා කෙනෙක් ඉන්නවද, එයාගේ අම්මයි අප්පච්චියි ආවා ඔයා ගැන කතා කරන්න කියලා. මම ඇහුවා ඒ මොකටද කියලා. එතකොට කිවුවා එයාලා හොඳ ෆැමිලි එකක් අපි හොයලා බලලා හිතලා තීරණයක් ගමු කියලා. මගේ අයියා සිසිර අමරබන්දු. එයත් හොයන්නම් කිව්වා සනත් අයියා ගැන. ඒ දවස්වල එයා මදුරු කොයිල් ඇඩ් එක නිසා සෑහෙන ජනප්‍රිය කෙනෙක්. මට බය හිතුණා ඒ වගේ කෙනෙක් ඇයි මම ගැන හිතන්නේ කියලා. එක යාළුවෙක් හැර අනිත් ඔක්කොම කිවුවා සනත් හොඳ නැති කෙනෙක් කියලා. ඒත් එක්කම මට බයක් හිතුණා. ඒ නිසා මම එයාට කැමැත්ත දෙන්න ටික කාලයක් ගත්තා. මම සනත් අයියගෙන් ඇහුවා ඔයා ඇයි මගේ මවුපියන්ගෙන් මුලින්ම ඇහුවේ මට කියන්න තිබුණා නේද කියලා. එතකොට එයා කිවුවා ඔයා අකමැති වෙන නිසා තමයි ගෙදරට යෝජනාව අරන් ගියේ කියලා. මාස හය හතකට පස්සෙ එයාගේ යෝජනාවට මම කැමති වුණා. ඊට පස්සේ අපි අවුරුදු දෙකක් ආශ්‍රය කරලා 2000දී විවාහ ගිවිස ගත්තා, 2001දී විවාහ මංගල්‍යය තිබ්බා. ..”


මදුරු කොයිල් වෙළෙඳ දැන්වීමත් සමඟ අතිශය ජනප්‍රිය වූ සනත් ඒ විදිහට පෙම්වතිය බිරිඳ කරගෙන ගෙදරට කැන්දාගෙන ගිය මතක ඇය සෙනෙහසින් මතක් කළාය.


සනත්ට තිබුණු ජනප්‍රියත්වය සමඟ විවාහ වූ පසුව ඔබේ හිතේ බියක් ඇති වුණේ නැද්ද ..?


ලොකු බයක් ඇති වුණා. එයා කලාකරුවෙක් වීම හා මම සාමාන්‍ය කෙනෙක් වීම එක්ක ගැටලු මතුවෙයි කියලා. මොකද මම මේකප් භාවිත කරන්නේ නැහැ. අනවශ්‍ය විලාසිතා කරන්නේ නැහැ. ඒ වගේම උත්සව අවස්ථාවලට සම්බන්ධ වෙන්න අකමැති කෙනෙක්. මම ගුරුවරියක්. මට ඕන නිදහසේ පාඩුවේ ජීවත් වෙන්න. ඒ නිසා විවාහ ගිවිස ගත්තට පස්සේ මම එයාට කිවුවා ඔයාට මාව එපා වෙයි මම ඉන්න විදිහට කියලා. සනත් අයියා කිව්වා “මම නිතරම දකින්නේ මේකප් එක්ක කෙල්ලෝ. මම එහෙම අයට කැමති වෙනවා නම් ඔයාව බඳින්නෙ නැහැනේ. මට ඕන ඔයා වගේ සරල කෙනෙක් ඒ නිසයි ඔයාට ආදරේ කළේ“ කියලා. මම ගුරුවරියක් විදිහට කාර්‍යබහුල වෙද්දී එයා ෂූටිං ගිහිං ගෙදර එනවා. ඒ එද්දී මම ගෙවල් අස්පස් කරලා ලස්සනට තියෙනවා. ඒ වගේ දේවල් කළේ සනත් අයියට මාව එපා වුණොත් කියලා.


නමුත් එයා ඒවා බැලුවේ නැහැ. අපේ අදහස් සීයට සීයක් ගැළපුණා. සිතුම් පැතුම් එක වගේ. හරිම සරලයි අපි ජීවත් වෙන විදිහ.


ඔහු ජනප්‍රිය රංගන ශිල්පිනියන් එක්ක පෙම් චරිත කරද්දී ඊර්ෂ්‍යාවක් ඇති වුණේ නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද ..?


මම දන්නෙ නැහැ ඒ ඇයි කියලා කවුරුත් පිළිගන්න එකක් නැහැ. ඒත් ඇත්ත කතාව මට එහෙම ඊර්ෂ්‍යාවක් මුල ඉඳලම දැනිලා නැහැ. විවාහ වෙලා දරුවෝ ලැබුණට පස්සේ එයාව මට අහිමි වෙයි කියලා දැනිල තිබුණ බයත් නැති වෙලාම ගියා. ඒකට හේතුව එයා දුන්නු පැහැදිලි ආදරේ හා ආරක්ෂාව වෙන්න ඇති.


ජනප්‍රිය තරුවලට එකල සිට විවිධ කටකතා පැතිරුණා. සනත්ගේ ජනප්‍රියත්වය එක්ක එවැනි සිදුවිම් හේතුවෙන් එරන්දතිගේ හිත් රිදුණු තැන් තිබුණද..?


මම ඔහුව විවාහ කර ගන්නේ ඔහු නළුවෙක් බව දැනගෙන. එතකොට මොනයම් හෝ ප්‍රශ්නයක් මතු වුණත් මම තේරුම් ගන්න ඕන එයාගේ ක්ෂේත්‍රය ගැන. නමුත් එයා ගැන කටකතා හැදිලා නැහැ. අර මුල් කාලේ එයාගේ වැරදි කිවුව යාළුවෝ කියලා තියෙන්නේ බොරු කතා කියලත් මම පස්සෙ තේරුම් ගත්තා. ඒ වගේම එයාගේ ජනප්‍රියත්වය එක්ක සමහර නිළියෝ දෙතුන් දෙනෙක් ගෙදරට ආවා එයාගෙන් ඩිවොස් වෙන්න කියලා මට කියන්න. එතකොට මට දරුවෝ දෙන්නම ලැබිලා. තව නිළියන් දෙතුන් දෙනෙක් ගේ අම්මලා සනත්ට කියලා තිබුණා. ඔයා වයිෆ්ගෙන් ඩිවෝස් වෙලා මගේ දුව බඳින්න කියලා යෝජනා කරලා තිබුණා. ඒවා මම දැනගෙන හිටියා සනත් අයියා හැමදේම ඕපන් කියන නිසා. ඔහුට ඒ කාලේ කොලුකමට හරි මාව අත් ඇරලා ඒ වගේ තීරණයක් ගන්න වුණා. නමුත් කවදාවත් මට වැරදි දෙයක් එයා කළේ නැහැ. ඒ විශ්වාසය ඒ ආදරේ තමයි අපේ පවුල් ජීවිතේ රැක්කේ. එයාට අදටත් මාව දරුවෝ පවුල කියන හැඟීම තියෙනවා. ඒ නිසා තමයි අපි අවුරුදු 24ක් එකට සතුටින් ජීවත් වෙන්නේ. එයා මගේ හිත රිද්දන කිසිම වැඩක් කරලා නැහැ


දූවරුම දෙන්නෙක් ඉන්නේ. සනත් දරුවන්ට දක්වන ළෙංගතුකම කොහොමද? කාර්‍යබහුල ජීවිතේ එක්ක අප්පච්චිගේ ආදරේ හිස්තැනක් දැනෙන්න ඔහු ඉඩ හැරියද..?


ලොකු දුව ලසේයා. ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. වයස අවුරුදු 19ක්. පොඩි දුව නෙලී. එයා උසස් පෙළ කරනවා. දෙන්නම පුංචි කාලේ ඉඳලා අදටත් නිදාගන්නේ අප්පච්චිගේ පපුව උඩ. ඒ තරම් ඒ තුන්දෙනා ආදරෙයි. පාඩම් කරන්නෙත් එයාලා එකට. සනත් අයියා වැඩකට එළියට ගිහිං එනකල් බලාගෙන ඉන්නවා. අම්මා අප්පච්චි කීයටද එන්නේ දැන් එයිද? වගේ ප්‍රශ්න තමයි අහන්නෙ එනකල්. ළඟදි දවසක ලොකු දුව මට කිව්වා අම්මේ මට කවදා හරි අප්පච්චි වගේ හොඳ කෙනෙක් හොයලා දෙන්න පුළුවන් ද කියලා. තරුණ වයසේ නිසා ආදරේ ඉල්ලන පිරිමි ළමයි ඉන්නවනෙ. ඒවා දුව අපිත් එක්ක කියනව. එහෙම වෙලාවක තමයි කිවුවේ අප්පච්චි වගේ කෙනෙක් හොයලා දෙන්න එතකල් ආදරේ කරන්නේ නැහැ කාටවත් කියලා. ඒ වචන ටික අහලා සනත් අයියා හරියට සතුටු වුණා. ඔවුන් කතා කරන හැසිරෙන විදිහට අප්පච්චිගේ ආදරේ මඟ හැරලා කියලා මට නම් තේරෙන්නේ නැහැ. අයියා පවුල වෙනුවෙන් පුළුවන් විදිහට උපරිම සහාය දෙනවා.


දූවරු දෙන්නට කවදා හරි රඟපාන්න අවස්ථාවක් දෙන්න කිවුවොත් ඔහු ඉඩ දෙයිද..?


එයාලට ආරාධනා කිහිපයක් ආවත් කැමති වුණේ නැහැ. හොඳින් ඉගෙන ගෙන ඉන්න කියලා තමයි කියන්නේ. හොඳින් ඉගෙන ගත්ත කලාකරුවන් ගැන කියලා ඒ වගේ ඉගෙනීමත් කරගන්න කියලා කිවුවා.


සනත් කියන්නේ ජනප්‍රියත්වය උදෙසා විවාහ ජීවිතේ හා පවුල් ජීවිතේ ප්‍රසිද්ධ මාධ්‍යයට වසන් කළ කෙනෙක් ද..?


මම නම් කොහොමත් ප්‍රසිද්ධියේ එන්න කැමති නැහැ. එයා නම් විවාහ බව හංගලා නැහැ. මම කැමති නිදහසේ ජීවත් වෙන්න නිසා ටීවී ප්‍රෝගෑම්වලට එහෙම ආරාධනා කරද්දී මම යන්න බැහැ කියනවා. ඒ නිසා කිහිප දෙනෙක්ම ඇහුවා අපි විවාහයෙන් ඈත් වෙලාද ජීවත් වෙන්නේ කියලා. ඔයාලා සෙපරේට් වෙලාද කියලා අහපු නිසා මම වැඩසටහන් කිහිපයකට විතරක් සම්බන්ධ වුණා. ඒක සනත් අයියට හොඳ නැති නිසා. අපි හරිම සතුටින් ජීවත් වෙන පවුලක්.


ඔහු රංගනයෙන් දායක වූ නිර්මාණවලින් ඔබ වඩාත් කැමති වූ නිර්මාණ තියෙනවා ද ..?


ම ආසම අසනි වැසි නිර්මාණයට. ඒක මම කිහිපවතාවක් බැලුවා. සිංහබාහුමනමේ ඇතුළු වේදිකා නාට්‍ය නම් ගණන් කරන්න බැරි වාර ගණනක් බලලා ඇති. ඊට පස්සේ ටීවී බලන එක නතර කළා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු එක්ක.


දැන් බිහිවෙන නිර්මාණ එක්ක සනත් කලකිරිමෙන් ඉන්න බව ඔබත් සමඟ කතාබහ කර තිබෙනවාද..? ඒ ගැනත් කියලාම කතාබහට සමුදෙමු.?


ඔව්. එයා ගොඩක් දුක් වෙනවා කලාත්මක නිර්මාණ බිහි වෙනවා අඩුයි කියලා. ඉස්සර නිර්මාණ ගොඩකට ආරාධනා ලැබෙද්දි තෝරා බේරාගෙන රඟපාන්න අවස්ථාව තිබුණා. මට කියලා පිටපත් කියවගෙන මගෙන් කතාව අහලා කතාව හොඳ නම් සනත් අයියා ඒ නාට්‍ය භාර ගත්තා. නැත්තම් ප්‍රතික්ෂේප කරනවා. ඉස්සර පිටපත සම්පුර්ණයෙන් ලැබෙනවා. දැන් එහෙම නැහැ. කැපවීමෙන් කරන්න නිර්මාණ ලැබෙන්නෙ නැහැ. වැඩක් වෙන්නෙ නැතුව නිකම්ම වයසට යනවා කියලා එයා කියලා තියෙනවා. අලුත් නිර්මාණ කියලා එයා භාර ගත්තේ වියළි ටෙලි නාට්‍ය හා චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් තමයි.


හර්ෂණී වීරරත්න



Previous Post Next Post