මේ දියවෙලා යන්නේ අපේ තාරුණ්‍යය - නෙත්මි රොෂෙල්



දෙවෙනි ඉනිම හරහා ප්‍රේක්ෂක අවධානය දිනාගත් නෙත්මි රොෂෙල් කියන්නේ රසික ආකර්ශනය දිනාගත් ඇස් වශීකරගත් සුන්දර වගේම අහිංසක රුවැත්තියකි. ජාතික රූපවාහිනියේ 2019 වසරේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් රංගනයට පිවිසි ඇය මේ දවස් වල ඇගෙ අලුත් විස්තර ගැන පුවත්පතක් සමඟින් මෙසේ පවසා තිබුනා.


ඉතින් මොනවද අලුත් තොරතුරු? 


කලා කටයුතු එක්ක නම් ටිකක් කාර්ය බහුලයි. මේ දවස්වල දෙවෙනි ඉනීමට අමතරව දෙරණ  නාලිකාවෙම ටෙලි චිත්‍රපටියක් කළා. ඊට අමතරව ලිල් ස්ටර් වැඩසටහනේ නිවේදිකාවක් විදිහටත් එකතු වෙනවා. මගේ පළමු චිත්‍රපටය තිරගත වෙන්න සූදානමින් තියෙනවා. තව රාවණ අදියර 3 දැනට රූගතකිරීම් කරලා ඉවරයි. ඒ නිර්මාණයත් ඉදිරියේදී විකාශනයට සූදානමින් තියෙනවා. 


දෙවෙනි ඉනිමේ කලින් හිටපු ආක්ෂාට වඩා දැන් ආක්ෂට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වෙනස්.  ඒ වෙනස කොහොමද ඔබට දැනෙන්නේ?


ඇත්තටම කලින් හිටපු ආක්ෂා හරිම නපුරුයි. කොච්චර නපුරුද කියනවනම් දෙවෙනි ඉනිම බලපු රසික  සමහර අය ගෙදරට කතා කරලා අම්මාගෙනුයි තාත්තාගෙනුයි අහලාත් තියෙනවා. දුව ඇත්තටම නපුරු කෙනෙක්ද කියලා. ඒත් සැබෑ ජීවිතේ මම එහෙම නැහැ. මම හරිම සුහදශීලී කෙනෙක්. හැබැයි ඒ නපුරු ආක්ෂට ආදරේ කරපු පිරිසකුත් හිටියා ආක්ෂගේ නපුරුකමට මුල්කාලේ මගේ ලඟට ඇවිල්ලා මූණට බැනලා ගිය සිද්ධි තියෙනවා. බැන්නත් ඒ ආදරේට මම හරි ආදරෙයි. දැන් ඒ නපුරු ආක්ෂා වෙනස් වෙලා. ඒ වෙනස් වුණු ආක්ෂට මාත් හරිම ආදරෙයි. දැන් ආක්ෂා හොඳ පෙම්වතියක්, හොඳ ලේලියක්. ඒක මට අලුත් අත්දැකීමක්. 


නෙත්මි දෙවෙනි ඉනිමට සීමා වෙලා කියලා හිතෙන්නේ නැද්ද? 


මට වෙනත් නිර්මාණවලට අධ්‍යක්ෂවරුන්ගෙන් චැනල් වලින් ගොඩක් ආරාධනා එනවා. මම ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරි වුණාට මම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ දෙවැනි ඉනිමේ ආක්ෂාගේ චරිතය හරහා ඒකත් එක්ක මට හොඳ පිටපත් ලැබුණා. ගොඩක් ආරාධනා ආවා. ඒත් මම දෙරණත් එක්ක ගිවිසුම් ගත වෙලා ඉන්න නිසා හොඳ නිර්මාණ ගොඩක් මහ ඇරුණා. ගිවිසුම් කාලය ඉවර වුණාම මේ අවුරුද්දෙන් පස්සේ අනිත් නාලිකා එක්ක වැඩ කරන්න වගේම වෙනස් චරිත හරහාත් දකින්න ලැබේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. 


නිමාවක් නැති එදිරිගේ පිටපතට සමුදෙන්න හිතුන අවස්ථා නැද්ද?


ඇත්තටම මම කලාවට එන්න හීනෙකින්වත් බලාපොරොත්තු වුණ කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතේ මේ විදිහට වෙනස් වේට්ටි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. අවුරුදු කුමාරි වුණාට පස්සේ මම මුලින්ම රඟපෑවේ සක්කාරං ටෙලි නාට්‍යයේ ජයනිගේ චරිතේ. ඒත් මම මිනිස්සු අතරට යන්නේ දෙවෙනි ඉනිමේ

ආක්ෂ හරහා. දැන් මේ මට ලැබෙන හැමදේම ආදරය, ජනප්‍රියත්වය මට ලැබුණේ ආක්ෂා නිසා. ආක්ෂාගේ චරිතේ අවසානය කොතනද ඒ තැනට වෙනකම් මම දෙවෙනි ඉනිම හැරදා යන්නේ නෑ. 


ඔයාව නිළියක් කරන්න ආසාව තිබුණේ අම්මාටද, තාත්තාටද?


මමත් පොඩි කාලේ ඉඳලා කලාවට ආසයි. මටත් වඩා කලාවට ඇලුම් කළේ මාව නිළියක් කරන්න ආසාවෙන් හිටියේ අම්මා. ඒකට තාත්තා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. අවුරුදු කුමාරි තරගවලට යන්නත් මම ඉස්සර හරිම ආසයි. මාත් කොණ්ඩේ දිගට තියෙන නිසා ඉස්සර හැමෝම කිව්වේ අවුරුදු කුමාරිට යන්න කියලා. ඒත් තාත්තා හරිම සැරයි. ඒවට යන්න දුන්නෙම නැහැ. මට විශ්වවිද්‍යාලයේ ගිහින් පළමු වසරත් අවසන් වුණාම තමයි තාත්තා රූපවාහිනී අවුරුදු කුමාරි තරගයට යන්න දුන්නේ. නොහිතපු විදිහට පළමු ස්ථානයට පත්වුණා. ඒ මොහොත මට හීනයක් වගේ. අවුරුදු කුමාරි දිනලා ගෙදර ආපු ගමන් තාත්තා කිව්වේ රඟපාන්න නම් ලෑස්ති වෙන්න එපා කියලා. මට ඊට පහුවෙනිදා රූපවාහිනියට එන්න කියලා සක්කාරං ටෙලි නාට්‍යයේ රඟපාන්න ආරාධනා කළා. ඒ  වෙලාවේ මට හීන් දාඩිය දැම්මා. ආසාව තිබුණාට වචනයක් දීගන්න බැරිව ඇගෙන් ගින්දර පිට වෙනවා වගේ බයක් දැණුනා. මොකද තාත්තා සැරයින්නේ...

තාත්තාට පස්සෙ හෙමිහිට කිව්වාම තාත්තා කැමති වුණා. තාත්තා අකමැති වුණේ මම කලාවට ඇවිත් අධ්‍යාපනය කඩාකප්පල් කරගනීවි කියලා. දැන් මම ඉන්න තැන ගැන සතුටු වෙන්නේ වැඩියෙන්ම තාත්තා.


ආක්ෂාගේ අධ්‍යාපන කටයුතු දැන් අවසන්ද?


තාම නැහැ. දැනට මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකාර පීඨයේ අවසන් වසරේ ඉන්නේ. මගේ පාසල බෝමිරිය ජාතික පාසල. මගේ පාසලත් මම ආදරෙන් මතක් කරනවා. 


නෙත්මිගේ දිග කොණ්ඩෙට වශී වුණ අය ඕන තරම් ඇති. කොණ්ඩේ ලස්සනට තියාගන්න වෙහෙසෙන අභියෝග ගැනත් කියමු?


ඇත්තටම ඒක නම් ලොකු අභියෝගයක්. මම මූණට වඩා කොහෙට හරිම ආදරෙන් සත්කාර කරනවා. විශේෂයෙන් ගෙදර හදන තෙල් සත්කාර තමයි කරන්නේ. ආගන් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, එඬරු තෙල්, පොල්තෙල් අඩංගු තෙල් සත්කාරයක් මම සතියකට වරක් හෝ දෙවරක් අනිවාර් යෙන්ම කොන්ඩෙට කරනවා. මගේ කොණ්ඩෙට වශී වුණ එකම කෙනා තමයි මගේ තාත්තා. මම කොණ්ඩෙට විලාසිතා කරනවට කපනවට තාත්තා කැමතිම නැහැ.


හෙට දවස ගැන අක්ෂාට මොන වගේ බලාපොරොත්තුද තියෙන්නේ? 


මුළු රටම ගෙවන විදිහට තමයි මගේ ජීවිතේ යන්නේ. හෙට දවස ගැන අලුත් බලාපොරොත්තු තිබුණා. ඒ හැම දේම දැන් හීන ගොඩක් විතරයි. මගේ රටේ මිනිස්සුන්ට කන්න නෑ, ලයිට් නෑ, ජීවත් වෙන්න විදිහක් නෑ. ඒ අමාරුකම් අපහසුතා අපිත් අත්විඳිනවා. කලාකාරිනියන් විදිහට හිත සතුටින් ටෙලිනාට්‍යයක් චිත්‍රපටයක් බලන්න කියලා කියන්නේ කොහොමද? මේ දියවෙලා යන්නේ අපේ තාරුණ්‍යය. හෙටක් නැතුව අදක් ගැන හිතන්න බැහැ. මොලයක් තියෙන මිනිස්සු මහජන නියෝජිතයන් ලෙස පත් නොකරගැනීමේ විපාක තමයි අද අපි මේ විඳවන්නේ . 


නදීශා අතුකෝරළ







Previous Post Next Post