මට කාවවත් අභියෝගයක් නෙවෙයි - ශෙහානි කහඳවල




ආදරණීය දඟකාර පෙම්වතිය ලෙසින් පුංචි තිරය හැඩකරන රුවත්තියක් වන ශෙහානි කහඳවල මේ දිනවල අපිට දකින්න ලැබෙන්නේ වෙනස් වූ චරිතයකින්. ඒ සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනා කරන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයේ නිත්‍යා වීරසිංහ කියන චරිතයෙන්. කාලෙකට පස්සේ නිර්මාණයකින් මුණගැහෙන ශෙහානි කහඳවල එ ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


නිත්‍යා නිසා ආයෙමත් ශෙහානි ගැන කතා වෙන්න පටන් අරන්, කොහොමද මේ චරිතය ලැබෙන්නේ…


මේක ටිකක් කලින් පටන් ගන්න හිටපු ටෙලි නාට්‍යයක්. මට සිවගුරුනාදන් මහත්තයා තමයි කතා කරේ අප්‍රේල් මාසයේ වගේ. ඊට පස්සේ ඇතිව තිබුණු කොරෝනා ප්‍රශ්න නිසා ටික කාලයක් පස්සට ගියා. ඊට පස්සේ ආයෙමත් සැප්තැම්බර් තමයි අපි පටන් ගත්තේ.


ඔබේ චරිතය බොක්සිං ක්‍රීඩිකාවක්…


මම හිතුවේ නැහැ මේ වගේ චරිතයක් මට ලැබෙයි කියලා. මොකද බොහෝ අය මාව දකින්නේ හුරුබුහුටි ආදරණීය චරිතයක් විදියට නිසා. මට හිතුණා මේ චරිතය තුළින් මට මගේ රංගන ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙයි කියලා. මම ඒ නිසා ආරාධනා කරපු ගමන් මම කැමැත්තෙන්ම භාර ගත්තා.


ශෙහානි ක්‍රීඩාවට යොමු වුණු කෙනෙක්ද?


මම ස්පෝර්ට්ස් පැත්තෙන් කිසිම දෙයක් කරලා නැහැ. මේ චරිතය වෙනුවෙන් ටික කාලයක් බොක්සිං ක්‍රීඩාව පුහුණු වුණා. කොහොම හරි ටීම් එකක් විදියට බොක්සිං ප්‍රැක්ටිස් වෙලා ලස්සනට දැන් නම් වැඩේ කරගෙන යනවා.


ඒ කියන්නේ දැන් නම් බොක්සිං පුළුවන් එහෙමද?


බොක්සර් කෙනෙක් නම් නෙවෙයි. හැබැයි ජීවිතේ ගලවා ගන්න පුළුවන්.


අමතක නොවන අත්දැකීම් ඇති?


මේ චරිතයම මට අමතක නොවන අත්දැකීමක්. ඒ අත්දැකීම කටුකයි, නමුත් සුන්දරයි කියන්න පුළුවන් මට මගේ ජීවිතේ මේ වගේ අත්දැකීමක් ලැබිලා නැහැ. මට මෙතෙක් ලැබුණු සාමාන්‍යය චරිතවලට එහා ගිය චරිතයක්. මට ෆයිටින් සීන් තියෙනවා. එක ෆයිට් එකකදී මගේ ඔළුවට වැදුණු පහරක් නිසා පැරලයිස් වෙනවා.


කාලෙකට පස්සේ ඔබව මේ නිර්මාණයෙන් දකින්නේ, වෙනස් වූ චරිතයක් ලැබෙනකම් හිටියද?


මම ආව දවසේ ඉඳන් ලැබුණේ එකම වගේ චරිත. කොහොමත් මම අවුරුද්දක කාලයක් විතර බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ අලුත් මුහුණක් විදියට තමයි ආයෙම එන්නේ. එක දිගටම මම වැඩකරන කෙනෙක් නෙවෙයි. හැබැයි මේ පාර නම් මම වැඩ කිහිපයක් කරනවා.


විවිධ චරිත ලැබීම දකින්නේ කොහොමද?


ඒක වාසනාව. සමහර අය ගොඩක් මහන්සි වෙනවා නමුත් නිර්මාණ ලැබෙන්නේ නැහැ. ඒක මට වුණත් පොදුයි.


ඒ කියන්නේ හැකියාවට වඩා වාසනාව තියෙන්න ඕනේ කියලද කියන්නේ…


දක්ෂතාව වගේම වාසනාවත් තියෙන අයට විතරයි ඉහළට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ කලා ක්ෂේත්‍රයේ එහෙම එකක් තියෙනවා.


සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?


මට දැන් ආරාධනා ලැබිලා තියෙන්නේ. කොරෝනා ප්‍රශ්න නිසා ගිය වසරේ කරන්න හිටිය නිර්මාණ කෙරුණේ නැහැ. මම හිතන්නේ මේ වසරේ සිනමා නිර්මාණත් පටන් ගනී.


ශෙහානි වැඩි වෙලාවක් ඉන්නේ ජිම් එකේද?


ඉස්සර නම් ජිම් එකේ හිටියා. පස්සේ මට ටිකක් කම්මැලි හිතුණා. දැන් නම් හොඳට කනවා බොනවා. ඒ වුණාට නිළියක් වුණාම ශරීරයේ හැඩය, පෝෂණය ගැන හිතන්න ඕනේ. ඒ නිසා මොකක් හරි වැඩක් තියෙන වෙලාවට සතියක් එකහමාරක් වගේ තියලා ඒ වෙනුවෙන් ලෑස්ති වෙනවා.


ලස්සනවීම කොච්චර වැදගත්ද?


මම නම් දකින්නේ ලස්සන විය යුත්තේ හිත. ලස්සන රූපය කියන දේ එතරම් වැදගත් නෑ. කෙනෙක් ගුණ යහපත් නොවේ නම්, සිතුවිලිවලින් පවිටු නම් කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ. කෙනෙක්ව මතුපිටින් බලලා ජජ් කරන එක වැරදී.


විලාසිතා ගැනත් අපි කතා කළොත්…


නිළියක් වුණාම විලාසිතා කියන එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ඒකෙන් තමා එයාව ප්‍රේක්ෂකයන්ට මතක තියෙන්නේ. ඒ නිසා ඕනෙම කලාකරුවෙක්ට විලාසිතාවක් තියෙන්න ඕනේ. මම මගේ ස්වරූපයට ශරීරයේ හැඩයට ගැළපෙන විලාසිතා කරන කෙනෙක්.


ජනප්‍රිය කෙනෙක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ…


හැම කෙනෙක්ගෙම ආදරය ලබන්න ප්‍රශංසා ලබන්න වාසනාවක් තියෙන්න ඕනේ. මම හිතනවා මම වාසනාවන්තයි කියලා.


ජනප්‍රියවීම තුළ නිදහස සීමා වෙලා කියලා හිතෙන්නේ නැද්ද?


එහෙම සිමාවීම් තියෙනවා. මොකද සාමාන්‍ය කෙනෙක් විදියට අපිට සමහර දේවල් කරන්න බැහැ. නමුත් ඉතින් ඒක මම මේන්ටේන් කරනවා. මගේ පෞද්ගලිකත්වය රැකගෙන මම මගේ ජීවිතය විඳිනවා.


ශෙහානිගේ ආදරය දිනා ගත්ත විශේෂ කෙනෙක් ඉන්නවද?


එහෙම කෙනෙක් ඉන්නවා නම් මට පත්තරේ දාලා හොයලා දෙන්න.


දැන් නම් බොක්සිං දන්න නිසා බයත් හිතෙයි ශෙහානිට යෝජනාවක් ගෙන්න.


මගේ වෘත්තීය තේරුම් ගත්ත, මගේ අම්මව සහ මාව ආරක්ෂා කරන කෙනෙක්.


ඒ වුණාට විවාහ වෙන්න ඕනේ කියලා හිතෙනවනේ…


මෙහෙමයි, හැඟීම් දැනීම් කියන එක එනවා. නමුත් මම හිතන්නේ අපි ආදරේ කරලා ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ විවාහයක්නේ. එතැනට යන එකේ පොඩි කොමා ටිකක්, තිත් ටිකක් තියෙනවා. බලමු ඉතින් ඉස්සරහට.


සිහින තියෙනවනේ…


මගේ සිහිනය තිබ්බේ එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න. නමුත් ඒක බැරි වුණා. මොකද මම චූටියිනේ. ඊට පස්සේ කොහොම හරි අහම්බෙන් මේ ක්ෂේත්‍රයට ආව කෙනෙක්. දැන් සිහිනය වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය තුළ මගේ දෙයක් කරන එක.


දවසින් දවස අලුත් මුහුණු එනවා, ඒක අභියෝගයක්ද?


ඒක මම අභියෝගයක් විදියට දකින්නේ නැහැ. හොඳයි එහෙම අලුත් පරම්පරාවක් එන එක. මට ලැබෙන මම භාර ගන්න චරිතයට සියයට දාහකින් කැපවෙලා කරන කෙනෙක්. ඒ නිසා මට කාවවත් අභියෝගයක් නෙවෙයි.


කාලෙකට නිහඬ වෙනවා වගේම රංගනයට සමුදෙයිද?


නැහැ. මොන දේ වුණත් මම රංගනයට සමුදෙන එකක් නැහැ.


මියුසික් වීඩියෝස් සඳහා ලැබෙන අරාධනා භාර ගන්නේ නැද්ද?


මම එක දිගටම මියුසික් වීඩියෝස් කළා. මට තේරුණා, අපි මේ විදිහට මිනිස්සුන්ට පෙනෙන්න ගත්තොත් අපි එපා වෙන්න ගන්නවා. අපි හොඳ දෙයක් කරන්න ඕන. මම දැන් හැම එකකටම යන්නේ නැහැ. හොඳ වැඩක් අවොත් භාර ගන්නවා.



ගොසිප් කියන දේවල් ශෙහානි දකින්නේ කොහොමද?


ඒ දේවල් සාමාන්‍යයයි. මගේ හොඳක් දකින්නත් පුළුවන් නරකක් දකින්නත් පුළුවන්. වෙන දෙයක් දකින්නත් පුළුවන්. ඒවා එක එක මිනිසුන්ගේ මත. ඒ දේවල් මම අදාළ කර ගත්තොත් හැම කෙනෙක්ටම පැහැදිළි කරන්න ගියොත් මට මගේ ගමන යන්න කාලයක් නැති වෙනවා. ඒ නිසා ඒ දේවල් මම අදාළ කර ගන්නේ නැහැ. මම දන්නවා මම මොනවද කරන්නේ කියන්නේ කියන එක.


ශෙහානිගේ හොඳම විචාරකයා අම්මාද?


අම්මා එහෙම මුකුත් කියන්නේ නැහැ. එයා හරි අහිංසකයි. මගේ නිර්මාණ වෙලාවට බලනවා. මම ම තමයි මගේ නිර්මාණ බලලා ඊට වඩා දෙයක් මට කරන්න තිබුණා කියන සිතුවිල්ලේ ඉන්නේ. මොකද කොච්චර හොඳට කළත් මට මදි. අනිත් හැමෝම හොඳයි කියන දේ පවා මට මදි.


වෘත්තීය රංගන ශිල්පිනියක් ද?


දැනට නම් වෘත්තීය රංගනය පමණයි. ඉස්සරහට ව්‍යාපාර පැත්තට යොමු වෙන්න අදහසක් තියෙනවා.


වෘත්තීය රංගනය තුළ නියැළෙන එක ආර්ථිකමය වශයෙන් කොහොමද බලපාන්නේ..


මේ කාලයේ නම් ලංකාවේ අමාරුයි. ඒක කලාකරුවාට පමණක් නෙවෙයි. දුප්පත් මනුස්සයට විතරක් නෙවෙයි ලොකු මිනිසුන්ට පවා ආර්ථික ප්‍රශ්න තියෙනවා. අඩු වැඩි වශයෙන් හැමෝටම තියෙනවා.


ඒ නිසාද ව්‍යාපාර පැත්තට යොමු වෙන්න හිතුවේ..


නැහැ. කොහොමත් මේ ක්ෂේත්‍ර තියෙන්නේ පොඩි කාලයයි. ඒ නිසා මොළේ පාවිච්චි කරලා තමන්ට පුළුවන් ක්ෂේත්‍රයක ව්‍යාපාරයක් කරන්න උත්සාහ කරන එක හොඳයි.



ක්ෂේත්‍රයට ඇවිත් දැන් කාලයක් වෙනවා, සම්මාන ගැන දරන්නේ මොන වගේ අදහසක්ද?


ඇත්තම කිව්වොත් ඉස්සර ආසාවක් තිබ්බා වේදිකාවකට නැගලා මගේ කියන සම්මානයක් ගන්න. නමුත් දැන් ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ. තමන්ට ගෞරවයක් පිළිගැනීමක් ලැබෙනවා සම්මානයක් ලැබීම තුළින්. ඒ දේ හොඳයි. ඒත් සම්මාන උළෙලවල් ගැන කතාවෙන සහ සමාජ මාධ්‍යය තුළ දකින්න ලැබෙන දේවල් එක්ක පොඩි කලකිරීමක් තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 9ක් 10ක් වෙනවා. මේ කාලය තුළ මම නිර්දේශවෙලාවත් නැහැ. ඒ අතින් පොඩි කලකිරීමක් තියෙනවා. මම සම්මාන ගන්න කිසිම කෙනෙක් එක්ක කතා කරන හෝ මිත්‍රකම් පවත්වන කෙනෙක් නෙවෙයි. මට ලැබුණු චරිතය උපරිමයෙන් කරලා ගෙදර එන කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති මගේ නමවත් කිසිම උළෙලකට නොගියේ.


ශෙහානි කියන්නේ මොන වගේ කෙනෙක්ද?


ශෙහානි කියන මම අහිංසකයි. චුට්ටක් නපුරුයි. හැබැයි මම කේන්ති අරගෙන අනිත් අය වගේ රණ්ඩු කරන්න යන්නේ නැහැ. මම සද්ද නොකර පැත්තකට වෙලා ඉන්නවා. මම හරිම සංවේදී කෙනෙක්. ඒ වගේම කවුරුත් කියන දේවල් නිසා මම මගේ සතුටට බාධාවක් කර ගන්නේ නැහැ. මගේ ජීවිතේ අංක එක මගේ අම්මා. කිසිම කෙනෙක්ගේ දේවල් හොයන්නේ නැහැ. මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන කෙනෙක්.


අනූෂා රණසිංහ





Previous Post Next Post