ශශිකා නිසංසලා සංගීත ක්ෂේත්රයට ආ දා පටන්ම මිහිරි හඬකින් රසික හිත් බැඳ ගත් ගායන ශිල්පිනියක්. වසර හයක් නොකඩවා ජනතා සම්මානලාභිනියක් වන්නට ඇයට හැකි වුණෙත් ඒ නිසයි. පසුගිය දා ඇගේ හඬින් තවත් අපූරු ගීතයක් එළිදැක්වුණා. වෙනසක් නැතුව රසික හිත් එයටත් ආදරයෙන් බැඳිලා. ඒ ගැන ඇය පුවත්පකට විස්තර ෙමලස පවසා තිබුනා.
‘චන්ද්‍රා පායන්න‘ ඔබේ හඬින් ඇහෙන අලුත්ම නිර්මාණය ?
‘චන්ද්‍රා පායන්න‘ ගීතය ලස්සන කරන්න බොහෝ දෙනෙක් දායක වුණා. මම ක්ෂේත්රයේ වැඩ කරද්දි වෙනස් නිර්මාණ හොයනවා. මනුරංග දවසක් දුරකථන ඇමතුමක් දීලා කිව්වා දිනේෂ් තනු නිර්මාණයක් එහෙම ගීතයක් තියෙනවා කියලා. ඒ ගීතය අහද්දී ඒ තනුවේ වගේම පදවලත් මට වෙනසක් දැනුණා. ඊට පස්සේ තමයි මම ඒ ගීතය ඉල්ල ගත්තේ. ගීතය ගැන අපි තුන්දෙනා බොහෝ දේ සාකච්ඡා කිරීමෙන් පසු හොඳ ගීයක් නිර්මාණය කරන්න පුළුවන් වුණා. ‘තාලරූප‘ හී චමිල් පතිරණට තමයි මෙහි රූප රචනය පැවරුණේ. ඔහු ලස්සන තේමාවක් එක්ක රූප රචනය කළා.
දවස් කිහිපයක් ඇතුළත ගීතයට ලොකු ජනප්‍රියත්වයක් ලැබී තිබෙනවා ?
ගීතය ප්‍රචාරය වෙලා දවස් තුනක් යන්නත් මත්තෙන් views ලක්ෂ තුනකට වඩා ගීතය නරඹා තිබුණා. ඒ නැරඹු බොහෝ දෙනා ගෙන් බොහොම යහපත් ප්‍රතිචාර ලැබෙනවා.
ඔබේ ගැයූ ගීත බොහොමයක් ජනප්‍රියයි. ගීත ගයන්නෙම ඒ ජනප්‍රියත්වය වෙනුවෙන් ද?
මම අවුරුද්දටම එක ගීතයයි කරන්නේ. ගීතය මුලින්ම විඳින්නේ මමයි. ඒ ගීතය මට දැනෙනවද කියලයි මම බලන්නේ. මට දැනෙනවා නම් රසිකයනුත් එයට කැමැති වේවි යන හැඟීම මට තිබෙනවා. ඒ හැඟීම බොහෝ විට සාර්ථකයි. ගීතයකට දෙන භාවයෙන් තමයි ගීතයක සාර්ථකත්වය වැඩි වෙන්නේ. කෙනෙක් ගීතයක් විඳින්නේ එයින් හිත සැහැල්ලු කරගන්න. මගේ ගීතවලින් ඒ සැහැල්ලුව දැනෙන බව මට නිරන්තරව ලැබෙන ප්‍රතිචාරවලින් තේරුම් ගන්නවා.
ගී පද තෝරා ගනිද්දිත් ඔබටත් ප්‍රවීණ - තරුණ බෙදීම තිබෙනවාද ?
මේ මෑතකදි යමුනා මාලනි මහත්මිය ලියපු ගීතයකුත් මම ගායනා කළා. එයට රූප රචනයක් නම් තවම කළේ නැහැ. මම විවිධ ශෛලීන්වල ගීත ගායනා කරන්න කැමැතියි. ගීතය ලියන්නේ කවුද කියන එකට වඩා එහි නිර්මාණාත්මක බව ගැනයි මම සැලකිලිමත් වෙන්නේ.
ඔබේ ජනප්‍රියත්වය රැකී තිබෙන්නේ ඔබේ හැකියාව නිසාමද?
මම ඉපදුණේ දැරණියගල ඌරපොළ කියන ගමේ. මම ලස්සනට පිළිවෙලට අඳින පලඳින කෙනෙක්. අපේ සංස්කෘතියට අනුව මම කැමති දේ අඳිනවා. මගේ ගීතවලට වගේම ඒ අඳින විදිහට, කතා කරන විදිහට සහ මම හැසිරෙන විදිහට රසිකයෝ මට ආදරෙයි. මමත් ඔවුන්ට ආදරෙයි. ඒ ආදරය කරන නිසයි අපිට රැඳෙන්න පුළුවන් වෙන්නේ. දුවක්, සහෝදරියක්, බිරියක් මවක් යන භූමිකා සමබරව තියාගෙන වැඩ කරන නිසා රසිකයන්ගේ ඒ ගෞරවය හා ආදරය නිරන්තරව මට ලැබෙනවා
රියැලිටි වැඩසටහනක විනිසුරුවරියක් විදිහටත් ඔබ දැන් කාර්යබහුලයි ?
ඒ වැඩසටහනට සම්බන්ධ වීම ගැන මුලදි සමහර අය විවිධ අදහස් ප්‍රකාශ කළා. නමුත් මම කරන දේ ගැන මට වගකීමක් තියෙනවා. ජාත්‍යන්තර අකෘතියක් තියෙන එවැනි වැඩසටහනක විනිශ්චය මණ්ඩලයට මාව තෝරා ගත්තේ සුදුසුකම් බලලා. මම පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් හා මේ ක්ෂේත්රයේ ලබපු අත්දැකීම් මේ වැඩසටහනේ දී සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන්. දැන් ප්‍රේක්ෂකයන් දන්නවා මම ඒ භූමිකාවට සාධාරණයක් කරනවා යන්න.
ක්ෂේත්රයේ සාර්ථක වෙද්දී සමහර අයට මුල අමතක වෙනවා?
මට මේ තැනට එන්න උගන්නපු, උදවු කරපු සියල්ලන්ව මතකයි. නම් කිය කිය නිතර මතක් නොකළට ඒ අයට තියෙන මගේ ගෞරවය ඔවුන් දන්නවා. මාව මේ තැනට ගේන්න මගේ අම්මා තාත්තා ලොකු කට්ටක් කෑවා. අපිට ලොකු ආර්ථික පසුබිමක් තිබුණේ නෑ. ක්ෂේත්රයට එන්න හදපු මුල් කාලේ ඕනෑ තරම් කකුලෙන් ඇදිලි තිබ්බා. ඒ හැමදේකදිම මගේ මවුපියෝ සහෝදරයා මට ලොකු ශක්තියක් වුණා. මගේ තාත්තාට තමයි මාව ගායිකාවක් කරන්න ඕනෑ වුණේ. ඔහු වෙහෙසුනේ මාව උගත් ගායිකාවක් කරන්න. මම ඒ ඉගෙන ගත්ත පාසල්වල ගුරුවරු, විදුහල්පතිවරු මට උගන්වපු දේවල් තමයි මම ප්‍රායෝගිකව දැන පාවිච්චි කරන්නේ. ‘තුරුණු ශක්ති‘ නිසා තමයි බොහෝ අය මාව දැනගත්තේ. ඉතින් මට මුල හොඳට මතක කෙනෙක්.
සාර්ථක ගමනක් යද්දි කට්ටක් කන්නම වෙනවා නේද?ඒ කට්ට අද ඔබට දැනෙන්නේ කොහොමද?
මම ක්ෂේත්රයට එද්දි විශාල දුක්කම්කටොවලට මුහුණ දුන්නා. ආසාවට සින්දු කියන්න ගිහින් මමයි තාත්තයි බස් හෝල්ට්වල නිදි මරලා තියෙනවා.වැස්සේ තෙමි තෙමී බයිසිකලේ ගිහින් තියෙනවා ෂෝවල සින්දු කියන්න.අමාරුවෙන් තැනකට ආවම ඒකේ අගය වැඩියි.එකපාර ලැබෙන දේකට වඩා දුක්විඳලා ලබාගන්න දේ අගය වටිනාකම වැඩියි. මහන්සි වෙලා තමන්ගේ ගමන හදාගන්න කැපවුණොත් ඕනෑම ක්ෂේත්රයක සාර්ථක වෙන්න පුළුවන්.
ඔබ සංගීත දිවිය තුළ කාර්ය බහුලයි. නමුත් පවුල මගහැර ගන්න කෙනෙක් නෙමෙයි නේද?
මම දරුවෝ දෙන්නෙක්ගේ මවක්. විවාහ වෙන්න කලින් මගේ මවුපියන් සහ සහෝදරයා තමයි හැමදේකදීම පස්සෙන් හිටියේ. මට ගායිකාවක් විදිහට සැහැල්ලුවෙන් මගේ වැඩ කරන්න මවුපියන් වගේම මගේ ආදරණීය සැමියාගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඔහු මං වෙනුවෙන් බොහෝ දේවල් කැප කළා. මම අද සාර්ථක වෙලා ඉන්නවා නම් ඒ මගේ පවුල නිසා. මට පවුල ගොඩක් වටිනවා. මගේ දරුවෝ වුණත් මගේ කාර්යබහුලත්වය තේරුම් අරන් සිටීම මට ගොඩක් වටිනවා.