නිමේෂා ප්‍රේමචන්ද්‍ර වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක හද බැඳ ගන්නේ තම රංගන පරාසය ඔස්සේ තම හැකියාව ඉස්මතු කරන්නට උත්සාහ කරන්නියක් ලෙසයි. ඒ වගේම නිවේදිකාවක්.හොඳම නිළි හීනයට හීන් සීරුවට පියමනින ඇය අැෙග් අලුත් විස්තර ගැන මෙලෙසයින් පුවත්පතකට පවසා තිබුනා.
මේ දවස්වල කරගෙන යන රහස් පරීක්ෂක භූමිකාවෙන්ම කතාව පටන් ගමු?
‘නීල් පබළු‘නාට්‍යයේ ආශා කියන රහස් පරීක්ෂක භූමිකාවටයි මම මේ දවස්වල රංගනයෙන් එකතු වෙන්නේ. සඳුන් රාජකරුණා මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කරන්නේ. ලලිත් වසන්ත මහත්මයා තමයි නිෂ්පාදන කටයුතුවලට එකතු වෙන්නේ. ආශා කියන චරිතයට හොඳින් රඟපාන්න පුළුවන් ගැහැනු ළමයෙක් හොයද්දි උදය ප්‍රියන්ත කංකානම්ගේ අයියා තමයි මාව ඒ චරිතයට සුදුසු බව යෝජනා කරලා තිබුණේ.
ගැමි චරිත කරමින් හිටපු නිමේෂා ඒ චරිතයෙන් වෙනස් වෙන්න උත්සාහ කළාද?
මට බොහොමයක් ලැබුණේ ගැමි චරිත. ‘ඉත්තෝ‘ටෙලි නාට්‍යයෙත් මම රහස් පරීක්ෂක චරිතයක් රඟ දක්වා තිබුණට ආශා කියන්නේ එයට වඩා වෙනස් චරිතයක්. ඒ චරිතයේ තවත් වෙනස් වීම් ඉදිරියෙ දී ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙයි. දැනටත් ආශාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ගැමි චරිත කළ නිමේෂාව වෙනස් ස්වරූපයකින් දකින්න ප්‍රේක්ෂකයන් කැමැති වුණාද?
ප්‍රේක්ෂකයන් මට ළෙංගතු වුණේ ‘රන්තිලි වැවේ‘ ප්‍රේමාගේ චරිතයෙන්. අදටත් බොහෝ අය අහන්නේ " ප්‍රේමා කෝ දාස "කියලා. ‘රන්තිලි වැව‘ කියන්නේ මට හමුවූ ලස්සන නිර්මාණයක්. නමුත් මම කැමති එකම රාමුවකට කොටු නොවී වෙනස් චරිත කරන්න. ‘නීල පබළු‘හී ආශා ජනප්‍රියත්වයට රුකුලක්. ‘රන්තිලි වැව‘ ප්‍රේමා මගේ රංගන පරාසය පෙන්වනන රුකුලක්වුණා.
මෙගා නාට්‍යවල ඉදිරියේදිත් නිමේෂාව දකින්න ලැබෙයිද?
මෙගා නාට්‍යවල චරිත දිගටම කරන්න අදහසක් නැහැ. මගේ ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. ඔහු කියන්නේ මෙගා නාට්‍යවලින් නමක් හදාගන්නවට වඩා අපේ දක්ෂතාවෙන් ඉදිරියට යන්න කියලයි. එහෙත් මෙගා නාට්‍යක වුණත් හොඳ චරිතයක් ලැබුණොත් බාර නොගෙන ඉන්නේ නැහැ.
නිමේෂා රංගනය පිවිසෙන්නේ මවගෙන් ලැබුණු තල්ලුව නිසා නේද?
මගේ මවුපියන් චිත්‍රපට බලන්න ගොඩක් කැමැතියි. මම පොඩි කාලේ අම්මගෙන් අහනවලු ටිවී එක ඇතුළට නැන්දලා මාමලා යන්නේ කොහොමද කියලා. මමත් රංගනයට කැමැති ඇති කියලා අම්මට දැනිලා තිබුණාලු. ඒ වගේ චරිත මම රඟපාලත් පෙන්වනවලු. මට පොඩි කාලේ තිබුණේ වෛද්‍යවරියක් වීමේ හීනයක්. නමුත් මගේ දක්ෂතාව තිබිලා තියෙන්නේ රඟපාන්න. ඔය අතරේ අම්මා මාව රූපවාහිනියේ එක එක වැඩසටහන්වලට ඉදිරිපත් කළා. 2007දී ITN නාලිකාවේ අවුරුදු කුමරිය තරගයේ තුන්වනි ස්ථානය දිනාගත්තා. නිවේදන කටයුතුවලට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ‘රොසලියා‘ටෙලිනාට්‍යයේ වසන්ති චතුරාණි මහත්මියගෙ තරුණ කාලේ චරිතයට මාව යෝජනා කරලා තිබුණේ කොට්ටාරමුල්ලේ චමිල අයියා. අම්මා තමයි මාව ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න උනන්දු කළේ. ඇගේ උනන්දුව නිසාම මම නිළියක් වුණා. හැබැයි මගේ ඒ කුලුඳුල් රංගනය ඇතුළත් නිර්මාණයත තවම විකාශය වුණේ නැහැ.
ඒ ආපූ ගමනේ අභියෝග කැපිලි
කෙටිලි ඔබටත් තිබුණද ?
මට එවැනි කැපිලි තියෙනවාද දන්නේ නෑ. මොන දේ වුණත් මම හිනාවෙලා හැමදේම බාරගන්න කෙනෙක්. ඒ වගේම මට හොඳ දේවල් ලැබිලා තියෙනවා.
ලැබුණු සමහර අවස්ථාවලින් පැනලා යන්නත් උත්සාහ කළා නේද?
ජාතික රූපවාහිනියේ වැඩ කරද්දි තුන්වතාවක්ම එයින් ඉවත් වුණා. ඒ මගේ පෞද්ගලික හේතුවකට. ඒ එක අවස්ථාවක ජය ශ්‍රී අයියා මාව ගෙන්වලා කිව්වා දෙයක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබුණු දේවල් නැති කරගන්න එපා කියලා. රංගනයෙදිත් කලකිරුණ තැන් තිබුණා. හැබැයි මම හිතුවා මට යන්න තියෙන හොඳම පාර කලාව කියලා. රංගනය කියන්නේ ගෞරවනීය දෙයක්. රංගනය නිසා මට බොහෝ දේවල් ලැබුණා.
නිමේෂා කලාව තුළ එක දෙයකට සීමා වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි?
මම ගුරුවරියක්. කවදාවත් රජයේ රැකියාවක් කරන්න කැමැත්තක් නොතිබුණු මට ගුරු භූමිකාව කියන්නේ මගේ ජීවිතේට ලැබුණු භාග්‍යක් බව දැන් දැනෙනවා. අම්මා කියන දේවල් කවදාවත් වැරදුණේ නැහැ. දෙවියෝ හොඳ දේවල් දීලා තියෙද්දී ඇයි අපි එකම දෙයකට කොටු වෙලා ඉන්නේ. මම උගන්වන දරුවන්ට වුණත් කියන්නේ එක දෙයකට කොටු නොවී තමන්ට පුළුවන් යැයි හැඟෙන හැමදේම කරලා බලන්න කියලා.
මේ වෙනකොට මම නිවේදනයට හා වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වෙනවා. ඒ අතරේ රූපලාවණ්‍ය පාඨමාලාවකුත් කළා. කොරෝනාවලට කලින් මගේම රූපලාවණ්යාගාරයකුත් තිබුණා. රූපලාවණ්‍ය ශිල්පයේ උපාධිය දක්වා හදාරන්න විදේස් ගත වෙන්න බලාපොරොත්තුවක හිටියේ. මේ වසංගත තත්ත්වය නිසා ඒ තීරණය කල් ගියා.
ගුරු භූමිකාව නිසා චරිත තෝරා ගැනීමෙදී සීමා දාගෙන ඇති නේද ?
රංගනයෙදී මම කොහොමත් සීමා දාගෙන වැඩ කළ කෙනෙක්. ඒ සීමාවේ වැඩවලට තමයි ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ. දැන් ගුරුවරියක් වීම නිසාත් මාව අනුගමනය කරන පිරිසක් ඉන්නවා. මම ඒ අවබෝධයෙන් යුතුවයි මම වැඩ බාර ගන්නේ. ළඟදි ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයකට කතා කළා. එහි නිරූපණය කරන්න තිබුණු එක දර්ශනයක් නිසා මට ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න වුණා.
රංගන ශිල්පිනියක් ලෙස ඇගයුමක් ලබන්න ඔබත් කැමැති ඇති?
සම්මානයක පේරේතකම නැතිව නෙමෙයි. හොඳම නිළියක ලෙස ඇගයීමක් ලබන්න කැමැතියි. කවදා හරි සම්මානයක් අරගෙන මතක් කරන්න පිරිසක් ඉන්නවා. ඒ ටික කියාගන්න තිබ්බොත් ඇති. හැබැයි මේ වෙනකල් මටකිසිම සම්මාන උලෙළකට ආරාධනා පත්‍රයක්වත් ලැබිලා නැහැ.
එකතු වුණු අලුත් නිර්මාණ කටයුතු මොනවාද?
‘ගගන පියවර‘සහ ‘සුසුම් රස්තියාදුව‘කියන නිර්මාණ දෙකට රංගනයෙන් එකතු වුණා. ඒ නිර්මාණවල ඉතිරි රූගත කිරීම් කරන්න තියෙනවා.