කෑගහගෙන පාරට දුවද්දි ඇඟම හිරිවැටුණා - උපේකා නිර්මාණි




උපේකා.. අපිට පුතාගේ නම කියන්න?


පුතාගේ නම තීව්‍ර කාවිත්ම. දැන් පුතාගේ වයස අවුරුදු තුනයි මාස අටයි.


පුතා දැන් කොහොමද?


පුතා පොඩ්ඩක් දඟයි. හැබැයි එයා හරිම අහිංසක පුතෙක්. කියන දේ අහන, හරිම සංවේදී දරුවෙක්. එයාට හරි ඉක්මනට දුක හිතෙනවා. අපි පොඩ්ඩක් සැර කළත් එයාට ඉක්මනට දුක හිතෙනවා. අපි තරහයි කියලා කිව්වොත් එයා ඉක්මනට යාළු කර ගන්න උත්සාහ කරනවා. මම මොනවා හරි දෙයක් නිසා ''පුතා මම ඔයා එක්ක තරහයි'' කියලා කිව්වොත් එයා පස්සෙන් ඇවිත් අතින් ඇදලා මම ළඟට ඇවිත් මට තුරුල් වෙනවා. අපි තරහවෙලා අහක බලාගෙන හිටියොත් කොහොම හරි එයාගේ පැත්තට මුහුණ හරවලා යාළු කර ගන්නවා. එයා හරිම සංවේදී දරුවෙක්.




එයා මුලින්ම කිව්වෙ අම්මද? තාත්තද?


ඇත්තම කිව්වොත් එයා මට කියන්නෙ 'මමී' කියලයි. තිළිණට කියන්නෙ 'ඩැඩී' කියලයි. ඒක අපි කියලා උගන්වලා නෙමෙයි. පුංචි කාලේ ඉඳන්ම පුතා කිව්වෙ එහෙමයි. ගෙදර අපි කතා කරන්නෙම සිංහලෙන්. හැබැයි පුතා අපිට මමී සහ ඩැඩී කියලයි කියන්නෙ. එහෙම කියන්න එපා කියලා ඉස්සර ඉඳලා කොච්චර කිව්වත් පුතා ඒක වෙනස් කළේ නැහැ.


ඔයා රූපවාහිනියෙන් සින්දු කියනවා දකිද්දි පුතා දක්වන ප්‍රතිචාර කොහොමද?


එයාට ඒක ගැන ලොකු හැඟීමක් නැහැ. එයා මාව රූපවාහිනියෙන් දකිද්දි හඳුනනවා. හැබැයි ඒක ගාණක් නැහැ. අපි එයාගේ වීඩියෝ එහෙමත් රූපවාහිනියෙන් දාලා පෙන්වනවනෙ. ඒ නිසා ඒක විශේෂයෙන් එයාට දැනෙන්නෙ නැහැ.


පුතා වැඩියෙන්ම කරන්න කැමති සෙල්ලම් මොනවද?


පුතාට දැන් අවුරුදු දෙකක විතර ඉඳලා සෞරග්‍රහ මණ්ඩලය ගැන සෑහෙන දැනුමක් තියෙනවා. එයා ඒ ගැන ඉගෙන ගන්න හරි ආසයි. ඒ ගැන තියෙන වීඩියෝ බලනවා. එයාගේ වයසටත් වඩා දේවල් ඉගෙන ගන්න එයා උත්සාහ කරනවා. කාටූන් බලනවාටත් වඩා එයා ඉගෙන ගන්න තියෙන වීඩියෝ බලන්න හරි ආසයි. සමහර වෙලාවට එයා ක්ලේවලින් සෞරග්‍රහ මණ්ඩලය පවා ලස්සනට හදනවා.


කාවිත්ම පුතා වැඩිපුර සමීප උපේකාටද? තිළිණටද?


එයා දෙන්නටම ආදරෙයි. හැබැයි තාත්තට වැඩිපුර ආදරෙයි කියලයි මට හිතෙන්නෙ. මම පුතා එක්ක හැමවෙලේම ළඟ ඉන්නවනෙ. ඉතින් ඉඳලා හිටලා තිළිණව දකිද්දි එයාට පුදුම සතුටුයි.


දරුවා නිසා උපේකාගේ හිත කලබල වුණු සිදුවීමක් මතක් කළොත්?


අම්මෝ එහෙම දවසක් නම් තියෙනවා. අපේ ගෙදර පාරක් ළඟයි තියෙන්නෙ. දවසක් ගේට්ටුව ඇරලා තියෙද්දි අපි හැමෝම මිදුලේ ඉන්න වෙලාවක පුතා එකපාරටම කෑගහගෙන පාරට දිව්වා. අපි එයාගේ පස්සෙන් දුවගෙන ඒවි කියලයි එයා හිතුවෙ. අම්මෝ.. එදා නම් අපි හොඳටෝම බය වුණා. එකපාරටම දුවපු පුතා එහා පැත්තෙයි නතර වුණේ. අපිට අල්ලගන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ. හොඳ වෙලාවට වාහනයක් පාරෙ ගියේ නැහැ. ඒ සිදුවීම නම් මට අමතක වෙන්නෙ නැහැ.


පුතා දැන් පෙර පාසල් යනවා නේද?


ඔව්.. අපි පුතාව අවුරුදු තුනේදි පෙර පාසලට ඇතුළත් කළා. පළවෙනි දවසෙයි දෙවැනි දවසෙයි පුතා අඬන්නෙ නැතිව එයාගේ ටීචර්ගෙ අතේ එල්ලිලා පන්තිය ඇතුළට ගියා. හැබැයි තුන්වැනි දවසෙ ඉඳලා දවස් කිහිපයක්ම පුතා ඇඬුවා. දැන් නම් එයා පෙර පාසල් යන්නෙ හරිම ආසාවෙන්.




ගෙදරදි උපේකා සින්දු කියද්දි පුතා ඒකට දක්වන ප්‍රතිචාර කොහොමද?


මටත් මගේ පුතාගේ තියෙන හැකියාව බලන්න ආසා හිතුණා. ඒ නිසාම මමත් එයාට ඇහෙන්න සින්දු කියනවා. එයාට වචන කියාගන්න තේරෙන්නෙ නැතිවුණත් ඒ තාලයටම එයා හරි අපූරුවට මුමුණනවා. එයාටත් සින්දු කියන්න හැකියාවක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ.


අද තිළිණ, පුතා එක්ක ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ?


මේ ගත කරන ජීවිතේ ගැන ගොඩක් සතුටුයි. ජීවිතේ ලස්සන වෙන්න නම් කසාද බැඳලා දරුවෙක් ලැබෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ. මම විවාහ වෙලා හරි ඉක්මනින් දරුවෙක් බලාපොරොත්තු වුණා. වයසට යන්න කලින් දරුවෙක් හදලා එයාව ලොකු කරන්න මට ඕනවුණා. මම විවාහ වෙද්දි මට වයස අවුරුදු විසි හයයි. පුතා ලැබෙද්දි වයස අවුරුදු විසි හතයි. අද ගෙවන මේ ජීවිතේ හරිම ආසාවෙන් තමයි ගෙවන්නෙ. ඒ ජීවිතයට මම හරි ආදරෙයි.


 දිශානි





Previous Post Next Post