තාත්තා වගේ ආදරය කරන කෙනෙක් හොයන ඉෂි




ඉෂාරා අතුකෝරල මේ දිනවල අපිට දකින්න ලැබෙන්නේ නිවේදිකාවක් විදියට. ඉෂාරා ගැන කතා කරද්දී ඉෂාරාගේ තාත්තා ගැන කතා නොකරම බැහැ. අපිට ඉන්න දක්ෂ ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරලගේ එකම දරුවා තමා ඉෂාරා කියන්නේ. ඒ නිසාම අද ඉෂාරා එක්ක ඉෂාරාගේ හෙට දවස ගැන වගේම තාත්තා ගැනත් ඇය මේ විදියට පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


ඉෂි ඇයි රඟපාන්නේ නැත්තේ..


උසස් පෙළ ඉවර වුණාට පස්සේ මම රංගනයෙන් දායක වුණා ආත්මා කියන නාට්‍යයේ. ගයාන්-චතුරිකා තමා ඒ නාට්‍යය කළේ. මම හිටියේ ගයාන් අයියගේ නංගි විදියට. ඒක අන්ධ චරිතයක්. ඒ වකවානුවේ හොඳ ප්‍රතිචාර තිබුණා. ඊට පස්සෙත් ආරාධනා ලැබුණා. ඒ දවස්වල ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ.


ඒ කියන්නේ දැන් කැමතියි රඟපාන්න…


ඔව්. දැන් මම නිවේදනයෙන් සහ නිරූපණ කටයුතුත් කරන නිසා හොඳ චරිතයකට හොඳ නිර්මාණයකට ආරාධනාවක් ආවොත් අනිවාර්යෙන්ම භාර ගන්නවා.


පාසලේදී කලා කටයුතුවලදී රංගනයෙන් දායක වෙලා තියෙනවද?


පාසල් වේදිකාවේ රඟපෑමෙන් නම් දායක වෙලා නැහැ. මම නර්තනය පැත්තෙන් තමා ඉදිරියට ආවේ. පාසලේ හැම ප්‍රසංගයකම වගේ නර්තන අංගවලට මම සම්බන්ධ වෙලා තියෙනවා. .


මේ වෙද්දී ඉෂි කියන්නේ ආනන්ද අතුකෝරලගේ දුව කියලා හැමෝම වගේ දන්නවද?


සමහරු නම් දන්නවා. නොදන්නා අයත් ඉන්නවා. ඔය කොෆි වැඩසටහන ඉවර වෙලා කතා කරන කොට මම කිව්වම තමා ආනන්ද අතුකෝරලගේ දුව කියලා දන්නේ. මම තාත්තා එක්ක ෆොටෝ එකක් දැම්මම හරි ටික් ටෝක් එකක් හරි කළාම දන්නවා මම එයාගේ දුව කියලා. ඒ හැර ඉෂි කියන නමින් මාව දන්නා පිරිසක් ඉන්නවා.


තාත්තා කියන්නේ නැද්ද රඟපාන්න කියලා…


මම පොඩි කාලේ ඉඳන්ම තාත්තගේ ලොකු ආශාවක් තිබ්බා මේ ක්ෂේත්‍රයට එනවා දකින්න. මම එතරම් ලොකු කැමැත්තක් පෙන්නුවේ නැති නිසා තාත්තා මට බලපෑම් කළේ නැහැ. මම තාත්තාගේ දුව කියලා මේ ක්ෂේත්‍රයට ආවේ නැහැ. නමුත් දැන් මම නිවේදනයෙන් හෝ නිරූපණයෙන් දායක වෙනවා දකිද්දී තාත්තා ගොඩක් සතුටුයි. මගේ හැම වැඩසටහනක්ම මග නොහැර තාත්තා බලනවා.


තාත්තා ගෙදරදී මොන වගේ චරිතයක්ද?


අම්මයි, තාත්තයි, මමයි ගෙදර ඉන්නේ. අපි හරිම එකමුතුයි. තාත්තා හිනාවෙලා කතා කරලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න නිදහස් චරිතයක්. ආදරෙන් ඉන්න පවුලක් මට තියෙන්නේ. මට සමහර වෙලාවට තාත්තා නැතුව නින්ද යන්නේ නැහැ.


නළුවෙක් විදියට ඉෂි වැඩියෙන්ම කැමැති තාත්තව මොන වගේ ස්වරූපයකින් දකින්නද?


පොඩි කාලේ ඉඳන්ම විවිධ චරිත තුළින් මම තාත්තව දැකලා තියෙනවා. මේ කාලයේ නම් වැඩිපුර දකින්නේ මගේ වයසේ ළමයින්ගේ තාත්තා විදියට විවිධ චරිත තුළින් පාර දිගේ බන්ටිගේ තාත්තා, කොළඹ ඉතාලියේ ශනුද්‍රිගේ තාත්තා විදියට. ඒ එක එක තාත්තලත් චරිතවලින් එක එක විදියයි. දැන් එයා මාත් එක්කත් ඉන්න විදියත් එක්කත් මම කැමැතියි තාත්තගේ භූමිකාවෙන්ම නිර්මාණ තුළින් දකින්න ලැබෙන එකට.


කවදා හරි දවසක නිර්මාණයක තාත්තයි දුවගෙයි චරිත කරන්නම ආරාධනා ලැබුණොත්…


ඒක එක්තරා ආකාරයක හීනයක්. ඒ නිසා අනිවාර්යෙන්ම භාර ගන්නවා.


කලාවට ඇවිත් කොච්චර කාලයක්ද?


නිරූපණ කටයුතු සහ නිවේදන කටයුතුවලට ඇවිත් අවුරුදු හතරක් වගේ. ආත්මා එකේ රඟපාල නම් දැන් අවුරුදු 9ක් වෙනවා. මට ඕනේ වුණේ මගේ උපාධිය සම්පූර්ණ කරලා මගේම කියන ව්‍යාපාරයක් පටන් ගන්න.


ඉෂි කැමැති නැද්ද වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න?


වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්නේ නම් නැති වෙයි. මගේ ඔළුවේ තියෙනවා මගේම ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා. ඒකත් එක්කම මගේ හිතේ සතුට සහ මගේ දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා කියලා තමා හිතන් ඉන්නේ.


තාත්තා කලාකරුවෙක් වීම ගැන මොකද හිතෙන්නේ…


මම දකින්නේ වාසනාවක් විදියට. මගේ තාත්තට හැමෝම ආදරෙයි. පුංචිම කාලේ පාසලේ දෙමාපිය රැස්වීම්වලට ආවට පස්සේ ඇතැම් අය මට කිව්වේ මේ අර නළුවාගේ දුව කියලා. නමුත් මම කවදාවත් මේ මගේ තාත්තා කියලා ඉස්සර කරන් ගිහින් අවස්ථා ලබා ගෙන නැහැ. තාත්තා වුණත් එහෙමයි. මේ මගේ දුව මෙයාටත් චරිතයක් දෙන්න කියන තැන නැහැ.



ආදරය ගැන මොකද හිතෙන්නේ…


ආදරයට හරි කෙනෙක් ලැබුණොත් හොඳයි. මොකද අද ඉන්නේ විවිධාකාර මිනිස්සු. අද මම ඉන්න තැන නිසා හෝ ආනන්ද අතුකෝරලගේ දුව නිසා එන ආදරයකට වඩා අපිට දැනෙන කෙනෙක් ලැබෙන්න ඕනේ. එතනදී සල්ලිවත් රූපෙවත් නෙවෙයි ඕනේ අපිට දැනෙන කෙනෙක්.


එහෙම දැනෙන කෙනෙක් ඉන්නවද?


නැහැ. තවම මට 25යි. අවුරුදු 30දී වගේ බඳිනවා.


තාත්තා කියන්නේ නැද්ද කලවයස යනවා කියලා…


මගේ අම්මා තාත්තා දෙන්නම ප්‍රශ්න කරදරවලට මුහුණ දීලා ගොඩක් ආදරේ කරලා එකතු වුණ දෙන්නෙක්. ඒ නිසා කවදාවත් මට බලපෑම් කරන්නේ නැහැ. ඒ දෙන්නගේ ආදරේ මම පොඩි කාලේ ඉඳන්ම දැක්ක නිසා මමත් හොයන්නේ තාත්තා වගේ ආදරය කරන කෙනෙක්.


ක්‍රිෂාන්ත පුෂ්පකුමාර






Previous Post Next Post