මම රඟපාපු දෙමළ චිත්‍රපටය දැන් ඉන්දියාවේ පෙන්වනවා - ශ්‍යාම් ප්‍රනාන්දු




ශ්‍යාම්... මේ දවස්වල කරන නිර් මාණ මොනවාද?


මේ දවස්වල සුපුන් රත්නායකගේ ටෙලිනාට්‍යයක වැඩකරන්න සූදානමින් ඉන්නවා. ඒක හොඳ පිටපතක්. මූලික සාකච්ඡා අවසන් කරලා අපි ඒකේ වැඩකටයුතු පටන් ගන්න සූදානමින් ඉන්නේ. මීට පෙර සුපුන් රත්නායකත් සමඟ අඩෝ, තුම්පනේ ටෙලිනාට්‍ය දෙකටත් සම්බන්ධ වෙලා වැඩ කළා. සුපුන්ගේ පිටපත් හරි ලස්සනයි. මේ පාරත් ටිකක් වෙනස් විදිහයේ චරිතයක් කරන්න මට අවස්ථාව ලැබිලයි තියෙන්නේ. ඊට අමතරව චිත්‍රපටයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. එහි චරිතයකටත් මට ආරාධනා ලැබිලයි තියෙන්නේ.


කාලයක සිට තිබුණ බලාපොරොත්තුවක් සැබෑ වෙමින් ශ්‍යාම් චිත්‍රපට අධ්‍යක්ෂණයටත් ලෑස්තියි කියලයි අපිට ආරංචිය..?


ඔව්... මමත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට සූදානමින් ඉන්නවා. ඒ මගේම පිටපතක්. ඒ වෙනුවෙන් නිෂ්පාදකවරුන් සමඟ මූලික සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ඒ පිටපත ටිකක් වෙනස් එකක්.  මම ලියපු සහ මම අධ්‍යක්ෂණය කරන මුල්ම චිත්‍රපටයයි. අපේ ආර් ථිකය, සමාජීය වටපිටාව වෙනස් කරන්න මූලික හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම කියලයි මට හිතුණේ. සමාජය හිතන විදිහට මේ අධ්‍යාපනය බලපාන විදිහ සහ ඒ හා ගෙතුණු කතාවක් තමයි මෙම චිත්‍රපටය ඔස්සේ මම කියන්නට උත්සාහ දරන්නේ.



සිනමා අධ්‍යක්ෂකවරයෙකු වීම කාලයක් තිස්සේ ඔය හිතේ ඇතිවුණ හීනයක්ද?


ජීවිතේ මැද වයසට එද්දී මම අධ්‍යක්ෂකවරයකු වෙන්න ආසා කළා. ඇත්තම කිව්වොත් මගේ දෙවැනි ඉනිම අධ්‍යක්ෂකවරයකුගෙන් පටන් ගන්න ඕන වුණා. කාලයත් එක්ක නළුවෙක් වෙනුවෙන් ලැබෙන ඉල්ලුම වෙනස් වෙනවා. මම ගොඩක් ගෞරව කරන, කැමැති නළුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ජැක්සන් ඇන්තනි මහතා හඳුන්වන්න පුළුවන්. ඔහු ඉතා සියුම් විදිහට කල්පනා කරමින් නළුවෙක් විදිහට පවතින අතරම අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ඔහුගේ අනන්‍යතාවය සහ හැකියාව වර් ධනය කරලා තිබෙනවා. මට ඒ මට්ටමින් බැරිවුණත් මමත් ඒ වගේ යම් මට්ටමකට එන්න උත්සාහ කරනවා. නළු කාර්යයෙන් මම ලබාගත්ත අත්දැකීම් අධ්‍යක්ෂකවරයකු වීම තුළින් මටත් වඩා හොඳ රංගන ශිල්පි ශිල්පිනියන් බිහිකරන්නට ආසාවෙන් ඉන්නවා.


ශ්‍යාම්ගේ නිර්මාණ අධ්‍යක්ෂණය තුළින්ම ඔබේ රංගන හැකියාවන් දැක බලා ගන්නට ඉඩ ලැබෙයිද?


කිසියම් විදිහකින් ඉඩ ලැබේවි. මේ පිටපත ගැන මම කතා කරපු හැම හිතවතෙකුම "ඔබේ චිත්‍රපටයක් බලන්නට ප්‍රේක්ෂකාගාරයට එන්නේ ඔබ නළුවෙකුත් වන නිසායි. ඒ නිසා ඒ ප්‍රේක්ෂකාගාරයට ඔබ කිසියම් චරිතයකිනුත් යම් සාධාරණයක් කරන්න" කියලයි කිව්වෙ. ඒ නිසා එහිදී කිසියම් චරිතයකින් නිරෑපණය වේවි. අධ්‍යක්ෂණ කාර් යය මූලිකව තියාගෙන මට පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් චරිතයකට මම සම්බන්ධ වේවි. රටේ තත්ත්වය යම්තාක් දුරකට හොඳ පැත්තකට හැරීගෙන එන වෙලාවේ නිෂ්පාදකයෙකු හා මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා.



මේ දිනවල ඔබ රඟපෑ චිත්‍රපටයක් තිරගත වෙනවා..?


ඔව්... වෛද්‍ය කපිල සූරියආරච්චි මහතා අධ්‍යක්ෂණය කළ සිනේමා චිත්‍රපටය මේ වෙද්දී තිරගත වෙනවා. තිරගත වීමට නියමිත චිත්‍රපට කිහිපයක්ම, ප්‍රදර්ශනයට නියමිත චිත්‍රපට පෝලිමේ තියෙනවා. ඒ හුඟාක් මම ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපට. එයින් මුලින්ම බලන්න ලැබුණ චිත්‍රපටය සිනේමා. ඒ වගේම සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ප්‍රාණ චිත්‍රපටය ලබන මාසයේදී තිරගත වීමට නියමිතයි. ඊට අමතරව ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වුණ චිත්‍රපට දහයක් පමණ දැක බලාගන්නට පුළුවන්. ප්‍රේක්ෂකයින් නැරඹිය යුතු හොඳ චිත්‍රපට කිහිපයක්ම තිබෙනවා. සිනමා ශාලාවල ගැටලු ඇතුළු අනෙකුත් ප්‍රශ්න ඉතා ඉක්මණින් විසඳේවි යැයි විශ්වාසයක් තිබෙනවා. නැවතත් ප්‍රේක්ෂකාගරයට සිනමා ලෝලීන් එකතුවෙන රැල්ලක් හැදුණ මොහොතක් ලෙසින් මම හිතනවා. මේ තත්ත්වය තව ඉස්සරහට වර්ධනය වේවි යැයි සුභදායී සිතුවිල්ල මගේ හිතේ තිබෙනවා.



ශ්‍යාම් වේදිකා නාට්‍යවලට සම්බන්ධ රංගන ශිල්පියෙක්. අද එහි තත්ත්වය කොහොමද?


මාව මුලින්ම ප්‍රේක්ෂකයින් හඳුනාගන්නෙත් වේදිකා නාට්‍ය නළුවෙක් විදිහටයි. වසර විස්සක පමණ කාලයක් වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට දායක වෙලා තිබෙනවා. වේදිකා නාට්‍යවලට ප්‍රායෝගිකව සිනමාවටත් එහා ගියපු පසුබෑමකට ලක්වෙන්නට සිදුවෙලා තිබෙනවා. කොවිඩ් ප්‍රශ්නය එයට ප්‍රධාන කරුණක් වුණා. නැවතත් වේදිකාවත් ආරම්භ කරලා තිබෙනවා. නමුත් මේ තිබෙන තත්ත්වයත් එක්ක අලුතින් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන එක තාවකාලිකව මම නතර කරලයි තිබෙන්නේ. වසංගත ප්‍රශ්නත්, ආර්ථික ප්‍රශ්නත් එක්ක තිබුණ වේදිකා නාට්‍යයත් එක්තරා මට්ටමකට නතර කරන්න අපිට සිදුවුණා. බලමු... ඉදිරියේදී වේදිකා නාට්‍යයවලටත් සුභ කාලයක් උදාවේවි.


කාලයක් ශ්‍යාම් ගුරුවරයෙක් ලෙස සේවය කළා. අද වෙද්දී ඔබ ගුරු වෘත්තියෙන් සමු අරගෙන. ඇයි මේ?


ඔව්... මම කාලයක්ම පාසැල්වල ගුරුවරයෙක් විදිහට සේවය කළා. මගේ මුල්ම පත්වීම වුණේ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට සේවය කිරීමයි. කාලයකට පසුව මම නාට්‍ය හා රංග කලාව ඉගැන්නුවා. අවුරුදු විස්සක් ගුරු වෘත්තියේ යෙදුණු මම 2018 වසරේදී එයින් ඉවත් වුණා. පාසැල් ගුරුවරයෙක් කියන්නේ විශාල වගකීමක් දරන කෙනෙක්. කලා කටයුතු නිසා "ගුරුවරයා" සතු වගකීම මගෙන් මගහැරේවි යැයි මට පොඩි සැකයක් මතුවුණා. එහෙම වුණොත්  ඒක දරුවන්ට මම කරන අසාධාරණයක්. ඒ නිසාම තමයි මම 2018 අවුරුද්දේදී ගුරු වෘත්තියෙන් සමුගත්තේ.


ඔබ රඟපෑ දමිල චිත්‍රපටයක් මේ වෙද්දී ඉන්දියාවේ තිරගත වෙනවා...?


ඔව්... මම රඟපෑ "Ponniyin Selvan" දමිළ චිත්‍රපටය මේ වෙද්දී ඉන්දියාවේ තිරගත වෙනවා. ඒ චිත්‍රපටය මේ මාසේ තිස්වෙනිදා සිට ලංකාවේත් තිරගත වෙනවා. ඒක අධ්‍යක්ෂණය කළේ මනිරත්නම්. ඒකේදී සිංහල නළුවෙකුට රඟපෑවේ මම විතරයි. රජ කෙනෙකුට රඟපෑ එම චිත්‍රපටයෙන් බොහෝ අත්දැකීම් මට ලබාගන්න හැකිවුණා.


 දිශානි ජයමාලි





Previous Post Next Post