කලාවේ පරිහානියට හේතුව සාහිත්‍යයෙන් ඈත් වීමයි - යශෝධා විමලධර්ම




දශක තුනහමාරකට අධික කාලයක් වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය ඔස්සේ ඇය ගෙනෙන අපූර්ව චරිතවලට ඔබ ආදරය කරනවා නිසැකයි. පුංචි තිරයේ අහිංසකාව ලෙස පේ‍්‍රක්ෂක හදවතට සමීප වූ ඈ රංගනයෙන් පමණක් නොව ගීත රචනයෙන් ද සහෘද රසිකයන්ට ආමන්ත‍්‍රණය කරන්නීය. දෙස් විදෙස් සිනමාවේ අත්දැකීම් ඔස්සේ විදේශීය සිනමා සම්මාන උලෙළ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් ලෙස ද කටයුතු කරන්නීය. ඇය ඔබ ආදරය කරන ප‍්‍රවීණ රූපණවේදිනී යශෝධා විමලධර්මයි. 


 කොහොමද අලූ‍ත් තොරතුරු?



පහුගිය දවස්වල සිංහබාහු චිත‍්‍රපටය පටන් ගත්තනෙ. ඒත් අතර සිදු වූ අවාසනාවන්ත සිදුවීම නිසා රූපගත කිරීම් කටයුතු නතර වෙලා තිබෙනවා. ඊට වෙන් කළ කාලය තමයි මේ ගත කරන්නේ. අගෝස්තු අන්තිම වන තුරු දින 50ක කාලසටහනක් වෙන් කර තිබුණේ. ඒ නිසා වෙන කිසි කටයුත්තක් මේ දවස්වල කෙරෙන්නේ නෑ. ඒ පිළිබඳ අපි සුබවාදී ප‍්‍රාර්ථනාවෙන් ඉන්නවා අපේ මහා කලාකරුවා සිංහයකු සේ ආපසු නැඟිට එනතුරු. මොන තරම් රසික ජනතාවක් ඔහු වෙනුවෙන් ඉන්නවාද කියන දේ දැනගන්න ලැබුණේ මේ සිදුවීම නිසයි. එය ලොකු ශක්තියක්. ඒ තරංග ඔහුට දැනෙනවා. මේ විශ්ව ශක්තිය ඔහුට ලැබෙනවා. අපිත් සෙත් පතනවා හැම මොහොතකම. ඔහු නැවත නැඟිට අප වෙත එන බව අපට විශ්වාසයි. එතරම්ම ශක්තිමත් කෙනෙක් ජැක්සන් ඇන්තනි කියන්නේ.

 

 අනෙක් චිත‍්‍රපට අතර සිංහබාහු චිත‍්‍රපටයේ ඔබ දකින වෙනස කුමක්ද?

 

 සිංහබාහු චිත‍්‍රපටයත් අපේ මහා වංශයේ සඳහන් වූ කතාව, මහාචාර්ය සරච්චන්ද්‍රයන් ද කියූ කතාවම තමයි. හැබැයි සෝමරත්න දිසානායකයන්ගේ වෙනත් අර්ථකථනයක් එයට තිබෙන්නේ. එය අදට ආදේශ කළ එකක් නොවේ. ඒ කාල වකවානුවේ දෙයක් ලෙසම තමයි රූ ගන්වන්නේ. එහෙත් එය දෙස වෙනත් ඇසකින් බලා තිබෙන්නේ. මම ලංකාවේ පළමුවැනි වතාවට තමයි චිත‍්‍රපටයක කාව්‍යමය දෙබස් දකින්නේ. කාව්‍යමය වුණාට කවි කියනවා වගේ නෙවෙයි. ස්වාභාවික විදිහට කතා කෙරෙන, විරිතකුත් රැුකෙන දෙබස් ශෛලියක් තමයි අඩංගු වෙලා තිබෙන්නේ.

 

 ඔබ රඟපාන්නේ සුප්පා දේවියගේ චරිතය?

 

 ඔව්. ජැක්සන් අයියා රඟපෑවේ සිංහයාට. අපේ දරුවන් වන සිංහබාහු ලෙස සජිත අනුත්තර සහ සිංහ සීවලී ලෙස දුෂේනි ද සිල්වා කියන අලූ‍ත් ශිල්පිනිය එක්වනවා. සැබෑ දිවියේ තාත්තයි පුතයි, සිනමා නිර්මාණයක තාත්තයි පුතයි ලෙස රඟපානවා මම දැක්කෙත් පළමු වතාවට. අපි රූගත කිරීම් මුලින් කළේ දඹුල්ල ආශ‍්‍රිත කැලෑවේ. එහි රජ මාලිගා ආදිය තනා තිබුණත් ඒ රූගත කිරීම්වලට අවස්ථාව ලැබුණේ නෑ. අනුරාධපුරේ හත්ථිකුච්චි ප‍්‍රදේශයේ තමයි සිංහබාහුලා ජීවත් වූ ලෙන් ආදිය තනා තිබුණේ. අපට තව ලංකාව පුරාම රූගත කිරීම් යෙදී තිබුණා. ඒ සියල්ල මේ සිදුවීම සමඟ කල් ගියා.

 

 මෙවැනි වෙනස් නිර්මාණ සිනමාවට අවශ්‍ය ඇයි?

 

 අපේ සිනමා ඉතිහාසය ගත්තොත් යම් යම් විශේෂිත නිර්මාණ කෙරුණත්, බොහෝ විට එකම රීතියක යන එකම කාරණා ගැන කතා කරන චිත‍්‍රපට තමයි වැඩි වශයෙන් නිර්මාණය වී තිබෙන්නේ. අනෙක සිනමාත්මක නැත්නම් සිනමැටික් කියා ඉංග‍්‍රීසියෙන් හඳුන්වන නිර්මාණ අපි දකින්නේ අඩුවෙන්. ඒ වගේම මේ නිර්මාණය රටේ බොහොම තීරණාත්මක මොහොතක ආරම්භ කළ එකක්. ආචාර්ය සෝමරත්න දිසානායක වගේම රේණුකා බාලසූරියත් සිනමාව වෙනුවෙන්ම කැප වුණු දෙදෙනෙක් නිසායි අද වගේ කාලෙක මේ දැවැන්ත නිර්මාණ කටයුත්ත අරඹන්න ඇත්තෙ. ඒ කෙසේ වෙතත් මෙවැනි කෘති බිහි වීම අපේ සිනමාවට ඉතාම වැදගත්. මොකද ලෝකයෙත් එවැනි චිත‍්‍රපට බොහෝ අඩුයි. මෙල් ගිබ්සන්ගේ බ්‍රේව්හාර්ට් වැනි චිත‍්‍රපටයක උත්සාහ කරලා තිබුණා එවැනි අලූ‍ත් යමක් කරන්න. ශේක්ස්පියර් නාට්‍යවලට එංගලන්තේ අලූ‍ත් අර්ථකථන දෙනවා පෙළ ඒ ආකාරයෙන්ම තබාගෙන. එවැනි පර්යේෂණ කිරීම රටක නිර්මාණකරණයට හරි වැදගත්. ඒ වගේම සිංහබාහු චිත‍්‍රපටය දෘශ්‍යමය වශයෙන් හරිම ලස්සනයි. ලංකාවේ පරිසරයේ ලස්සනත් එහි හොඳින් පෙනෙනවා. ඉතින් ස්වභාවිකත්වයට ළං වුණාම අපටත් එය දැනෙන්න ගන්නවා. ඒ වගේම අපි භාවිත කළ ඇඳුම් ආයිත්තම්, බඩුබාහිරාදිය හා මෙවලම් සමඟ ඒ කාලය ගත කරද්දි රංග කාර්යයටත් හරි පහසුවක් දැනෙනවා.

 

 නිර්මාණකරුවන්ගේ යුතුකම විවිධත්වයකින් යුතු චිත‍්‍රපට පේ‍්‍රක්ෂකයන්ට දායාද කිරීම නේද?

 

 විවිධත්වයකින් නිර්මාණ ඉදිරිපත් කිරීම යුතුකමක් වගේම ඉතාම වැදගත් වගකීමක්. මේ වෙලාවේ හැම කර්මාන්තයක්ම අර්බුදයට ලක්වෙලා තිබියදී සිනමා කර්මාන්තයට විතරක් බේරෙන්න බෑ. රටක් වශයෙන් විතරක් නෙවෙයි ගෝලීය වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට අප පත්වෙලා ඉන්නේ. ඒ නිසාම තමයි නිර්මාණාත්මක විවිධත්වයත් ලබා දෙන්න ඕනෙ. මේ සෞන්දර්ය චාරිකාවේ නිරත අයගේ සෞන්දර්යවාදය විසින්මයි පීඩාවට පත් වූවන් සුවපත් කරන්න ඕනෙ. මොකද නිර්මාණකරුවන්ගේ පරිකල්පන ශක්තිය හෝ කුසලතාවය නැති වෙලා නෑනේ. ජීවිතය ඉස්සරහට යන්න ඕනෙ. මේ කාරණේ දෙපැත්තක් තිබෙනවා තමයි. ඒත් අපි තිබෙන සම්පත් සමඟ කටයුතු කරන්න පටන්ගන්න ඕනෙ. එවිට තමයි කර්මාන්තයක් ලෙස ආශක්ත වීමක් ඇති වන්නේ සහ අලූ‍තෙන් ක්ෂේත‍්‍රයට එන්න ඉන්න විශාල තරුණ පිරිසකට උත්තේජනයක් ලැබෙන්නේ.

 

 අලූ‍තෙන් ක්ෂේත‍්‍රයට එන පිරිස වැඩි වශයෙන් යොමු වන්නේ ආත්මීය ප‍්‍රකාශනයට? ඔවුන් ජනප‍්‍රිය ධාරාව ප‍්‍රතික්ෂේප කරන බවක් පේනවා?

 

 මම හිතනවා මේ ධාරාවන් දෙකේම අවශ්‍යතාව රටට තිබෙනවා කියලා. අපේ පේ‍්‍රක්ෂාගාරය මේ ආකාර දෙකම රසවිඳින්න පුළුවන් අය. පෞද්ගලිකව මගේ රංගනය ගත්තොත් මට බොහෝ විට රඟපාන්න ලැබුණේ කලාත්මක ගණයට වැටෙන චිත‍්‍රපටවල. විනෝදාස්වාදය ගෙනෙන ඒවාට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. හැබැයි ලැබුණොත් රඟ නොපා ඉන්නෙත් නෑ. ආරාධනා නැති නිසානෙ ඒවායේ රඟපෑවෙ නැත්තෙ.

 

 අපේ ස්වර්ණමය යුගයේ ඔය ධාරා දෙකම එකිනෙක නොගැටී එක සමානව තිබුණා. එවිට අපි සිනමාවෙන් හරි පොහොසත්. විනෝදාත්මක සිනමාව කඩා වැටුණේ හින්දි දෙමළ චිත‍්‍රපට කොපි කරන යුගයක් බිහිවුණ නිසා. ඒ කාලේ ස්වභාවිකත්වයට නැඹුරු කතා සංකල්ප බිඳ වැටුණු යුගයක්. දැන් ආපසු අපට ඉහළ රීතියක් භාවිත කරන්න පුළුවන්. ලස්සන කතා සංකල්පවලට යන්න පුළුවන්.

 

 අපි පහුගිය කාලේ දැක්කා අලූ‍ත් අයත් අන්තර්ජාතික වශයෙන් ඉහළට යනවා සම්මාන ලබනවා. හුඟක් අලූ‍ත් අය කලාත්මක සිනමාව පැත්තට නැඹුරු වුණේ ඒකයි. අන්තර්ජාතික වශයෙන් සම්මානයක් ලැබීමේ සතුට ඒ නිර්මාණවලින් රැුඳුණත් එනිසා අපට අන්තර්ජාතික වෙළෙඳපොළක් ලැබෙන්නේ නෑනේ.

 

 අද වෙද්දි තාක්ෂණික දියුණුවත් සමඟ ශාලාවකම චිත‍්‍රපට පෙන්වනවාට වඩා වෙනත් වේදිකා සැකසී තිබෙනවා. ලෝකය නම් එතැනින් එහාටත් ගිහින්. ඒත් අපේ රටේ තවම ශාලාවලට ගිහින් චිත‍්‍රපට බලන සංස්කෘතිය තිබෙනවා. අපිව අඳුරු ශාලාවක කොටු කරලා, පහන් නිවලා, චිත‍්‍රපටයක් පෙන්වද්දි ලබන විනෝදාස්වාදය වෙනම එකක්. අලූ‍තෙන් එන අය සම්මාන උලෙළවලට වඩා එහාට යන්නෙ කොහොමද කියලයි හිතන්න ඕනෙ. අපට චිත‍්‍රපට සංස්ථාව කියා එකක් තිබෙනවානෙ. එය අන්තර්ජාතික සබඳතා ඇති කරගන්න ඕනෙ. නෙට්පැක් වැනි අන්තර්ජාතික සබඳතා ඇති පෞද්ගලික සංවිධාන තව ඇති වන්න ඕනෙ. මොකද අපි විදේශ රටවල් සමඟ සබඳතා ඇති කරගත යුතුයි මේ කර්මාන්තය වැඩිදියුණු කරන්න නම්. මම මේ අර්බුදය පැත්තක තියලා ඉන් පරිබාහිරව කරන්න පුළුවන් දේවල් තමයි කීවේ. සිනමාවේ පසුගිය වසර 75ටම යම් යම් අය දැරූ උත්සාහයන් සාර්ථක වෙලා තිබුණත් රාජ්‍ය මට්ටමින් දිගටම උදවු ලැබිලා නෑ.

 

 ඔබේ රංගන දිවිය දැන් දශක තුනහමාරක් සපුරා අවසන්?

 

 මම අසූව දශකයේ අගභාගයේ සිනමාවට පිවිසෙද්දි සිනමා කර්මාන්තය කොපි චිත‍්‍රපට නිසා වැටිලා තිබුණේ. අපේ පරපුර අනූව දශකයට අයත් වුණ නිසා කර්මාන්තයේ ස්ථාපිත වෙලා රැුඳිලා ඉන්න පුළුවන් වුණා. මේ වසර 36 ඇතුළත මට චිත‍්‍රපට ගොඩාක් ලැබිලා නෑ. හැබැයි විශේෂ චරිත ලැබුණු නිසා ඒවා රසිකයන්ගේ හිතේ රැුඳිලා තිබෙනවා. මගේ කුසලතාව මීට වඩා පෙන්විය හැකි අවස්ථා උදා වුණේ නෑ. සිංහබාහු චිත‍්‍රපටයට වුණත් මම සහභාගී වන්නේ සුමිත‍්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවී චිත‍්‍රපටයෙන් වසර 10ට පසුවයි. ඒ අතර ටෙලිවිෂනයේ යම් යම් චරිත කීපයක් කළා පමණයි. ඒත් රංගන ශිල්පිනියක් ලෙස මගේ කූටප‍්‍රාප්තියට පැමිණිය යුතු කාලය මේ ගෙවෙන්නේ. වෙන රටවල නම් එවැනි ශිල්පී ශිල්පිනීන් සඳහා වෙනම තිරපිටපත් රචනා වෙනවා. ඇත්තෙන්ම මම අලූ‍ත් අයට කලාත්මක ධාරාවෙන්ම පැමිණීම ගැන දොස් කියන්නේ නෑ. ඔවුන් කලාත්මක චිත‍්‍රපට කරලා එක්තරා විදිහකට ආත්මාර්ථකාමී ගතියක් පෙන්වන්නේ මේ සිස්ටම් එක හැදිලා තිබෙන විදිහ අනුව බව පැහැදිලියි. රාජ්‍ය මට්ටමින් වගකීම් සහගත ආයතනයක් තිබුණා නම් මෙය වෙනස් වෙන්න තිබුණා.

 

 කලාකරුවන්ගේ සංවිධානවලින් මෙයට විසඳුම් සෙවිය හැකියිනේ?

 

 කලාකරුවන් එකමුතු වූ සංවිධාන හදාගෙන තිබුණට අද වෙද්දි ලංකාවේ එකමුතුවල ස්වභාවය ළඟදීත් අපට අත්විඳින්න හැකි වුණානෙ. ඒ දේවල්වල පවා ඇතුළෙ බෙදීම් තිබෙනවා. තමන් ගැන පමණක් නෙවෙයි කර්මාන්තයක් ලෙස හිතලා වැඩ කළොත් සියලූ‍ දෙනා රැුකෙයි. එහෙම නැතිව තමන්ට මඟක් හැදුණාම ඒ ඔස්සේ යනවා නම් එකමුතුවක් පවතින්නේ නෑ. ඔය තත්ත්වය දකින්න වැඩි දෙයක් අවශ්‍ය නෑ. පාරට බැහැලා වාහන පදවන විදිහ අනුව රටේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. ඇතැම් අය ඉන්නවා ඊට වෙනස්. ඒක තමන්ගේ සමාජ, අධ්‍යාපනික ආදි පසුබිම සමඟ ලැබෙන දෙයක්.

 

 රටක් වශයෙන් ගොඩනැෙඟද්දි පාරවල්, ගොඩනැඟිලි පමණක් හැදිලා මදි. ඒවත් ඕනෙ. ඒ එක්කම විනය, අධ්‍යාත්මය දියුණු වෙන්න ඕනෙ. එය පාසල් මට්ටමින්ම සැකසිය යුතු දෙයක්. එය රටේම සිස්ටම් එක ඇතුළෙ පොදුවේ ඇතිවිය යුතුයි.

 

 වර්තමාන රංගන ශිල්පී ශිල්පිනීන් ගැන ඔබට ඇති අත්දැකීම?

 

 අද රංගනයට එන අයත් කෙටි මාර්ගවලින් ජනප‍්‍රිය වෙන්න තමයි හිතන්නේ. අපට ඒ කාලේ තිබුණේ ඉගෙන ගන්න ආසාව. හොඳ චිත‍්‍රපට බලන්න ආසයි. ඒත් ආයතනයක් නැති නිසා අපි අපට මුණගැසුණ සියලූ‍ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ඕනෙ වුණා. අද ජනප‍්‍රිය වීම ගැන හිතන නිසා රංගන ශිල්පිනියක් වන්න ආ කෙනාට තව බොහෝ දේ කරන්න හිතෙනවා. මොකද මේ ක්ෂේත‍්‍රයේ එහෙම ලොකු ආදායමක් ලබන්නත් පුළුවන් තැනක් නෙවෙයි. ඒත් ඉක්මන් ජනප‍්‍රියත්වය තාවකාලිකයි. එහෙම ආ අය අද මතකයෙත් නෑ. එනිසා රංගන ශිල්පිනියක වීමේදී තමන්ගේ අරමුණ අධිෂ්ඨානය ලේ මස්නහර ඇතුළටම කිඳා බැස තිබිය යුතුයි.

 

 කලාකරුවෙක් කියන්නේ හැම අතින්ම ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් විය යුතුයි. රංගනය පිළිබඳ කතා කරද්දිත් සමහරු අලූ‍ත් ළමයින්ට බනිනවා. ඒත් ඒ අය මේ ක්ෂේත‍්‍රයේ පවතින්නත් එපැයි. එනිසා අවර ගණයේ හෝ ලැබෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්න සිදු වෙනවා. එතැනදි ඔවුන්ට කළ හැකි දේ තමයි නිර්මාණය කෙතරම් අවර ගණයේ වුවත්, තමන්ගේ කාර්යභාරය හරියට කරන එක. තමන්ගේ කොටස හොඳ අධ්‍යාපනයක් සහිතව කරන කෙනාව ඒ අතරින් කැපී පෙනෙනවා. මුදලට හැමදේම තීරණය වන අද කාලේ කෙනෙකුට ඉදිරියට යන්න පුළුවන් වන්නේ තමන්ගේ දැනුම හා හැකියාව දියුණු කරගත්තොත් විතරයි. මොකද සිසටම් එක හැදෙනකල් අපට කාලේ කා දමන්න බෑනෙ. බෙහෝ දෙනා මගෙන් අහන ප‍්‍රශ්නයක් තමයි රඟපාන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද කියන එක. මගේ පිළිතුර බෑ. මොකද රංගනය කියන දේ නිස`ගයෙන් ඇෙඟ් තිබිය යුතු දෙයක් වගේම ඉගෙන ගෙන කළ යුතු දෙයක් මිස හිතන තරම් සරල දෙයක් නොවේ.

 

 ඔබ හිතන්නේ රංග පාසලක් ඇති කළ යුත්තේ කෙසේ කියාද?

 

 රංග පාසල් කියන දේ පෞද්ගලිකව කරන කීපදෙනකු වෘත්තීය මට්ටමෙන් කරගෙන යනවා. ඒත් මෙය රාජ්‍ය මට්ටමින් කෙරෙනවා නම් වෙනත් රටක සහයෝගයත් ගත යුතුයි. මොකද ලබා දෙන සහතිකයට අන්තර්ජාතික වටිනාකමක් තිබිය යුතුයි. මෙතෙක් පැවතුණු හෝ පවතින කිසිම රජයකට මෙවැනි ලියාපදිංචියක් කරන්න උවමනාවක් නෑ. කලක් චිත‍්‍රපට සංස්ථාව වගකිව යුතු ආයතනය ලෙස විදේශ පාඨමාලා හදාරන්න අවස්ථාව උදාකර දුන්නා.

 

 පාසලක් ඇරඹීමේ කාර්යයට හැමෝම උදවු කළා. ප‍්‍රසන්න විතානගේ, ජයන්ත චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනි, අශෝක හඳගම වැනි අය එක්ව අපේ රටට ගැළපෙන්නේ මොන වගේ පාසලක්ද යන්න පිළිබඳ යෝජනාවලියක් සකසා දුන්නා. රටේ හැම දේම දේශපාලනික වෙලා. රට වෙනුවෙන් වැඩ කළ හරි විදිහේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් කීපදෙනයි ඉතිහාසයට එකතු වෙන්නේ. අනෙක් අය කරන කෙනෙකුටවත් වැඩ කරන්න දෙන්නේ නෑ. විශේෂයෙන් එහෙම අය සංස්කෘතික කරුණුවලට රිංගාගෙන සිටීම විශාල ප‍්‍රශ්නයක්. අඩු ගාණෙ අපේ වගේ පොඩි සිනමා කර්මාන්තයක් තිබෙන ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රමවේදය ගැන හෝ සොයා බලලා එය අපේ රටට ගැළපෙන අයුරින් ආදේශ කරගෙන සුදුසු ක‍්‍රමවේදයක් සැකසීමයි අවශ්‍ය.

 

 මොකද අපේ උවමනාවට මෙතුවක් කරගෙන ගිය දේ ඉදිරියට කෙරෙන්නේ කොහොමද කියලා අපට සැකසංකාවක් තිබෙනවා. මේ තත්ත්වය යටතේ මෙතුවක් කල් සිනමාව කර්මාන්තයක් ලෙස පැවතීමත් පුදුමයක්. වෙන රටක කෙනෙක් නම් මේ අවිධිමත් ස්වභාවය නිසා සිනමාව දාලා දුවනවා. ඒත් අපි තවමත් පරක්කු නෑ. ඊළඟ පරපුරටවත් හරි දේ ලබා දිය යුතු බව පාලකයන් හිතන්න ඕනෙ. දැන් මෙය අයන්නේ සිට හැදිය යුතු දෙයක් බවට පත් වෙලා.

 

 ඔබ පිටරට විනිශ්චය මණ්ඩලවල කටයුතු කළා?

 

 පිටරටවලට ගියාම තමයි හරියටම ලාංකික විනිශ්චය මණ්ඩලවල ක‍්‍රියාකාරීත්වය සැසඳෙන්නේ. තමන් කැමැති අයට අදිනවා මිස වෘත්තීය මට්ටමින් විනිශ්චය කෙරෙන්නේ නෑ මෙහෙ. ඒ රටවල තාක්ෂණික, කාර්මික ශිල්පීන් පවා විෂයය හරියට ඉගෙනගෙන වෘත්තීය මට්ටමින් එන්නේ. ඉස්කෝලෙකින් අපි එළියට එන්නෙ විනයක් ඇතුවනේ. මෙහෙ ඒ සියල්ල විසිරිලා තිබෙන්නේ. මම විදේශ උලෙළවලදි ලැබූ අත්දැකීම තමයි අපක්ෂපාතීබව. සමහර විට මගේ රටේ නිර්මාණයක් එහි තරග කරන්න පුළුවන්. ඒත් මම රංගන ශිල්පිනියක් ලෙස උලෙළේ සියලූ‍ නිර්මාණවල රංගන කාර්යය පිළිබඳව බලනවා මිස රටේ නිර්මාණය පමණක් සලකන්න බෑ. ඒ තත්ත්වය ලංකාවේ නෑ.

 

 අනෙක ඒ අවස්ථාවලදි මම විශාල වශයෙන් අපහසුතාවයට මුහුණ දුන්නේ ඔවුන් මම මොන රංගන පාසලෙන් ද ඉගෙන ගත්තේ කියලා විමසද්දි. මොකද ඒ විනිශ්චය මණ්ඩලයේ නිළියන් දෙදෙනකු ලෙස නියෝජනය කළ මමත් අනෙක් විදේශීය ශිල්පිනියත් වෙනුවෙන් අප දෙදෙනාගේ චිත‍්‍රපට දෙකක් ප‍්‍රදර්ශනය කළා. එහි රංගනය ගැන ඔවුන් විස්මයට පත්වෙලා කොපමණ කීවත් පිළිගන්වන්න අපහසු වුණා අපට රංගන පාසලක් නෑ කියලා. මොකද වෙනත් රටවල රංගන ශිල්පියෙකු ලෙස බලපත‍්‍රයක් ලැබෙන්නේ පාසලකින් අධ්‍යාපනය අවසන් කර ලියාපදිංචි වූ පසුවයි. ලියාපදිංචියක් නැති අයට රඟපාන්න බෑ. ඒත් අපේ රටේ පිටරට අයට ඇවිත් රඟපාන්න පුළුවන්. අපේ දර්ශන තල නොමිලේ භාවිත කරන්න පුළුවන්. කිසිම විනයක් නීතියක් නෑ.

 

 මාව මලයාලම් චිත‍්‍රපටයට තෝරාගත්තේ ඒ වෙද්දි ප‍්‍රසාද් චිත‍්‍රාගාරයේ මගේ චිත‍්‍රපටයක් සැකසෙනවා දැකලයි. ඒ නිෂ්පාදකවරයාට මාව සොයාගන්න විශාල මහන්සියක් ගන්න වුණා. ඒ කාලේ අද වගේ ජංගම දුරකථන ආදිය නෑ. ගෙදර අංකය හොයාගෙන කතා කරලා, කේරළයේ නළුනිළි සංගමයට විදේශ ශිල්පියෙක් ලියාපදිංචි කිරීම වෙනුවෙන් වැඩි මුදලක් ගෙවලා මාව ඔහුගේ චිත‍්‍රපටයකට යොදා ගැනීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් කරලා ගන්න වුණේ ඒ රටේ නීති රීති පද්ධතියක් තිබෙන නිසා. සිනමාව අයිති වෙන්නේ එන්ටර්ටේන්මන්ට් බිස්නස් නැත්නම් විනෝදාස්වාද ව්‍යාපාර ගණයට. මේ රටේ ෂර්ට් මහන අයටත් පිළිගත් නීති රීති පද්ධතියක් තිබෙනවා. අපේ රටේ අපේ රස්සාවට එහෙම දෙයක් නෑ.

 

 රටකට සිනමාවක් වටින්නේ ඇයි?

 

 සිනමාවට වෙන රටවල මුල්තැන දෙන්නේ අන්තර්ජාතික වශයෙන් අපේ සංස්කෘතිය විදහා දැක්වෙන්නේ මේ නිර්මාණ ඔස්සේ නිසයි. අපේ රටේ හින්දි චිත‍්‍රපට නොබලන කෙනෙක් ඉන්නවාද? මමත් බලනවා. මම රඟපෑවේත් මලයාලම් විනෝදාත්මක චිත‍්‍රපටයක. ඒ චිත‍්‍රපටවලින් සිහින ලෝකයක් විතරක් නෙවෙයි මවන්නේ. ස්වභාවික රීතියක මේ දේ අපට සිදුවුණා කියන දේ රසිකයාට දැනෙන්න ඕනෙ. එවිටයි පේ‍්‍රක්ෂකයා චිත‍්‍රපටය දෙතුන් වතාවක් නරඹන්නේ.

 

 චිත‍්‍රපටයක් දෙසැරයක් නරඹන්න හිතෙන රහස කුමක්ද?

 

 එය තිබෙන්නේ සිනමාකරුගේ කුසලතාවයේ. සමනල සංධ්වනිය විනෝදාස්වාදී චිත‍්‍රපටයකුත් නෙවෙයි. ඉහළ කලාත්මක එකකුත් නෙවෙයි. හැබැයි ජනතාවගේ හෘද ස්පන්ධනයට කතා කරනවා. ඒකයි වෙන්න ඕනෙ. මෙහිදී තිර රචනය තමයි මූලිකව වැදගත් වන්නේ. එයට ජීවය දීමේ හැකියාව අධ්‍යක්ෂවරයා සතුයි. ඒ දෙදෙනා අතර තිබෙන බැඳීම චිත‍්‍රපටයක සාර්ථකත්වයට බලපානවා. අපි හින්දි චිත‍්‍රපටවල තිබෙන සමහර දේවල් විශ්ලේෂණය කර හිතුවාම නිකම්ම ෆැන්ටසියක් විතරයි. ඒත් එහි සංගීතය, වියමන අනුව එය අපට වුණා වගේ හැෙඟනවා. අද අපේ තිර රචනාවල ලොකු ප‍්‍රශ්නයක් තිබෙනවා. වෘත්තීය මට්ටමේ තිර රචකයන් හරි අඩුයි සොයා ගන්න. මම නම් ලූ‍ණුයි බතුයි කන්නවත් සල්ලි නැතිව ගියත් අස්වාභාවික නිර්මාණයකට සම්බන්ධ වන්නේ නෑ.

 

 සමහරුන්ට එකදිගට ලියාගෙන යද්දි පරිකල්පනීය ශක්තිය අඩුවෙනවා පේනවා. ඒකට හේතුව ඔවුන් සාහිත්‍ය ඇසුරු නොකිරීම. වැදගත්ම කරුණ සාහිත්‍ය විෂයය ධාරාවෙන් ඉවත් කිරීම නිසා වුණ පරිහානිය. සාහිත්‍ය නිසි ලෙස ඇසුරු කළ අය අදටත් වැජඹෙනවා. එයට හේතුව අනෙක් සියලූ‍ දේ විෂයයන් ලෙස අපි ඉගෙන ගනිද්දී මනස දියුණු වෙන්නේ සාහිත්‍ය ඇසුරේ. අද ඒ තත්ත්වය නෑ. නැවත සාහිත්‍යය විෂයය නිර්දේශයට ඇතුළත් කරන්න කියලා මම හැමදාම කියන්නේ ඒකයි. වෛද්‍යවරු, ඉංජිනේරුවො ගීත රචනයට යොමු වෙන්නේ ඔවුන්ගේ මානසික පීඩනයෙන් මිදෙන්න. කලාවෙන් මනස පෝෂණය වනවා. අපි පාඩම් කළේ සින්දු අහගෙන. මගේ අක්කටත් මටත් ගෙදර හැදුණු වාතාවරණය ඒ වගේ. අපේ තාත්තා වුණත් පොතපත කියවන්නේ ගීතයක් පසුබිමින් ඇහෙද්දි.

 

 මම වේදිකා නාට්‍ය බලන්න පුරුදු වුණේ අවුරුදු 10 විතර ඉඳන්. ඒ අපේ තාත්තා නිසා. මට මතකයි ඉස්සර අපි සංවාද, සම්මන්ත‍්‍රණවලට යනවා. සම්මාන උලෙළකට පස්සේ ඒ පිළිබඳ සාකච්ඡුා තියනවා. පාසලේ කියවීම සඳහා වෙනම කාලපරිච්ෙඡ්දයක් වෙන් කර තිබුණා. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වුවත් කියවීම අනිවාර්යයි. අද අපට තාක්ෂණය භාවිතයෙන් පවා බොහෝ දේ කළ හැකියි. ලොක් ඩවුන් කාලේ කොයි තරම් දේ කරන්න තිබුණද? ඒත් අපි දකින්නේ සමාජ ජාලාවල එකිනෙකා කුලල් කාගන්නවා විතරයි.

 

 ෆෙස්බුක් එකේ මුහුණක් දැම්මොත් දහස් ගණන් ප‍්‍රතිචාර එනවා. ඒ කෙනාම කවියක්, ආදර්ශවත් යමක් කීවොත් ලයික්ස් කමෙන්ට්ස් කීයද එන්නේ. සමහරු මුහුණු පොතේ දාන පින්තූරයේ විස්තරයවත් නොකියවා ඒ ගැන ප‍්‍රශ්න අහනවා. රූපවාහිනියේ චිත‍්‍රපටයක් බලලා ඒක ටෙලි නාට්‍යයක්ද චිත‍්‍රපටයක්ද හොයාගන්න බැරි අයත් ඉන්නවා. සමහර වෙලාවට හිතෙනවා මෙහෙම අයත් එක්කද අපි කලාව කරන්නේ කියලා. ඔවුන් සිතන්නේ සමාජ මාධ්‍ය ඇතුළෙ ලෝකය තමයි ලෝකය කියලා. මේ දේවල් දන්න හින්දා ඉතින් තරහ යන්නෙ නෑ.

 

 ඔබ වේදිකාවෙත් අත්දැකීම් ඇත්තියක්?

 

 වේදිකාව මම වැඩියෙන් වැඩ කළ තැනක් නෙවෙයි. හැබැයි එදා වේදිකා නාට්‍ය එනතුරු අපි පැල්බැඳගෙන හිටියා. තෝරා බේරාගන්න බැරි තරම් නාට්‍ය තිබුණා. ඒ ඔක්කොම අපි බැලූ‍වා. අද වේදිකාවේත් සිනමාවේ වගේම විවිධත්වය නැතිව ගිහින්. එක්කෙනෙක් යමක් හැදුවාම එහිම අනුකරණ වැනි ශාඛා තමයි මතු වෙන්නෙ. අද තරුණයන්ට විශාල කාංසාවක් තිබෙනවා. ඔවුන් අතර ලිංගිකත්වය පිළිබඳ විශාල අපේක්ෂා භංගත්වයක් තිබෙනවා. ඒ නිසා ඇඳකුයි දෙන්නෙකුයි විතරක් පවා වේදිකාවට ගේන්න උත්සාහ කරනවා. මේ හැමදේකම එකිනෙකට අන්තර්සම්බන්ධයක් තිබෙනවා. එයින් දියුණු මනසක් නෙවෙයි පෙන්වන්නේ. පිටරැුටියන් මේවා බැලූ‍වොත් ඒ ගැන මොනවා නොහිතයිද?

 

 හිරු දහසක් වගේ නාට්‍යවලිනුත් කතා කළේ අපේ ප‍්‍රශ්න තමයි. ට්‍රොජන් කාන්තාවෝ වගේ නාට්‍ය කරන කාලේ තමයි ඔය ලිංගික නාට්‍ය ආවේ. එහි ඇත්තේ රචකයාගේ පරිකල්පනීය ශක්තිය මොට වීම සම්බන්ධ ප‍්‍රශ්නයක්. සාහිත්‍ය මැනවින් ඇසුරු කළ දැවැන්තයන් බොහෝ දෙනෙක් අද අප අතර නැතත් තවමත් අප අතර ඉන්න අය අතින් ඉඳහිට හෝ හොඳ නිර්මාණ බිහිවෙනවා.

 

 පුංචි තිරයේ අහිංසකාව ලෙසයි ඔබ හැඳින්වූයේ. අද ඒ ක්ෂේත‍්‍රය ගැන මොකද හිතන්නේ ?

 

 ටෙලි නාට්‍යවලටත් කලින් කියූ තත්ත්වය පොදුයි. සමහර කාලවලට හොඳ නාට්‍ය කියලා එන්නේ ඒ සැඟවුණු අයගේ නිර්මාණ. ඒවා පේ‍්‍රක්ෂකයන් පැල් බැඳගෙන නරඹනවා. ඒ කියන්නේ රසික රසඥතාව හරි තැන තිබෙනවා. අපි එයට ගැළපෙන නිර්මාණ නොදෙන එකයි ප‍්‍රශ්නය.

 

 මේ පුංචි රටට නාලිකා ගොඩක් බිහි වුණාම අවර ගණයේ නාට්‍ය බිහි වෙනවා. ටෙලිවිෂනය කියන්නේ සිනමා ශාලාවක් නෙවෙයිනෙ. කරමින් ඉන්න වැඬේ නවත්තලා නාට්‍යය බලන්න හිතෙන තැනට නිර්මාණය දියුණු වීමයි වැදගත්. ඒ තත්ත්වයේ නිර්මාණ බිහි නොවන්න නාලිකා ඇතුළතින් එන ප‍්‍රශ්නත් බලපානවා. සමහර නාලිකා ටෙලි නාට්‍යය ගන්නේ ඔවුන් කියන නළු නිළියන් යොදා ගන්නවා නම් විතරයි. ඉස්සර තිරපිටපත පවා අනුමැතියට දානවා. ඒත් දැන් ඒ ක‍්‍රමවේද නැති නිසා ගුණාත්මක බව අඩුවෙලා. ප‍්‍රමාණාත්මකබව විතරක් වැඩි වෙලා. පිටරට නිර්මාණ වුණත් අපේ සංස්කෘතියට ගැළපෙන හොඳ දේවල් පෙන්වනවාට මම විරුද්ධ නෑ. ඒත් ඉන්දියානු ටෙලි නාට්‍යවල පවුල් හැටක් විතර එක ගෙදර ඉන්නවා. එයාගේ නෝනා මෙයාගේ මහත්තයා එක්ක සම්බන්ධ වෙනවා. මේ දේවල්වලින් අපි පේ‍්‍රක්ෂකයාගේ, විශේෂයෙන් රැුකියාවකට නොයන ගෘහණියකගේ හිතේ පැළපදියම් කරන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. ඒත් අපේ මුල්ම දීර්ඝ නාට්‍යය වූ ¥දරුවෝ මඟින් අපේ කතාවක් අපි ගෙනාවේ ඒ වෙලාවට පාරෙ සෙනඟ නැති වෙලා රූපවාහිනිය ළඟ රොක් වෙන ආකාරයට.

 

 සෞන්දර්ය කලාවෙන් අප කළ යුත්තේ මිනිසුන්ගේ මනස සුවපත් කිරීම, සහ හදවතට තට්ටු කර අවදි කිරීම. අද ඒ එකක්වත් සිදු වන්නේ නෑ. තණමල්විල කොල්ලෙක් හැදුණේ අලූ‍ත් පරම්පරාවේ අයගෙන්. එය ඉහළ ගණයේ නාට්‍යයක්. එය ඉතා ජනප‍්‍රිය වුණා. එහි තේරුම ලෙස යළිත් කියන්න වන්නේ පේ‍්‍රක්ෂකයන්ට අපි හොඳ දේවල් දෙනවා නම් ඔවුන් එය වැලඳගන්නවා කියන එකයි. ඒත් තණමල්විල කොල්ලෙක් 2018 සිට වසර දෙකක් නාලිකාවලින් නොගෙන හිටියා. මේ දිනවල කිසිදේක මිලපාලනයක් නෑනෙ. අද ටෙලිවිෂනයට අමතරව යූටියුබයෙන් පවා නිර්මාණ නරඹනවා කියන්නෙ පේ‍්‍රක්ෂක සංඛ්‍යාව වැඩිවෙලා කියන එකයි. ජාතික නාලිකාවලින්වත් මේ දේවල් වෙනස් කරන්න පියවර ගන්න ඕනෙ. මොකද මේ තත්ත්වය පේ‍්‍රක්ෂකයන්ට වගේම ක්ෂේත‍්‍රයේ නියැළි අයට විශාල අසාධාරණයක්.

 

 ඔබ ගීතරචනයෙත් යෙදෙනවා?

 

 ගීත රචනයත් ඒ ආකාරයෙන්ම මේ සියල්ල සමඟ අන්තර් සබඳතාවක් දක්වනවා. ඒ නිසා තමයි හොඳ ගීත අද කාලේ ඉතා අඩුවෙන් බිහිවන්නේ. අනෙක් නිර්මාණවලට වඩා ගීතයක් විනාඩි තුනහතරක් ඇතුළත ඉක්මනින් මනසට ඇතුළු වෙලා විශාල කාර්යයක් කරනවා. අදටත් අපේ හදවතේ රැුඳෙන්නේ අපට පෙර පරම්පරාවල ගීත රචනා පමණයි. අලූ‍ත් හොඳ අය නැතුවා නොවෙයි. ඒත් බහුතරයක් අද වචන කෙළින් කියනවා විතරයි. ඒකට හේතුව ආයෙමත් සාහිත්‍ය පරිශීලනයේ අඩුව. ඇයි අපට බැරි දවසේ පැය භාගයක් පොතක් පතක් කවියක් කියවන්න යොදවන්න.

 

 අඩුම තරමින් මනුෂ්‍ය මනස සමබර සමාජයක් බිහි කරන්න කලා භාවිතය ඉතාම වැදගත්. එයින් අද පවතින ප‍්‍රශ්න ගොඩකට විසඳුම් ලැබෙනවා හොඳ සිතිවිලි ගොඩනැෙ`ගනවා. අධ්‍යාපන ක‍්‍රමය තුළ නියමිත විෂයන්ට දක්ෂතාව අඩු දරුවන්ගේ බාහිර කුසලතා හඳුනාගෙන එවායින් ඉදිරියට යා හැකි ක‍්‍රමවේදයක් තනන්න පුළුවන් නම් සාමාන්‍ය පෙළ ගණන් අසමත් වීමෙන් පසු ජීවිතයම අසමත් වූ බව සිතාගෙන සමාජයට වෛර කරන පිරිසක් බිහිවන්නේ නෑ.

 

 රංගනය පිළිබඳ මේ වෙද්දි අරුත් ගන්වන්න කැමැති කොහොමද?

 

 සමහරු දන්නේ නෑ ඇත්තටම රංගනය කියන්නේ කුමක්ද කියලා. සමහරු හිතනවා රංගනය කියන්නේ සාමාන්‍ය ජීවිතයමයි කියලා. එයට හේතුව ශිල්පියාගේ රංගනය සාර්ථක වීම. රංගන ශිල්පියෙකුගේ කාර්යභාරය තව කෙනෙකුගේ සිතුම් පැතුම්, ආත්මය තුළට රිංගීමයි. එහෙම නැතිව ඒ කෙනාට අදාළ ඇඳුම් ඇඳගෙන දෙබස් කීම පමණක් නෙවෙයි. එය සුවිශේෂී වගකීමක්. හැමෝටම කළ නොහැකි කාර්යභාරයක්. මගේ විශ්ලේෂණයට අනුව අපේ සමාජය නියෝජනය කරන වෙනස් චරිතයක් තමයි රචකයා අතින් ලියැවෙන්නෙ. එයට ආත්මගත වෙනවා කියන්නේ වෙනම ආරූඪ වීමක්. ඒ සඳහා ලොකු බුද්ධියක් සහ දැනුමක් තිබිය යුතුයි. අධ්‍යයනයක් අවශ්‍යයයි. ඒ චරිත දැක තිබීමත්, සමාජය පිළිබඳ ලොකු නිරීක්ෂණයකුත් අවශ්‍යයි. ඒ සියල්ල සමඟ තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන දේ පමණක් නොවේ අපි ඒ චරිතයට අපේ කොටසකුත් දායක කරමින් ජීවය දීමට ඇතුළාන්තය තේරුම් ගෙන ඒ තුළ ජීවත් වීමයි කෙටියෙන් කීවොත් රංගනය කියන්නෙ.

 

 එහෙම ආත්මගත වන්න රූපණය ඉගෙන ගන්න ඕනෙ. එහි අවස්ථා කීපයක් තිබෙනවා. ඒ මන්දිරයට යන පාර සොයාගෙන පසුව මන්දිරයේ දොර සහ දොරේ යතුරු අගුලූ‍ ඇර ගත්තොත් තමයි එයට පිවිසෙන්න පුළුවන් වන්නේ. ඒ මූලික පදනම ගැන දැනුම්වත් නම් ලෝකේ කොහේ හෝ රටක රංගනයේ නියැළෙන්න ඔබට පුළුවන්. අපට වේදිකා නාට්‍යවලදි මුලින්ම කියා දුන්නේ වේදිකාව මත කකුල් දෙකෙන් හිටගන්න විදිහ. තිරයේ වගේ කැමරාවක උදවුවෙන් මුහුණ හා ශරීරය කොටස් වශයෙන් ඉස්මතු කර පෙන්වන්න බැරි නිසා මූණෙ හා අත්වල ස්වරූප දෙකක් වෙන්න බෑ. ආත්මගත වනවා කියන්නෙ මුළු ශරීරයම ඒ වෙනුවෙන් සකස් වීමයි. රූපණය ඉගෙන ගත්තාම පසුව එය දියුණු කරගන්න පුළුවන්. ඒ සඳහා අපි විෂය මාලාවකුත් හදලා දුන්නා. සමහරු අහනවා පාසල්වලින් ඉගෙනගෙන කොහොමද රඟපාන්නේ කියලා. උත්තරේ අන්තර්ජාතික තලය.

 

 

 අරුණි මුතුමලී





Previous Post Next Post