ආශා.... මේ දවස්වල මොකද කරන්නේ?
පහුගිය කාලයේදී රටේ තිබුණ තත්ත්වයත් එක්ක බොහෝ රූගත කිරීම් නතර වුණා. මේ දවස්වල ඒ නැවතුණ රූගත කිරීම් ආයෙමත් පටන් ගත්තා. පහුගිය කාලයේදී මම සම්බන්ධ වෙලා කටයුතු කළේ බොහෝ දුර බැහැර රූගත කිරීම් කිහිපයටයි. ඒ නිර්මාණවලට මම හරිම ආසාවෙන් දායක වුණා. ඉතින් ආයෙමත් ඒ නිර්මාණවල වැඩ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලොකු සතුටක් හිතේ තියෙනවා. මම දායකවුණ "ගුග්ලි" ටෙලිනාට්‍යයත්, රහයි ජීවිතේ ටෙලි නාට්‍යයත් පහුගිය කාලවලදී විකාශය වුණා.
ඔබ ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගන්නවාද?
මෙච්චර කාලයක් එහෙම ලැබෙන හැම චරිතයක්ම බාර ගත්තේ නැහැ. රඟපෑමට අමතර මම ප්‍රඩක්ෂන් ආයතයක් පවත්වාගෙන යනවා. ඒකේ වැඩ කටයුතුත් එක්ක මම වෙලාව වෙන්කරගන්න පුළුවන් නිර්මාණ පමණක් බාරගත්තා. ඒ කාර්යබහුලකමත් එක්ක ලැබුණ ආරාධනා කිහිපයක්ම අකමැත්තෙන් වුණත් ප්‍රතික්ෂේප කරන්න සිදුවුණ අවස්ථා තිබුණා. ඒ නිසාම මම වැඩිපුර කාලයක් රංගනය වෙනුවෙන් කාලය වෙන්කරන්න ඕනෑ කියලා මටම හිතුණා. ඔය අතරේ මෙච්චර කල් කරන්න බැරිවුණ චරිත කරන්න මට ආසාවක් ඇතිවුණා. ඒ වෙද්දී මම අම්මා කෙනෙක්ගේ චරිතයක් කරලා තිබුණේ නැහැ. මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ "ගුග්ලි" ටෙලිනාට්‍යය හරහා මට ඒ අවස්ථාව ලැබුණා. ඒ අතරේ "රහයි ජීවිතේ" ටෙලි නාට්‍යයෙන් මට මානසික රෝගයකින් පෙළෙන සැමියෙකුගේ බිරිඳගේ චරිතය කරන්න අවස්ථාව ලැබුණා. ඒවගේ චරිතයක් මම ඊට පෙර කරලා තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් මාව සම්බන්ධ කරගන්න තරංග දිසානායක සහ සුපුන් රත්නායක අයියලාට ස්තූති කරන්න ඕනේ. මේ වෙද්දී මම දායක වුණ ටෙලිනාට්‍ය හයක් පමණ තිබෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණ විකාශනය වේවි.
කාලයක් ආශා ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් විදිහටත් කටයුතු කළා?
ඔව්... මේ වෙද්දීත් අපි ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරනවා. ඒකෙත් රූගත කිරීම් මේ ගැටලු සහගත තත්ත්වයන් නිසා තාවකාලිකව නතර කළා. ඒකත් ටිකක් වෙනස් කතාවක්. ඒ නාට්‍යයේ මමත් චරිතයක් රඟපානවා. හැබැයි ඒ ප්‍රධාන චරිතයක් නෙවෙයි. චාන්දනී සෙනවිරත්න අක්කා, විශ්වජිත් ගුණසේකර සර්, පියුමි බොතේජු, දසුන් පතිරණ, නයෝමි තක්ෂිලා වගේ දක්ෂ පිරිසක් ඒකේ රඟපානවා. ඒ ටෙලිනාට්‍යයේ වැඩ කටයුතුත් ඉක්මණින් කරලා අවසන් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.
නිළියක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?
කොහෙත්ම නැහැ. මම අවුරැදු එකොළහේදී ළමා නිළියක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. පුංචි කාලේ මම නර්තනයට හරි ආසයි. ඉගෙන ගන්නටත් කිසිම උවමනාවක් තිබුණේ නැහැ. නටන්න තිබුණොත් ඇති. කියලයි හිතුවේ. තාත්තාගේ රැකියාවත් එක්ක අපි කාලයක් ඇඹිලිපිටියේ පදිංචි වෙලා හිටියා. මහවැලි සංස්කෘතික බලකායේ නැටුම්වලට මම සහභාගි වුණා. සතිස්චන්ද්‍ර එදිරිසිංහ සර් ඒ වෙද්දී මහවැලි සංස්කෘතික කේන්ද්‍රයේ සේවය කළා. සචින් සර්ගේ "ගිරිගුලේ අන්දරේ" නාට්‍යයට තමයි මාව මුලින්ම සම්බන්ධ කර ගත්තේ. එතකොට මට වයස අවුරුදු එකොළහක් විතර ඇති.
රංගනයට එකතුවෙනවට දෙමව්පියන් කැමැති වුණාද?
මුලින් නම් තාත්තා කැමැති වුණේ නැහැ. අම්ම නම් හරිම කැමැති වුණා. අපේ අම්මා ඉස්සර ගුවන්විදුලියේ සිංදු කියන්නත් ගිහින් තියෙනවා. ඒ ආසාව නිසාම මම එක නාට්‍යයකට හරි ඉදිරිපත් වෙනවට අම්මා කැමැති වුණා. කොහොම හරි අවසානයේ තාත්තාත් කැමැති වුණා. මුලින් ගිය දවසේ "මට කරන්න බැහැ" කියල මම ඇඬුවා. හැබැයි සතිස් සර් මාව දිරිමත් කළා. ඒ නාට්‍යය විකාශනය වෙද්දී තමයි "මම කොහොම හරි ඉගෙන ගන්නවා" කියලා හිතලා මමම හිතලා අධ්‍යාපනය පැත්තට අවධානය යොමුකළා.
ආශා ඉගෙන ගත්ත පාසල මොකක්ද?
තාත්තාගේ රැකියාවත් එක්ක මම පාසල් කිහිපයකම ඉගෙන ගත්තා. ටෙලිනාට්‍ය රූගත කිරීම් කරද්දී ඇඹිලිපිටිය මොරකැටිය මහ විදුහලෙයි. පසුව අපි ගම්පහට ආවා. ඒ නිසා ගම්පහ සෙනරත් පරණවිතාන විදුහලේ මම මාස ගණනක් ඉගෙන ගත්තා. ඒ පාසලේ ඉගෙන ගනිද්දී ගම්පහ යශෝදරා බාලිකා විදුහලට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව ලැබුණේ පුංචි කාලේ කරපු ටෙලිනාට්‍යය නිසයි. "ගිරිකුලේ අන්දරේ" ටෙලිනාට්‍යය නිසා මට බොහෝ දේවල් ලබාගන්න හැකිවුණා.
පුංචි නිළියට පාසලෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. බාලිකා පාසලක් නිසා පළමු දවසෙම "දුවව තියල යන්න. ඊළඟ දවසෙ ඇතුළත් කරගන්න වැඩ ටික කරමු." කියල තාත්තාට පාසලෙන් කිව්වා. මුළු ගුරැ මණ්ඩලයම එදා මාව බලන්න ආවා. ළමයි වුණත් හරි හොඳයි. මාව එයාලගේ පෝලිමට ගන්න උත්සාහ කළා. මට යාළුවෝ ගොඩාක් හිටියා. ඉගෙන ගන්න ආසාවක් නොතිබුණු මට ඉගෙන ගන්න ආසාව ඇතිකළා. "මම කොහොම හරි ඉගෙන ගන්නවා" කියලා අධිෂ්ඨානයක් ඇති කරගත්තා. අවසානයේදී මට කැලණි විශ්වවිද්‍යාලයට යන්න හැකියාව ලැබුණා.
අද ආශාගේ තාත්තා ජීවතුන් අතර නැහැ. කලාවේ ඔයාගේ ජයග්‍රහණයන් ගැන තාත්තාගේ තිබුණු ප්‍රතිචාර කොහොමද?
"ගිරිකුල අන්දරේ" නාට්‍යයෙන් පස්සේ කුඩා දරුවන්ගේ චරිත විදිහට මට අවස්ථා බොහෝමයක් ලැබුණා. නමුත් මුලින් ඔයා ඉගෙන ගන්න. පස්සේ ඔයා කැමැති තීරණයක් ගන්න" කියලයි තාත්තා කිව්වේ. ඒ නිසා මම ඒ නිර්මාණ බාරගත්තේ නැහැ. ඒ නිසා මිනිසුන්ට මාව අමතක වුණා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ කැලණි විශ්වවිද්‍යාලයට යන්නට පෙර ගෙදර ඉන්න පොඩි කාල සීමාවේදී මම ආයෙත් ටෙලිනාට්‍ය තුනකට සම්බන්ධ වුණා. ඒ සසඳරා, යසෝ මන්දිර, සූරිය සිහිනයයි. ඒ වෙද්දීත් ඒවාට සම්බන්ධ වෙනවට තාත්තාට ලොකු කැමැත්තක් නොතිබුණාට උසස් පෙළ හොඳට සමත්වෙලා විශ්වවිද්‍යාලයට තේරැණ නිසා තාත්තාගේ අකමැත්තක් තිබුණේ නැහැ.
නිළියක් විදියට කැලණි විශ්වවිද්‍යාලයට යද්දී එහි ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
කැලණි විශ්වවිද්‍යාලයේ මට දුන්නු නවකවදය කොයි වෙලාවේවත් අසුන්දර වුණේ නැහැ. නවක වදයක් දුන්නා. දවසක් මම විශ්ව විද්‍යාලයට මගේ අම්මව එක්කගෙන ගියා. එහෙම කිසිම කෙනෙක් අම්මව විශ්වවිද්‍යාලයට එක්ක ආවේ නැහැ. අම්මා මගේ පස්සෙන් එද්දී මම ඉස්සරවෙලා සරසවියට ගියා. අම්මා ගෙදර ගියා. විවේක කාලයේදී මාව අයියල අල්ලගෙන කාට පෙන්නන්නද අම්මාව එක්ක ආවේ. මේක ඉස්කෝලයක් කියලා හිතුවද? ඊළඟ දවසෙ අම්මව එක්ක ආවොත් බලාගෙනයි කියලා මට බැන්නා. මම ඊළඟ දවසෙත් අම්මව එක්කගෙන ගියා. එදා ඒ අය අම්මා එක්කත් හිනාවෙලා කතා කළා. ආයෙත් අම්ම ගියාට පස්සේ මාව අල්ලගෙන බැන්නා. ඇත්තටම ඒවා හරිම රසවත් සිදුවීම්.
ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?
මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් නැහැ. ඇත්තටම මම එහෙම අරමුණු බලාපොරොත්තු ලොකුවට තියාගන්න කෙනෙක් නෙවෙයි. මම අද විතරයි ජීවත් වෙන්නේ කියන හැඟීමෙන් ජීවත් වෙන කෙනෙක්. බලාපොරොත්තු ආසාවල් පොදි බැඳගෙන ජීවත් වෙනවාට වඩා ඒක හොඳයි අද හරිම සතුටින් ඉන්නවා. ප්‍රශ්න ජීවිතේ අපි හැමෝටම තිබෙනවා. ඒ අතරේ මම පුළුවන් තරම් සතුටින් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා.
දිශාන ජයමාලි