සිනමාවේ පෙම්වතියගේ චරිතය ලැබීම මට ආඩම්බරයක් – තරින්දි ප්‍රනාන්දු



තරින්දි ප්‍රනාන්දු පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන්නෙ “ද ගේම්” චිත්‍රපටයේ ඇය විසින් රංගනයේ යෙදෙන පෙම්වතියගේ චරිතය හේතුවෙන්. එය ඇය සිනමාවේ ප්‍රධාන භූමිකාවකට පණ පොවන පළමු අවස්ථාව වන අතර එම අවස්ථාව ලැබීම ගැන ඇය කියන්නේ මෙවැනි කතාවක්.


ඇත්තටම “ද ගේම්” චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුරංග අල්විස් මහතාට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා මාව විශ්වාස කරලා මේ නිර්මාණය සඳහා තෝරගත්තාට. මොකද ඔහු මීට පෙර මාත් සමඟ වැඩ කරලා තිබුණේ නැහැ, මාව එක ටෙලිනාට්‍යයකින් දැකලා තමයි මේ සඳහා තෝරාගෙන තිබුණේ. ඔහු ලොකු අවදානමක් සහ අභියෝගයක් තමයි ඒ අවස්ථාවේ භාරගත්තේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි සිනමා නිර්මාණයක පෙම්වතියගේ චරිතය රඟපාන්න ලැබුණ ප්‍රථම අවස්ථාව මෙය නිසා. ඉතිං “ද ගේම්” චිත්‍රපටයට සම්බන්ධවීමට ලැබීම පිළිබඳව ලොකු ආඩම්බරයක් මෙන්ම සතුටක් තියෙනවා.


“ද ගේම්” චිත්‍රපටය රටේ පවතින මෙම අර්බුදකාරී කාල වකවානුවේ ප්‍රදර්ශනය වීම ගැටලුවක් වුණාද?


ඔව්, ඇත්තෙන්ම ගැටලුවක් වුණා. මේ අර්බුදකාරී තත්ත්වය පමණක් නෙවෙයි මොකද “ද ගේම්” සිනමා නිර්මාණය මුලින්ම ආරම්භ කළේ 2019 වර්ෂයේ. එදා ඉඳලා අපිට බොහෝමයක් අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවුණා. අවස්ථා දෙකකදීම කොරෝනා උවදුරටත්, ඊට පසුව රන්ජන් රාමනායක මහත්මයාව ප්‍රථමවරට සිරගත කළා. ඉන්පසුව ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. ඉතිං මේ සෑම අවස්ථාවකදීම රූගතකිරීම් නතර කරන්නට සිදුවුණා. ඒ සියලුම අභියෝගයන්ට මුහුණදීලා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබියදී රටේ දැනට පවතින අර්බුදකාරී තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවුණා. චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න තිබුණ දිනයෙත් නෙවෙයි ඇත්තටම ප්‍රදර්ශනය වුණේ. මේ සෑම අභියෝගයක් හමුවේම සුරංග මහත්මයා අධ්‍යක්ෂකතුමා විදියටත් රංගන ශිල්පී ශිල්පිණියන් ලබාදුන් කැපකිරීම්වලට ප්‍රයෝජනයක් ලබාදීම උදෙසා අභියෝගයක් ගෙන එයට මුහුණ දුන්නා. එයට හොඳ ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා කියලා අපට දැනට ලැබෙන ප්‍රතිචාරවලින් සහ ආදායම් ලබමින් ඉදිරියට ඇදීයෑමත් සමඟ එම අභියෝග සියල්ල ජයග්‍රහණය කරා කියලා හිතෙනවා.


ඔබ “විවාහය” පිළිබඳව මොනවගේ මතයක්ද දරන්නේ?


දෙදෙනා අතර විශ්වාසයක් තියෙන්නත් ඕන. ඒ විශ්වාසය ගොඩනංවා ගැනීමෙන් පසුව විවාහයට යන්න පුළුවන් නම් යෝග්‍යයි කියලා තමයි මම විශ්වාස කරන්නේ.


පාරමි කෞෂිකා






Previous Post Next Post