පෞද්ගලික ජීවිතයට කැමරාව අදාළ නෑ - ෆර්නී රෝෂිණී



සජීවී මාධ්‍යකරණයක් වූ වේදිකාවෙන් රංගනයට පන්නරය ගත් ෆර්නී රෝෂිණී කුඩා කල සිටම මයිකෆෝනයට කතා කළ චරිතයක්. තවමත් ජාතික ගුවන්විදුලියේ නිෂ්පාදන අංශයේ වැඩකටයුතු කරමින් වේදිකාවටත්, පුංචි තිරයටත්, රිදී තිරයටත් රංගනයෙන් දායක වන ඈ උස්මහත් වූ දූවරූ දෙදෙනෙකුගේ ආදරණීය මවක්. එනිසා ඇය හා ඇයගේ සැමියා වූ ලංකා සුදර්ශන සමඟ මෙලෙසින් පිළිසදරක යෙදුණා. 


ෆර්නී කියන්නේ අන්‍යාගමික කාන්තාවක් කියලා ඇතැම් අය හිතාගෙන ඉන්නවා, ඔබටත් එය ගැටලුවක් වෙලා තියෙනවා නේද ෆර්නී..?


ඔව්. ඒක නම් ඇත්ත. බොහෝ දෙනෙක් මගේ නම එක්ක මම මුස්ලිම් හෝ බර්ගර් ජාතික කියලා හිතනවා. නමුත් මම බෞද්ධ.


 ඔබව පුංචි තිරයෙන් විතරක් නෙමෙයි. වේදිකාවෙන් වගේම පුළුල් සිනමා තිරයෙනුත් නිතරම දැකගන්න ලැබෙනවා..?


අක්ෂී කියලා අලුතින් ටෙලි නාට්‍යක් පටන් ගත්තා ඒක රූගත කිරීම් කරනවා. රැල්ල වෙරළට ආදරෙයි, අසිරිමත් දළදා ගමනය, මේ දිනවල විකාශය වෙනවා. මේ හැම චරිතයක් ම එකිනෙකට වෙනස්.


වේදිකාව ගැන කතා කළොත් තාරාවෝ ඉඟිලෙති, මනෝ සොඳුරු රඟ සොබා, වේදිකාගත කරනවා. ඒ වගේම තවත් වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබුණා. චිත්‍රපටි තුනක් එන්න තියෙනවා. අලුත් එකකටත් ආරාධනා ලැබුණා. නොනවත්වා නිර්මාණ ලැබීමත් වාසනාවක්.


 

ඔය තරම් කාර්‍යබහුල කෙනෙක් කොහොමද රැකියාවත් කරගෙන යන්නේ..?


මම ගුවන්විදුලියේ නිෂ්පාදන අංශයේ වැඩ කරන්නේ. රඟපාන්න එන්න කලින් ඉඳලම මම ගුවන් විදුලියේ වැඩ කරන්නේ. දවස් පහක් රාජකාරිය කරනවා. සති අන්තයේ තමයි රංගන කටයුතු වලට වේලාව වෙන් කරගන්නේ. සතියේ දවසක ෂූටිං වැටුණොත් යන්න අවශ්‍යම නම් මම නිවාඩු දාලා යනවා. මෙච්චර කාලයක් එහෙම තමයි සමබර කරගෙන හැම දෙයක්ම කරගත්තේ.


 

ඔය තරම් වැඩ රාජකාරි කරන ෆර්නීට ගෘහණියගේ රාජකාරිය හරියට කරගන්න බැරිව ඇති..?


මම දවස් හතම ගෙදර නැහැ. වැඩ. නමුත් මොන දේ කරන්න ගියත් ගෙදර වැඩ සේරම මගේ අතින් කරලා තියලා මම යන්නේ. ඔෆිස් ඇරිලා හවස් වෙද්දී ගෙදර එන නිසා පවුල මඟ හැරෙනවා අඩුයි. මම රඟපාන්න එන්නෙත් දුවලා දෙන්නම ලැබුණාට පස්සේ. මගේ සැමියා ගේ මව වගේම ලොකු අම්මා අපිත් එක්ක ඉන්නවා. ඒ දෙන්නා තමයි අදටත් මට ලොකුම සහාය දෙන්නේ. දරුවෝ පුංචි කාලේ පරිස්සමින් බලාගත්තෙත් අම්මා සහ ලොකු අම්මා.



කවුරු හිටියත් අම්මගේ ආදරේ දරුවන්ට අවශ්‍ය මොහොතක් එනවා, දූවරූ දෙන්නා කවදාවත් ඔබට දෝෂාරෝපණය කරලා නැද්ද..?


මාව තේරුම් ගත් දරුවෝ දෙන්නෙක් ඉන්නේ. එයාලා පුංචි කාලේ ගොඩක් වෙලාවට මම වේදිකා නාට්‍ය වැඩවලට එහෙම එක්කගෙන යනවා. එයාලා ගෙදර හිටියත් මම කොහේ ගියත් සැරින් සැරේට කෝල් කරලා හොයලා බලනවා. කවදාවත් මට දොස් කියලා නැහැ. එයාලට ලොකු අඩුවක් දැනෙන්න මම ඉඩ තියලත් නැහැ


 

තරුණ දූවරූ දෙන්නෙක් හිටියට ෆර්නීත් තවම තරුණයි වගේ, තරුණ පෙනුම මේන්ටේන් කරනවද..?


ලොකු දුව අශිකා සඳුනි, එයාගේ වයස අවුරුදු 23ක්. පොඩි දුව සදීකා තරුෂී. එයාට 22ක් වයස. මම විවාහ වෙලා ඉක්මනින් දරුවෝ දෙන්නා හැදුවා. තරුණ පෙනුම රැක ගන්න අමුතුවෙන් දේවල් කරන්නේ නැහැ. සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා, මිනිස්සු ළඟ තියෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය කියන දේවල් නැති නම් කවුරුත් තරුණයි.


 

ඔබ රඟපාන්න එන්නේ මවු පදවියෙන් පස්සේ, සැමියා නිතී දාලා ඔබව කොටු කළේ නැද්ද, එහෙම නැත්නම් තනි කැමැත්තටද ඔබ රඟපාන්න යන්නේ..?


දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට ඒ දවස්වල මම හරිම කාර්‍යබහුලයි. නමුත් සැමියාත් මාධ්‍ය ක්ෂේත්‍රයේ හිටපු නිසා එයා දන්නවා ඒ වටපිටාව, මම කොහොම කෙනෙක්ද කියන එක. ඒ නිසා වෙන්න ඇති මට කිසි දෙයක් කරන්න එපා කියලා නීතී දැම්මේ නැත්තේ, ගුවන් විදුලි නාට්‍ය කරපු නිසා මගේ හැකියාව එයා දැක්කා. බාදුරා දේශය තමයි මගේ මුල්ම ටෙලි නාට්‍ය. 2000 වර්ෂයේ විකාශය වුණේ. ඊට පස්සේ දිගටම රඟපාන්නේ එයා මට දිලා තියෙන නිදහස එක්ක තමයි. විශ්වාසය රැක්කම පවුල් ප්‍රශ්න නැහැ


 

සුදර්ශන ඇත්තටම ෆර්නී ඔබේ විශ්වාසය රැක්කද..?


ඔව්. එයා මගේ විශ්වාසය විතරක් නෙමෙයි පවුලේ විශ්වාසයත් රැක්කා. මුල් කාලේ නම් මම එයත් එක්ක සමහර තැන් වලට ගියා. නමුත් රංගන ක්ෂේත්‍රයේ අයගේ ඇසුර මටත් තිබ්බ නිසා එයා ගැන අවිශ්වාස කරන්න හේතු තිබ්බේ නැහැ. අදටත් එහෙමයි


 


ඔබට ඇයව මුණගැහෙන්නේ ගුවන් විදුලියේදී..?


94 වර්ෂයේ මම ගුවන් විදුලියට තේරුණා. ඒ කණ්ඩායමේ ෆර්නීත් හිටියා. තවත් කිහිප දෙනෙක්ම හිටියා. සම්මුඛ සාකච්ඡා දෙක තුනකට පස්සේ තමයි කණ්ඩායමක් තේරුණේ. මුල් දවසේ එයාව දැක්කත් එච්චර හිතුවේ නැහැ. නමුත් රැකියාව ලැබුණු අපේ මේ කණ්ඩායමේ සාමාජිකයින් හැමෝම එකට තමයි කන්නේ බොන්නේ ගමන් බිමන් යන්නේ. ෆර්නිත් ඒ අතර හිටියා. ටික කාලයක් ගියාට පස්සේ අපි දෙන්නා හිතවත් වුණා. යාළුවෝ වුණා. පස්සේ ඇයව විවාහ කරගන්න මගේ හිතේ කැමැත්තක් ඇති වුණා. ඒ අනූව තමයි මම ෆර්නීට ආදරේ කරන්නේ. විවාහ යෝජනාව ගෙන එන්නේ. ඇයත් කැමති වුණා. දෙමාපියන් කැමති වුණා. අපි 97 දෙසැම්බර් මස 27 වැනිදා විවාහ වුණා. පසුව මම පුද්ගලික මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වුණා. එයා ගුවන්විදුලියේ ම හිටියා.


 


දෙන්නම මාධ්‍ය ට සම්බන්ධ නිසා දරුවෝ දෙන්නා කලාවට සම්බන්ධ වෙයිද..?


දුවලා දෙන්නා කලාවට සම්බන්ධ වෙනවට අපි දෙන්නගේ අකමැත්තක් නැහැ. පොඩි කාලේ දෙන්නා රඟපාලත් තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගය කරනකල් කලායතනයකට දාලා සංගීතය ඉගැන්වුවා. උසස් පෙළ විද්‍යා විෂයන් තෝරා ගත් නිසා ඒ දෙන්නා උසස් අධ්‍යාපනය හදාරනවා. අධ්‍යාපනය තමයි එයාලගේ මුලික තැන. ෆර්නී රඟපාන එක දකින නිසා එහි තියෙන කර්කෂ බව නිසා මේ දෙන්නා ඒ පැත්තට යොමු වෙන්න කැමති නැහැ. කට්ට කන්න බැහැ කියලා තමයි කියන්නේ


ෆර්නීගේ නිළි ජිවිතේ ජනප්‍රියත්වය එක්ක එය පවුලට බලපායි කියලා ඔබ හිතුවේ නැද්ද..? එහෙම බයක් නම් තිබ්බේ නැහැ. ෆර්නී පවුලට මුල් තැන දුන්නු නිසා හා පවුලේ වැඩ කටයුතු මඟ හැරියේ නැති නිසා. නමුත් අපි අතර ප්‍රශ්නයක් ආවොත් අපි කතාබහ කරලා විසදා ගන්නවා.


 


ජනප්‍රිය තරු එක්ක පැටලෙයි, සම්බන්ධකම් තියෙනවා වගේ චෝදනා ඇයට එල්ල කරලා තියෙනවාද..?


මුල් කාලේ මගේ මුණටම කියලා තියෙනවා ඇයි ෆර්නීව අර නළුවා එක්ක රඟපාන්න යවන්නේ, එයාගේ චරිතය එච්චර හොද නැහැ නේ. ඒ නළුවා මෙහෙම කෙනෙක්, මේ වගේ කෙනෙක් කියලා. නමුත් මම ඇතැම් රූගත කිරිම්වලට යන නිසා ඔය කියන නළුවන්ගේ හැසිරිම් කොහොමද ෆර්නී ඉස්සරහා කියලා මම දැකලා තියෙනවා. ඒ නළුවන්ගේ පුද්ගලික ජීවිතේ චර්‍යාවන් කැමරාව ඉස්සරට අදාල වෙන්නේ නැහැ. කැමරාව ඉස්සරහා ෆර්නි කරන්නේ රඟපාන එක. එයාට හානියක් නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ නේ. ඒ වගේ කතා එක්ක මුල් කාලේ මගේ හිතටත් වදයක් වුණා. දුක් වුණා. නමුත් ෆර්නී හිටපු ෆර්නිම තමයි. ප්‍රශ්නයක් නොවෙන්න අපි වග බලා ගන්නවා. අපි හරියට හිටියා නම් කවුරුත් අපිට ඇඟිල්ල දික් කරන්නේ නැහැ කියලයි මම හිතන්නේ


 






Previous Post Next Post