අපි දෙන්නම ආදරේ ප්‍රකාශ කරල නැහැ , අපේ සම්බන්ධයට අවුරුදු 17ක් - ධනංජය සිරිවර්ධන




ඒ පවුල ඇතුළේ සිංදු කියන, නිවේදනය කරන රඟපාන, අයත් ඉන්නවා. මුළු පවුලම කලා පවුලක්. ඒ තමයි ධනංජය සිරිවර්ධන. ඔහුට කලාව නම් ඕපපාතිකයක් නෙමෙයි. පුංචි කාලේ ඉදලා නැන්දා සිංදු කියනවා ඔහුට ඇහෙන්න ඇති. රංගනයෙන් දායක වෙනවා දැකලත් ඇති. ඒ නිසාම වෙන්න ඇති ඔහුත් කලාවට පිවිසෙන්නේ. ධනංජයගේ ආදරණීය බිරිඳ හිටපු ගුවන් සේවිකාවක්. ඒ පුංචි පවුලත් හරි ලස්සනයි. ඒ නිසා ඒ පුංචි පවුල ගැන කතාබහකට ධනංජය හා බිරිඳ ශෂිනි සිරිවර්ධන එකතු කර ගත්තා.


 ධනංජය මේ දවස්වල වීදුරු මල් නාට්‍යයේ දකින්න ලැබෙනවා, කාර්ය බහුල වෙලාද..?


මේ දවස්වල මාව වීදුරු මල් නාට්‍යයේ දකින්න ලැබෙනවා. ඒක සතියේ දවස්වල විකාශය වුණා ට මෙගා නාට්‍යයක් නෙමෙයි . ඊට අමතරව ගේම් ෆිල්ම් එක තිරගත වෙනවා. තව නාට්‍ය හතරක් හා ෆිල්ම් දෙකක් විකාශය වෙන්න නියමිතයි. එහෙම කියලා මම එදත් අදත් ලොකුවට කාර්‍යබහුල නම් නැහැ. වෙලාව කළමනාකරණය කරගෙන ජීවිතෙත් විඳිනවා.


 අලුත් පරම්පරාව එක්ක වැඩ කරන්න ලේසියි ද එහෙම නැත්තම් දෙබස් ටික කියලා යන නළු නිළියොද ඉන්නේ..?


අපිට කලින් ජෙනරේෂන් එක ගත්තොත් ඒ කාලේ අපිත් අලුත් නේ. මම කොහොමත් මගේ වැඩේ කරලා එනවා. මාත් එක්ක රඟපාන නළු නිළියන්ගෙන් සපෝට් එකක් ලැබෙනවා නම් හොඳයි. වැඩේ කරගෙන යන්න ලේසියි. නමුත් දැන් ඉන්න පරම්පරාව පුරුදු වෙලා ඉන්නවා එහා පැත්තේ ඉන්න කෙනා සපෝට් කරත් නැතත් එයාගේ වැඩේ කරලා යන. ඒ නිසා මමත් දැන් ඒකට පුරුදු වෙලා. නමුත් මගෙන් අසාධාරණයක් වෙන්නේ නැතුව ඇති ඒකයි තවම නිර්මාණ ලැබෙන්නේ කියලා මම හිතනවා.


 අම්මා තාත්තා වගේම අයියා මධු මාධවගෙන් ලැබෙන උදව් කොහොමද ..?


එයාලා එක එක ක්ෂේත්‍රවල නිසා උදව් ලැබෙන්නේ නැහැ . නමුත් කතාබහ කරලා අපි ඉන්නවා.


 

අයියා වගේ දේශපාලනයට එන්නද හිත තියෙන්නේ ..?


කොහෙත්ම නැහැ. මගේ දේශපාලනය තියෙන්නේ නිර්මාණ ඇතුළේ විතරයි


 

බිරිඳ රැකියාව කළේ ගුවන් සේවිකාවක් විදිහට, රැකියාවෙන් ඉවත් කර ගන්නේ කුටුම්බය රැක ගන්නද..?


අපි විවාහ වෙන්න තීරණය කරපු කාලේම තීරණය කළා විවාහයෙන් පස්සේ එයා රැකියාවෙන් ඉවත් වෙනවා කියලා. ඒක මම පවුල රැක ගන්න කියලා බලෙන් කරපු දෙයක් නෙමෙයි.


 දියණිය දැන් ලොකුයි නේද ..?


අපි දෙන්නගේ පුංචි දෝණී මෞර්යා. අවුරුදු දෙකයි තවම. එයාගේ හුරතල් බලාගෙන සතුටින් දවස ගත කරනවා.


 

ඔබව රූපවාහිනියෙන් දකිද්දී ප්‍රතිචාර දක්වනවාද..?


දුවට තේරුමක් නැහැ. ආ අම්මා තාත්තා කියනවා. ඇත්තටම කිව්වොත් අපේ ගෙදර ටීවි එකක් තිබුණට දාපු කාලයක් මතක නැහැ. අපි පුරුදු වෙලා ජංගම දුරකථනයට. බිරිද කරන විඩියෝ ඇය බලනවා. එයා හිතනවා ඇති ලෝකේ හැම අම්මා තාත්තා කෙනෙක් ම එහෙම වෙන්න ඇති කියලා


 ඔය ජනප්‍රිය හැමෝම වගේ ඔබත් ඔබව මේන්ටේන් කරනවද ..?


ඔව්. අනිවාර්යයෙන්ම. මගේ ශරීරයේ ෆිට්නස් තියා ගන්න මම මාව මේන්ටේන් කරනවා. කාලය එක්ක වයසට යනවා නතර කරන්න බැහැ. නමුත් තරුණ පෙනුම රැක ගන්න පුළුවන්


 

නිල්මිණි තෙන්නකෝන් කලකදි ඔබේ නෑනා, රූපවාහිනී වැඩසටහන් වලදී ඈ ඔබව නිතරම මතක් කරනවා..?


ලංකාවේ ඉන්න අති දක්ෂ නිළියක් ඇය. මගේ අයියගේ පළමු බිරිඳ. ඇය මට නෑනා වුණාට අක්කා වගේ. දැන් නෑකම් නැති වුණාට හිතවත්කම් තියෙනවා. එයා අපේ ගෙදර එද්දී මම ඉස්කෝලේ යනවා. මම හරි පොඩියි. මේ ළඟදි මගේ පරණ නාට්‍යයක් විකාශය වෙනවා දැකලා එයා විඩියෝ කරලා එවලා තිබ්බා.


ශෂිනි සිරිවර්ධන කියන්නේ ගුවන් සේවිකාවක් නිසා මුලින්ම අපි ඇගෙන් විමසූවේ ඒ ගැන


 ඒ කාලේ ගුවන් සේවිකාවක් වෙන එක එතරම් පහසු නැහැ කියලයි මතයක් තිබ්බේ, ඉතිං ඔබ ඒ මඟ තෝරා ගන්නේ පුංචි කාලේ ඉදලා තිබ්බ හීනයක් හැබෑ කර ගැනීමක් විදිහට ද..?


මම කවදාවත් හින දැක්කේ නැහැ ගුවන් සේවිකාවක් වෙන්න. ඒ වුණාට මම අධ්‍යාපන කටයුතු අවසන් වෙනවත් එක්කම පයිලට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ගියා. පයිලට් කෙනෙක් වෙන්න තමයි ආසාවෙන් හිටියේ. ග්‍රවුඩ් ස්කූල් ගියා දවස් දෙක තුනක් යද්දී තේරුණා ඒක අමාරු දෙයක් කියලා . ඊට පස්සේ ගුවන් සේවිකාවක් විදිහට ඉල්ලුම් කරා. එහි සම්මුඛ පරික්ෂණ වලින් සමත් වුණා. අන්තිමට රැකියාව විදිහට ඒක තෝරා ගත්තා.


 අවුරුදු කීයක් හිටියද..?


2007 ඉඳලා අවුරුදු 10ක් වගේ


 රටවල් කීයක සංචාරය කරලා තියෙනවද..?


රටවල් 60 කට වගේ ගිහිං තියෙනවා . ප්‍රාන්ත ගත්තොත් 120ට වැඩියි.


 අත්දැකීම් සුන්දර ඇති..?


හරිම සුන්දර යි. කියලා වැඩක් නැහැ. ජාතින් ආගම්, සංස්කෘතින් කීයක අත්දැකීම් විඳින්න ලැබෙනවා. ජාතින් බොහොමයක මිනිස්සු ආශ්‍රය කරන්න ලැබෙනවා.. ඒක වාසනාවක් .


 

ගුවන් සේවිකාවන් හොඳට හම්බ කරනවා කියලා කතාවක් තියෙනවා ..?


ඒක ඇත්ත . ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුළුවන් හොඳ වැටුපක් හිමි වෙනවා.


 මුලින්ම කීයක් හම්බ කළාද..?


මම වෙළෙඳ දැන්වීමකට හිටියා. ඒකෙන් තමයි මුලින්ම මුදලක් ගත්තේ. ඒ රුපියල් 15000ක්.


 

ධනංජය නළුවෙක් නිසා ඔබට රඟපාන්න ආරාධනා ලැබුණේ නැද්ද ..?


ඇත්තටම ඒක නම් වැරදි මතයක්. මගේ හස්බන්ඩ් රඟපෑවාට මට ඒක කරන්න බැහැ නේ. ඇක්ටිං කියන්නේ මාර අමාරු විෂයක්.


 

ඔබ ගුවන් සේවිකාවක් විදිහට වැඩ කළ කෙනෙක් නිසා ලෝක මට්ටමින් ගනු දෙනු කරලා තියෙනවා, පිටරටකට ගිහිං ඉන්න අවස්ථාවක යම් ආහාරයක් ඔබට හැඳි ගෑරප්පු නැතුව කෑම ගන්න හිතිලා නැද්ද, ඒ වගේ අවස්ථාවක් ආවොත්..?


මම ඕනම දෙයක් හිතන්නේ මගේ පහසුව එක්ක. හැඳි ගෑරප්පු නැතුව කෑමක් ගන්න ඕන නම් මම දෙපාරක් නොහිතා අතින් කනවා. නමුත් මාත් එක්ක තව කෙනෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවා නම් එයාලා මම නිසා අපහසුතාවට පත් කරන්න බැහැ . ඒ දේ කරන්නේ අවස්ථාව අනූව තමයි


 

අවස්ථාව අනූවද විලාසිතා කරන්නෙත්..?


ෆැෂන්වලදි අංක එක පහසුව. ඩෙනිමක් ගහලා ටී ෂර්ට් එකක් ඇඳලා යන්න ඕන නම් ඒකත් පුළුවන්. ඒ වගේම මම විලාසිතා කරන්න ආසයි. පහසුව හා තැන අනුව තමයි විලාසිතාව තෝරා ගන්නේ.


 ඔබේ සැමියා නළුවෙක් නිසා ඔහුත් එක්ක ජීවත් වෙන්න ලේසිද..?


ලේසියි, පහසුයි. හැමදාමත් පවුල් ජීවිතේට එයා මට හයියක් උදව්වක් වුණා. බබා ලැබුණට පස්සේ ජීවිතේ වෙනස් වුණා . මේ ජීවිතේ ලෙහෙසි නැහැ. නමුත් එයා උදව් කරන නිසා පහසුයි


 

ධනංජය මුණ ගැහෙද්දි ඔබ ඔහු නළුවෙක් කියලා දන්නේ නැහැ කියන කතාව ඇත්තද..?


ඒ කාලේ එයා ජනප්‍රිය තරුවක්. නමුත් මම වැඩිය ටීවී බලන්නේ නැති නිසා එයාව ලොකුවට දන්නේ නැහැ. නම අහලා තිබ්බා. එක මැගසින් එකක කතාවකට එයාගෙත් මගෙත් ඡායාරූප ගත්තා. එදා තමයි ඔහුව මුලින්ම දකින්නේ. ඊට පස්සෙ අපි දෙන්නා කතාබහ කළා. ඒ කතාබහ අවසානයේ ආදරයක් බවට පත් වෙලා. අපි දෙන්නම ආදරේ ප්‍රකාශ කළේ ත් නැහැ . අවසානයේ 2014 / 04/ 04 විවාහ වුණා . දැන් අපේ සම්බන්ධයට අවුරුදු 17ක් වෙනවා.


 කතාබහ අවසන් කරන්න කලින් කියමු ඔහු රඟපෑ චරිත වලින් ඔබ කැමති ම චරිතය..?


විවාහ වුණු මුල් කාලේ ගියා රතු අහස කියලා නාට්‍යයක්. ඒකේ විහඟ ට මම ආදරෙයි. ධනංජය ඒ චරිතයේ කොච්චර ජීවත් වුණා ද කිව්වොත් එයා ගෙදර එන්නෙත් ඒ මානසික පීඩනයෙන් . ඒ චරිතය එයා හොඳට රඟපෑවා. ගෙදර ටීවී තිබ්බට ෆෝන් එකෙන් තමයි නාට්‍ය බලන්නේ. ධනංජය කිව්වා වගේ. මේ දවස්වල යන වීදුරු මල් නාට්‍යටත් ආසයි







Previous Post Next Post