මට ආදරය ගැන තියෙන්නෙ කලකිරීමක් -ධනුෂ්ක සම්පත්




සමන් එදිරිමුණිගේ තිර රචනයට දිලූක ගුණතිලක අධ්‍යක්ෂණය කළ ‘ඉස්කෝලේ’ මේ දිනවල ජනප්‍රියම ටෙලි නාට්‍යයකි. බොහෝ දුෂ්කරතා විඳ තම දිවියට ආලෝකයක් එක්කර ගන්නා රන්දික එහි ප්‍රධාන චරිතයයි. එම චරිතයට පණ පොවන ධනුෂ්ක සම්පත් කලාවට පිවිසුනේ ද එවැනිම දුෂ්කර මාවතකිනි.‘ඉස්කෝලේ’ ඔහුගේ කුළුඳුල් ටෙලි නාට්‍යයයි. තම කුළුඳුල් ටෙලි අත්දැකීමේම ප්‍රධාන චරිතය හිමිවීම ද වාසනාවකි. ඒ සඳහා ඔහුට අවස්ථාව හිමිවන්නේ ද කලාවට ළැදි තම මිතුරකුගේ මාර්ගයෙනි. ඔහු මේ වනවිටත් ටෙලි අඹරේ දිලෙන තරුවකි.


“මගේ ගම රත්නපුරේ. පොඩි කාලෙ ඉඳන්ම කලාවට ලොකු කැමැත්තක් තිබුණත් ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. මගේ පවුලට ගෑවිච්ච කෙනෙක්වත් කලාවට සම්බන්ධයක් තිබුණේ නෑ. දවසක් මගේ ගමේ යාළුවෙක් මට කතා කළා පොඩි වැඩක් තියෙනවා යමුද? කොළඹ ගිහින් එන්න කියලා. එයා කලාවට පොඩි සම්බන්ධයක් තියෙන කෙනෙක්. මටත් ඉතින් ඒ පිස්සුව තිබුණ නිසා මාත් යාළුවත් එක්ක කොළඹ ආවා. ඒක මියුසික් වීඩියෝවක වැඩක්. මටත් ඒකේ පුංචි කොටසක් ලැබුණා. එතන තමයි මගේ කලාවේ අපැහැදිලි මුල්ම සලකුණ. තව පොඩි පොඩි කලා කටයුතුවලට සහභාගි වුණා. ඔය අතරේ දෙරණ නාලිකාවෙන් අලුත් නාට්‍යයක් සඳහා රංගන ශිල්පීන් බඳවා ගන්නවා කියලා දැනගන්න ලැබුණා. මාත් ඒකට අයදුම් කළා. ඉන්ටවීව් එකකින් පස්සේ තමයි මාව තෝරා ගත්තේ. දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ සර් සහ සහාය අධ්‍යක්ෂ සුරංග, ධම්මික අයියලා වගේම තිර රචනය කළ සමන් එදිරිමුණි අයියාගේ යෝජනාවෙන් තමයි මාව තෝරගත්තේ. ඒ විදියට තමයි ඉස්කෝලේ නාට්‍යයට සම්බන්ධ වුණේ. ඊට පස්සෙ දෙරණින් අපිව වැඩමුළුවක් සඳහා යොමු කළා. ඒ මඟින් ලොකු පන්නරයක් ලැබුණා.”


ඒ වන විට ධනුෂ්ක කියන්නේ රංගනය පිළිබඳ ඇත්දැකීම් තිබුණ කෙනෙක් නෙවෙයි. ඉස්කෝලේ බොහෝ දෙනෙක් නවකයන්.


“සෙට් එකේ කවුරුත්ම අඳුරන්නෑ. රංගනය ගැන මට අත්දැකීමකුත් නෑ. මුලින්ම කැමරාවට මුහුණ දෙද්දි තිගැස්මක් ඇති වුණා. අමතක වෙයිද? කරගන්න බැරිවෙයිද? මාව අයින් කරයිද? කියලා. දෙබස් එවෙලෙම ලැබෙන නිසා පොඩි එහෙ මෙහෙ වීම් වුණා. ඒත් කවුරුත් මොකුත් කිව්වේ නෑ. හැමෝම උදවු කළා. ඒ නිසා ලොකු අවුලක් වුණේ නෑ. මගේ චරිතය වටා ගොඩක්ම ගැටුණේ මං වගේම නවක ශිල්පීන්. ඒ නිසා බයක් නැතුව අපිට අදහස් බෙදාගන්න පහසු වුණා. ඔය අතරේ දෙරණ නිපදවූ තවත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේ දී විකාශනය වීමට නියමිත ඒවා. වෙළෙඳ දැන්වීමකුත් එන්න තියෙනවා. සිනමාවටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. “ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ රන්දික මේ වනවිට බොහෝ ප්‍රතිචාර ලබන චරිතයක්. නවකයෙක් ලෙස රංගනයේදී ලද අත්දැකීම් ඔහුට තවමත් මතකයි.


“ඉස්කෝලේ නිසා කොහේ ගියත් මිනිස්සු අපිව අඳුනගන්නවා. කැප්, සන්ග්ලාස්, මාස්ක් දාලා හිටියත් රසිකයො අපිව අඳුනගන්නවා. ඒක ලොකු සතුටක්. රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රිය නළුවා නිර්දේශ නාමයන් අතරට යන්න හැකි වුණා. රංගන ශිල්පියකු විදියට ලැබෙන චරිතය මං උපරිම කැපවීමෙන් කරනවා. ඉස්කෝලේ රියර්සල් කරද්දී ෆයිට් කරන ජවනිකාවකදි මං විරුද්ධවාදියාට එල්ල කරපු පහරක් ඇත්තටම ඔහුට වැදිලා පොඩ්ඩක් තුවාල වුණා. අපි දෙන්න හොඳ යාළුවො. ලොකු ගැටලුවක් නොවුණත් ඒක මට මාර අවුල්. මේ වගේ දේවල් අමතක වෙන්නෑ ඉතින්.”


ධනුෂ්ක මැණික්පුරේ ඉඳන් කොළඹට ආවේ රංගනයට තියෙන දැඩි ආසාව නිසාමයි.


“අපිටත් මැණික් පතල් තියෙනවා. තාත්තා වගේම මල්ලිලා දෙන්නත් පතල් සම්බන්ධව කටයුතු කරනවා. මාත් ඒ පැත්තෙන් ගියා නම් මේ වෙද්දි ලොකු තැනකට ගිහින්. මට තිබුණේ ඊට එහා ගිය ආසාවක්. මට ඕන වුණේ කලා ලොව තරුවක් වෙන්න.“


තරුණියන්ගේ නෙත් සිත් ඇද බැඳ ගැනීමේ අපූරු හැකියාවක් ඇති ඔහු කඩවසම් තරුණයෙක්. ආදරය ඔහුට ආගන්තුක හැඟීමක් නොවිය හැකියි.


“ආදරය ගැන මට තියෙන්නෙ කලකිරීමක්. මටත් ආදරයක් තිබුණා. ක්ෂේත්‍රයට ඇවිල්ලත් ටික දවසක් තිබුණා. දැන් ඒක නැහැ. දැන් මං ආදරවන්තයෙක් නෙවෙයි. ඒ නිසා ආදරය ගැන ලොකු හැඟීමක් නැහැ. ඉදිරියේ දී මොනවහරි වෙනසක් වෙයි කියලා හිතනවා. රංගන ශිල්පියෙක් විදියට මට නොයෙක් ගැහැනු ළමයි එක්ක රඟපාන්න වෙනවා. ඒ දේ තේරුම් අරන් මම නිරත වන කලාවත් තේරුම් ගත්ත කෙනෙක් හම්බවුණොත් බලමු. මං කැමැති නැහැ මං ආසාවෙන් තෝරගත්ත මේ දේ අතාරින්න.”


නාමලි ගමගේ





Previous Post Next Post