අලුත් අයට ‍දොස් නොකියා ඔවුන් සමඟ සුහදව කටයුතු කරනවා නම් හොඳයි - අශිකා මතසිංහ




කොහොඹ සබන් වෙළෙඳ දැන්වීම හරහා කලාවට පිවිසි ඇය එදා-මෙදා අප කා අතරත් සුන්දර මතකයක් ඉතිරි කළ තැනැත්තියක්. ඇය නමින් අශිකා මතසිංහ.  මේ දිනවල විකාශනය වන ‘හිත ළඟ හිනැහුණා' ටෙලි නාට්‍යයේ ‘මිනෝලි' ලෙසින් රසිකයන් අතරට පැමිණෙන ඇය ඒ අලුත් විස්තර ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


මේ දවස්වල වැඩ කටයුතු මොනවද?


ඇත්තටම දැන් මම නැවතත් රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘සිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ ගොඩක් ආසාවෙන්. ඉතින් එහි රූගත කිරීම් සමග මේ දිනවල තරමක් කාර්යබහුලයි.


මිනෝලි කියන්නේ නපුරු කෙනෙක්. ඔබට ඇයව දැනෙන්නේ කොහොමද?

මෙහෙමයි. මං අවසන් වරට සම්බන්ධ වුණේ හිරු නාළිකාවේ විකාශනය වුණු ‘අහස් මාලිගා' නාට්‍යයට තමයි. එහි මම නිරූපණය කළේ හරිම අහිංසක බිරියකගේ චරිතයක්. සාමාන්‍යයෙන් මගේ පෙනුමත් සමඟ මට වැඩිපුරම ලැබෙන්නේ එවැනි චරිතනේ. නමුත් මිනෝලි කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ චරිතයක්. ඇය ඉතාමත් සල්ලිකාර, මවාගත්ත මාන්නයකින් සහ මවාගත් අහංකාරකමකින් ජීවත්වෙන, සෑමවිටම සැමියා වුණත් පහත් කොට කතා කරන අමුතුම චරිතයක්. නමුත් ඇය ඇගේ දරුවාට හරිම ආදරෙයි. ඇය ඔහු වෙනුවෙන් සියලුම යුතුකම් ඉටුකරන්නියක්. මගේ සැමියා විධියට රංගනයෙන් දායක වන්නේ උදිත් අබේරත්න. ඔහුගෙනුත් මට හොඳ සහයෝගයක් ලැබෙනවා.


විශේෂයෙන්ම මෙහිදී අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන සහයෝගය පිළිබඳවත් කතා නොකරම බැහැ නේද?


ඔව්. මේ නිර්මාණය ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයක්. තිර රචනය මහේෂ් සත්සර මද්දුමආරච්චිගේ. ඇත්තටම මට මේ චරිතය සාර්ථකව රඟ දක්වන්නට අධ්‍යක්ෂතුමන්ගෙනුත් විශාල සහයෝගයක් ලැබෙනවා.


මිනෝලිට ලැබෙන ප්‍රතිචාර ගැන කීවොත්?


දැනට කතාවේ විකාශනය වී ඇත්තේ කොටස් කිහිපයක් පමණයි. නමුත් හිතුවේ නැති තරමටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 


යම් නිර්මාණයක් සාර්ථකත්වය කරා මෙහෙයවීමේදී එකමුතු බව අත්‍යවශ්‍ය  සාධකයක් වන්නේ කෙසේද?


මෙහෙමයි. සෑමවිටම මා, ප්‍රවීණ සහ යන සියලුම දෙනා සමග ඉතාම සුහදව වැඩ කරන කෙනෙක්. එනිසාම ඕනෑම කෙනෙක් සමග මට පහසුවෙන් වැඩ කළ හැකියි. ඒ ඒ පුද්ගලයාව හරියාකාරව තේරුම් ගැනීම තුළ ඔවුන් සමඟ  අපට පහසුවෙන් වැඩ කළ හැකියි. ඒ අයුරින් එකිනෙකා සහයෝගයෙන්  යුතුව වැඩ කරනවා නම් ඕනෑම නිර්මාණයක් සාර්ථක කරගත හැකියි.


අද සිටින නවකයන් ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම සමාජීය වශයෙන්ම ගත්කල අද ඉන්න නව පරම්පරාව සිතන පතන විධිය සහ හැසිරෙන ආකාරය පවා එදාට වඩා වෙනස්. එය මුළු ලොව සාමාජීය වශයෙන් නවීකරණයන්ට ලක්වීම නිසා ඇති වූ කාරණාවක්  පමණයි. ඇතැම්විට තරුණ පිරිස සමග වැඩ කිරීම තරමක් අපහසුයි යන්නත් සමාජය තුළ නිර්මාණය වී ඇති එක් ආකල්පයක් පමණයි. ඇත්තටම එය වෙනස් විය යුතුයි. ඒ සඳහා අලුත් ළමයින්ටම පමණක්

දොස් කියන්නට බැහැ. එහිදී අප කළ යුත්තේ අලුත් අය සමඟ ඉතාම සුහදව කතාබස් කරමින් ගනුදෙනු කිරීමයි. එවිට පෙරළා ඔවුනුත් ඔවුන්ගේ ගෞරවය අප වෙත ලබා දේවි.


ඔබ තෝරා බේරා ගැනීමක් සමඟ වැඩ කරන්නා වූ අයෙක්ද?


ඔව්. මට දරුවෝ තුන්දෙනෙක් සිටිනවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට

හානි නොවන ආකාරයටත්, හස්බන්ඩ්ගේ වැඩ කටයුතු සහ ගෙදර අනිකුත් වැඩ කටයුතු සියල්ල සමබරව කරගෙන යන අතරතුර මට උපරිමයෙන්ම සාර්ථකව රඟ දැක්විය හැකි හොඳම නිර්මාණය භාර ගන්නට මා නිතරම උත්සාහ ගන්නවා. “හිත ළඟ හිනැහුණා' ටෙලි නාට්‍යය ඇතුළුව මා මෙතෙක් කළා වූ සියලුම නිර්මාණයන් ඒ ආකාරයෙන් තෝරා බේරාගෙන සිදු කළ ඒවා තමයි. එමෙන්ම මෙතෙක් මා කළ සියලුම චරිත කුමන හෝ වයස් කාණ්ඩයක් අතර ඉතාම ජනප්‍රිය වුණා. ඒ ගැන නිහතමානී සතුටක් තිබෙනවා. ලැබෙන සෑම නිර්මාණයක්ම භාර ගත්තා නම් සමහරවිට මගේ පවුලෙ අය මට මගහැරෙන්නට ඉඩ තිබුණා. එනිසා නිර්මාණයක් භාර  ගැනීමට පෙර මා සෑම පැතිකඩක් පිළිබඳවම හොඳින් සිතා බලා තීරණ ගන්නවා.


කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?


හස්බන්ඩ්ගෙන් උපරිම සහයෝගය ලැබෙනවා. ඒ වගේම මගේ දුවත්, ඇයට හැකි අයුරින් ඇයගේ වැඩ තනිවම කරගන්නා අතරම මල්ලිලා දෙන්නාගේ වැඩවලටත් උදවු වෙනවා. ඒ අතින් ඇය ඇයගේ වයසටත් වඩා වැඩි වැඩ කොටසක් ඉටු කරමින් හැකි පමණින් උපරිම සහයෝගය ලබාදෙනවා. අපි ඉතින් පවුලක් විධියට එකමුතුව මේ ගමන සාර්ථකව යනවා.


ඔබ අතින් රංගන ශිල්පිනියගේ භූමිකාවට යම් අසාධාරණයක් වූවා යැයි  සිතෙන්නේ නැද්ද?


මෙහෙමයි. මා ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේදී මට ලැබුණු ප්‍රධාන චරිත පවා මගේ පවුලේ දියුණුව උදෙසා අකැමැත්තෙන් වුවත් මා කැප කළා. එදා ඒ කැපවීම නොකළා නම් මට මගේ පවුල සහ දරුවන්ටත් ඔවුන්ගේ සතුටත් මගහැරෙන්න තිබුණා. එනිසා ඒ ගැන දුකක් හෝ පසුතැවීමක් නැහැ. යමක් ලබා ගැනීමට නම් තවත් යමක් කැප කළ යුතුයි නේ. මම මගේ පවුල  වෙනුවෙන් ගොඩක් දේ කැප කළා. අදටත් සෑම කාර්යයක්ම ආරම්භ කරන්නේ හස්බන්ඩ්ගේ අනුදැනුම ඇතිවයි.


ඔබ කලාවට පැමිණි මුල් අවධියේ සුන්දර මතකයන් පිළිබඳව යමක් කීවොත්?


මා කලාවට එන්නේ පාසල් ගමන නිමා කළ විගසයි. එනම් එවිට මට අවුරුදු 18ක් -19ක් පමණ ඇති. ‘මල්සර ගීතය' කියන ටෙලි නාට්‍යයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. අක්කයි නංගියි ඉන්න පවුලක බාලයාගේ නැතිනම් නංගින්ගේ චරිතය තමයි මම නිරූපණය කළේ. ඉන්පසුව මං සම්බන්ධ වූ ‘කොහොඹ වෙළෙඳ දැන්වීම’ ඉතාම ජනප්‍රිය වුණා. අදටත් මාව

ගොඩක් අය හඳුනන්නේ ‘මන්දිර සඳළු තල ගීතයේ සහ කොහොඹ සබන් |වෙළෙඳ දැන්වීමේ සිටි තරුණිය විධියටයි. 


සිනමාව සමග තිබෙන ගනුදෙනුව ගැන කීවොත්?


දැනට කොළඹ සන්නිය, ෆේස් ටු ෆේස්, සුබා තෙරණියෝ, ඇලඩින්ගේ පුදුම පහන, හොරා අංකල්, යාත්‍රා ඇතුළු චිත‍්‍රපට 06කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වී තිබෙනවා. එයින් 04ක් පමණ දැනට තිරගත වී අවසන්. මම කුඩා කාලයේ සිටම රංගනයේ යෙදෙන හරි කැමැතියි සහ කලාවට ආදරෙයි. එනිසා මැරෙන තුරුම කලාවේ නියැළීමට බලාපොරොත්තු වනවා. මොකද එය මගේ වෘත්තියනේ.


ඔබ පසුගිය වසරකදී ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයෙන් ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ඒ සතුට ගැන කතා කළොත්?


විවාහ වුණු කාලයේ සිටම මෙවැනි තරගයකට සහභාගි වීමට ලොකු ආසාවක් තිබුණා. ජයග්‍රහණයක් හිමිකර ගැනීමටත් වඩා එ තුළින් ජීවිතයට  ලැබෙන දැනුම, අත්දැකීම් සහ අලුත් දේවල් රැසක් ඉගෙන ගැනීමටත් අවස්ථාවන් හිමි වෙනවා.


තමා ලබා ගත් ජයග්‍රහණය හමුවේ සමාජයට යම් පණිවුඩයක් දෙන්නට තිබෙනවාද?


ලොවක් ඉදිරියේ තම පෞරුෂත්වය, හැකියාවන්, දක්ෂතා, උගත්කම්  පෙන්වීමටත් එය හොඳ අවස්ථීථාවක්. එය රංගන ශිල්පිනියක් ලෙස මගේ ගමනට විශාල රැකුලක් සහ ශක්තියක් එකතු කර ගැනීමක්. තවද එය රංගන කේෂ්ත්‍රය තුළ පවා නව මාවත් විවර වීමටත් එය හේතු වනවා. ඒ තුළ මම මගේ ජීවිතයට වටිනාකමක් එක්කර ගත්තා කීවොත් හරි. පළමුව අපි අපට ආදරය කළ යුතුයි. අපගේ ජීවිතවලට වටිනාකමක් හිමිවන්නේ, අපි විසින්ම මහන්සියෙන් යමක් ගොඩ නඟා ගත්තොත් පමණයි. මොකද වෙන කවුරුන් හෝ මැදිහත් වී අපේ සාර්ථකත්වය අපට නිර්මාණය කර දෙන්නේ නැහැ. අපේ ජීවිත සාර්ථකත්වය කරා රැගෙන යා යුත්තේ අපමයි. මා සමාජයට ලබාදෙන පණිවුඩයත් එයයි.


පවුලේ තොරතුරුත් කියමු?


මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොකු දුව සනුකි අයෙකා මුණසිංහ. ඇයට අවුරුදු 11යි. ලොකු පුතා සෙනුත් අ න්ද්‍ර මුණසිංහ. ඔහුට අවුරුදු 10යි. බාලයා අනුක් සශේන්ද්‍ මුණසිංහ. ඔහුට වයස අවුරුදු 6යි. 


දිනූෂා මනෝරි නිශ්ශංක







Previous Post Next Post