මවක් වීම ඇත්තටම අමුතුම අත්දැකීමක් - ශේෂාද්‍ ප්‍රියසාද්




ප්‍රියසාද් කලා පවුලේ දෙවැනි දියණිය ඇයයි. සුන්දර ශේෂාද්‍රි රූපයෙන් වල්ම අදහස් වළිනුත් සුන්දර කෙනෙක් ලෙස අතිශයෝක්තියකින් තොරව හඳුන්වන්න පුළුවනි. වෙනදාටත් වඩා අද ඇය ලස්සනට පෙනෙන හේතුවක් තියෙනවා. ඒ තමයි ඇයගේ මවක වීම. ඇයගේ සිඟිති දියණියගෙ නම ක්‍රිෂාර්යයා’ ඒ දියණියගේ කිරි සිනා අතරේ මහා සාගරයක් තරමට ශේෂාද්‍රිගේ කැදැල්ල පුරා සෙනෙහස ගලන මොහොතක මේ සෙනෙහසේ පිළිසඳර ඇය සමගයි.


 ශේෂාද්‍රි සතුටින් වගෙයි පෙනෙන්නේ?


මොන ප්‍රශ්නය ආවත් සතුටින් ඉන්න තමයි බලන්නෙ. මෙතෙක් ජීවිතේ මට තිබුණු අත්දැකීම් එක්ක  ඉගෙන ගත්ත දෙයක්. මිනිසුන්ට ප්‍රශ්න එනවා. ඒත් ඒවා මතම සිටිය යුතු නැහැ. මොන ප්‍රශ්නය  ආවත්, ඒ ඉදිරියේ හිනා වෙලා ඉන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. 


'Once upon a time in colombo' නාට්‍යයේ නේන්ද ශේෂාද්‍රි, මේ දිනවල දැක ගන්න පුළුවන්?


ඒ නාට්‍ය තවම විකාශය වෙනවා. හැබැයි මගේ චරිතය දැන් විකාශය වෙලා ඉවරයි. මුස්ලිම් තරුණියකගේ චරිතයක් රඟපෑවේ. ඒ ස්වරය සහ වෙනස් චරිතයක් නිසා ඒක මම ආසාවෙන් කළ එකක්, බොහෝ දීඝව එක දිගට ගලා යන චරිතයකට වඩා, හැඩයක්, වෙනසක් තියෙන ඒ වගේ චරිතවලට මම කැමතියි. ඒ චරිතය තවදුරටත් විකාශය නොවුවත්, ඒ කියන්නේ චරිතය, එතැනින් ඉවර වුණත්, මේ කළම්බු නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් තවම මට ලැබෙන්නෙ හොඳ ප්‍රතිචාර. ඒ චරිතයේ නම “සුල්ෆිකාර්.


කොහොම වුණත් ශේෂාද්‍රි ටෙලිනාට්‍ය ඔස්සේ අපට මේ විදියට හමුවන්නේ කලාතුරකින්නෙ ? ඔබ බොහෝ විට කැමති සිනමාවට සහ වැඩිපුර අපට හමුවන්නෙත් සිනමාවෙන්, කොහොමද ඒ වැඩ කටයුතු ? 


සමහර විට මේ දක්වා වැඩිපුර සිනමාවට මගේ දායකත්වය ලැබුණේ ටෙලි නාට්‍යවල රඟපාන්න අකමැත්තෙන් තිබූ නිසා නෙවෙයි. කාලය පිළිබඳව ඇති ප්‍රශ්නය නිසයි. රංගනයේ දී ටෙලි නාට්‍යයකට දායක වීමේ දී දීර්ඝ කාලයක්, දින ගණනක් ඒ වෙනුවෙන් වැය කරන්න වෙනවා. වැඩක් පටන් ගත්තොත් අතරමග දාලා යන්නත් බැහැනේ. නමුත් ෆිල්ම් එකක් බාර ගත්තොත් සීමිත දින ගණනකින් රූගත කිරීම් නිම වෙනවා.


කොහොම වුණත් පසුගිය කාලයේ දී ටෙලි නාට්‍යවලට දායක නොවුණේ මගේ අධ්‍යාපන කටයුතු එහෙම කළ නිසයි. ඒ නිසා ෆිල්ම් එකකට දායක වුණෙත් අවුරුද්දකට දෙකකට වගේ විතරයි. හැබැයි අද මට එදාට වඩා කාලය තියෙනවා. ඒ නිසා මූලින් කිව්ව විදියට වෙනස් වෙනස් චරිතවලට දායක වෙන්න සීමිත කොටස් ගණනක සීමා වූ චරිතයෙනුත් යමක් කළ හැකි ටෙලි නිර්මාණ ලැබුණොත් බොහෝ විට බාර ගනීවි. සිනමාවේ වැඩ කොහොම ද කියලත් ඔබ ඇහුවනෙ. මම රඟපෑමෙන් දායක වූ චිත්‍රපට පහක් තිරගත වීමට තියෙනවා. එක් චිත්‍රපටයක නම තරු අතර වීර්යයා (ඒකෙ නම වෙනස් වේවි) ඊට අමතරව තාත්තා අධ්‍යක්ෂණය කළ රහස් ජීවිතේ සහ තාත්තාගෙම තවත් අලුත් චිත්‍රපටයක් සහ තව චිත්‍රපටයක් ඇතුළු ඔක්කොම 5ක් එන්න තියෙනවා.


මොන විදියට රංගනයෙන් දායක වුණත් ශේෂාද්‍රි මාධ්‍ය සාකච්ඡා සහ මාධ්‍ය හමුවේ පෙනී සිටින්නට අකමැතියි වගේ පෙනෙනෙ ? ඇයි ඒ?


පසුගිය කාලය පුරාවටම ගත්තොත් මීඩියා වලින් බොහෝ විට කතා කළේ, කලාවේ අපි කියන කරන දේවල් ගැන. නිර්මාණ ගැන කතා කරන්න නෙමෙයි. ඉස්සෙල්ලාම, ආදරය, විවාහය, ඊට පස්සෙ මවක් වුණා ද? ඔය වගේ බොහෝ ඕපාදුප ගැනයි. මිනිස්සුන්ට දැන ගන්න ඕනෑ එක සමාජ මාධ්‍ය ඔස්සේ බොහොම

කෙටියෙන් මම පළ කරනවනෙ. ඉතින් ඊට එහා අතිශයෝක්තියකින් පුද්ගලික ජීවිතය වැඩක් නැහැනේ. ඒ හැරත් නිතරම වගේ පුද්ගලික ජීවිතය හා බැඳුණු දේ ගැන කතා කරන්න මගේ කැමැත්තක් නැහැ. අපි කරන නිර්මාණ ගැන කලාවේ කටයුතු ගැන කතා කරන්න බොහෝ දේ අපට තියෙනවනෙ. මාධ්‍ය

ක්ෂේත්‍රයේ හැමෝටම මම ගරු කරනවා. කිසිම කෙනෙක් එක්ක අමනාපයක්, තරහක් නැහැ. ඉතින් මම  වැඩිය කැමති දේ ගැන තමයි කිව්වේ. මොන ක්ෂේත්‍රයක හෝ තරුවක් වූ පසු එනම්, තරු චරිතයක් වූ පසු ඒ අයගෙ එදිනෙ දා විස්තර දැන ගන්නත් ප්‍රේක්ෂකයන් කැමතියිනෙ. 



ඔබගෙ අක්කා දිනක්ෂි මවක් වූ පසුවත් බොහෝ දෙනා ඒ ගැන කතා කළා. දැන් ශේෂාද්‍රිත් මවක්, කොහොම ද ඒ අත්දැකීම? 


ඔව් ඉතින්, මවක් වීම  ඇත්තටම අමුතුම අත්දැකීමක්. ඒක එකිනෙකාට ලොකු අභියෝගයක්. අක්කගෙ බබා ලැබුණාම අපි එයාව වඩා ගන්නවා, නාවනවා, කවනවා, පොවනවා, ඒත් ඒ වගේ දේ කළත් දැන් මට මගේ දරුවා බලා කියා ගනිද්දී ඒක ලොකු වගකීමක් කියන දේ හැඟෙනවා. හැබැයි අක්කිගෙ බබා මුලින්ම අපේ පවුලට එකතු වූ නිසා පොඩි හරි අත්දැකීමක් ලැබුණා. අපේ පවුලේ පළවැනි බබා එයානෙ. ඉතින් අක්කිගෙ දුව ආරණ්‍ය බබා එක හරිම ආසාවෙන් කාලය ගත කරන්න ලැබුණේ. මට මගේ බබා ලැබෙන ඒ කියන්නෙ මම මවක් වෙන්න යන්නෙ කියලා දැන ගත්තාම ලොකු සතුටක් ආවේ. මොකද  අක්කිගෙ බබා නළවදී මටත් මේ වගේ දරුවෙක් ලැබෙනව නම් කියන සිතිවිල්ල ඉබේම ආ දෙයක්. ජීවිතේ ලොකු වෙනසක්, ලොකු අභියෝගයක්, ඒ අලුත් ජීවිතේට හැඩ ගැසෙමින් ඉන්නේ. එදාට වඩා  ජීවිතේ ටිකක් වෙහෙසකරයි. ඒත් ඒ වෙහෙසකර බව ගෙන දෙන්නේ අරුත්බර සුන්දරත්වයක්. ඵල දැරූ අරුතක්. දැන් ජීවිතේ මුල්තැන බබාට. එයා ලැබුණාට පස්සේ තවම කොහේටවත් ගිහින් නැහැ. එයාගේ ජීවිතේ අනුව තමයි අපිත් හැඩ ගැහෙන්නේ.


මවක් සහ මවකගෙ වගකීම් කොහොම විය යුතුය කියල ද හිතන්නෙ ? 


අපේ පවුල ගත්තොත් අපේ ගෙදර අම්මා තමයි අපි වෙනුවෙන් සෑම දෙයක්ම කළේ. තාත්තා උඩින් හිටියට. අපට අවශ්‍ය දේ කියා දෙමින්, උගන්වමින්, අවවාද දෙමින්, බොහෝ දේ කියද්දී සමහර අවස්ථාවල දී අපි අම්මා එක්ක වාද කරගත් අවස්ථා පවා තිබුණා. පොඩි පොඩි රණ්ඩු වගේ වෙච්ච අවස්ථා තිබුණා.

දැන් අද මමත් මවක්. ඔන්න අද තමයි හරියටම තේරෙන්නෙ අපේ අම්මා එයාගෙ ගැහැනු ළමයින් තුන්දෙනා බලා ගත්තේ කොහොම ද කියන දේ. ඒ කාලයේ අර මම කිව්ව විදියට අම්මා එක්ක රණ්ඩුවක් වාද කිරීමක් වුණාම මම බැලුවෙ මගේ පැත්තෙන්නෙ. නමුත් එදා අම්මා හිතපු විදිය, තීරණ ගන්න විදිය, අම්මට අපිව දැනිච්ච විදිය මොන වගේ ද කියලා හරියටම මට දැනෙන්නෙ අද. ඇයි අම්මා ඒ විදියට එදා ඒ දේවල් කිවේ, කළේ? කියන එක සැබෑ අරුත හරියටම මට වැටහෙනෙ අද. අපේ අම්මා අදටත් අපිට කෝල් කරල අපි ගැන හොයා බලනවා. ඒ සෙනෙහස සදාතනිකවම නොනවනිත දෙයක්. 


ප්‍රියසාද් පවුල, දැන් හරියට ලස්සන මල් පිපුණු මල් වත්තක් වගෙයි. ඔක්කොම ගැහැණු ළමයි, මොකද හිතෙනෙ?


ගැහැණු ළමයි, මල් වගේ සුන්දරයිනෙ, ඉතිං ඒක හොඳයි නේද? අක්කි, මම, නංගි තුන් දෙනාම ගැහැණු ළමුන් වුණාට, පිරිමි සහෝදරයකු හිටියෙ නැහැයි කියන අඩුව අපට දැණුනෙ නැහැ. අපි තුන් දෙනා අපේ  ඉගෙනීම් කටයුතු කළා. ඊට පස්සෙ රස්සාවල් හදා ගත්තා. පවුල් ජිවිතේ ගොඩ නගා ගනිමින් සිටිනවා.  ගැහැණු ළමයකු, පිරිමි ළමයකු කියලා මම හිතන්නෙ අපට වර්ග කරලා සංසදනය කරන්න බැහැ.



ලංකාවේ සමාජයේ හැටියට සැමියාට එයාගෙ රස්සාවයි, වැඩයි කර ගන්න අවකාශය තියෙනවා. ඒත් කාන්තාවක් විවාහ වී දරුවන් ලැබූ පසු ඇයට ඒ නිදහස සීමා වෙනවා. රැකියාවන් පවා අයින් වෙන්න වෙනවනේ.  ශේෂාද්‍රි එය දකින්නේ කොහොමද?


මවක් වූ පසු කාන්තාව ඒ කැපවීම කළ යුතුමයි. ඒක හිතලා කළේ නැතත් ඉබේම ඒ දේවල් යුතුකම් බබා නිසා අපට කරන්න සිද්ධ වෙනවා. රස්සාව වුණත් ඉතින් කරන්න වෙන්නෙ බබා උපන්නට පසුව. මූලිකව එයාගෙ කටයුතු හරි තැනට ආ පසුවයි. නමුත් ඒ විදියට වුණාය කියලා අපි සම්පූර්ණයෙන් ජීවිතේ අත්හරින ඕනෑ නැහැ. අපි අපේ අනාගතයට වාරණ දමා ගත යුතු නැහැ. ගෙදර යුතුකම් කැප කිරීම් කරලා කාලයත් එක්ක තමන් කරගෙන ආ රැකියාව සහ අනෙකුත් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවනි. 


සඳුන් ගමගේ

Previous Post Next Post