ඇයට මේ දිනවල නිතර ලැබෙන්නේ ඇනුම් බැනුම්ය. ඇයි තරුමිණීට ඔහොම කරන්නේ කියා අසන අයට ඇය ඇති තරම් පිළිතුරු ලබාදී තිබේ. එය එසේ වුවද මේ ලබන්නාවූ ප්‍රතිචාර වලින් අද අපේ කතා නායිකාව මහත් වූ තෘප්තියක් ලබයි. ඒ ඒවා ඇයට ලැබුණු චරිතයට මනාව පණ පොවන බවට සාක්ෂි වන බැවිනි. ඇගේ නම කවීතා අංජලීය. ඒත් වැඩිපුරම බොහෝ දෙනා ඇය අමතන්නේ මීෂා කියාය. ධරණි ටෙලි සිතුවමේ ඇය රඟපාන්නේ එකී චරිතයයි. සිනමා ලොව දැවැන්තයෙකුට අතිශය සමීප නෑකමකට උරුමකම් කියන කවීතා චරිතාංග නිළියක් වන්නට බලාපොරොත්තුව ඇතිව සිටියි. නැසීගිය සිනමා රංගන ශිල්පී නිෂ්පාදක සහ අධ්යක්ෂ බැප්ටිස්ට් ප්‍රනාන්දු කවීතාගේ සීයා ය. සිනමා අධ්යක්ෂ ලාල් ප්‍රියදේව ඇයට නෑකමින් බාප්පායි. ලාල් තැනූ අපට සැදුණු අපේ ලෝකය සිනමාපටයේ කවිතාට හොඳ ඉඩක් ලබා දුන්නේ නෑ කමට වඩා ඇගේ හැකියාවටය. ඉන් උපරිම ඵල නෙළා ගත් කවීතා වත්මනෙහි ජනප්‍රියත්වය ඉහළටම ඇවිත් සිටින්නේ ධරණී ටෙලි සිතුවම නිසාය.
කවීතා, මොනවද මුලින්ම කියන්න තියෙන්නේ?
අනේ මට වෙච්ච දේ කියලා තමයි.
ඇයි ඒ?
නැහැ නැහැ, මම ඒක නිකන් කිව්වෙ. චරිතයට පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා. වැඩිපුරම මිනිස්සු කරන්නේ බනින එක. නමුත් සැබෑ ජීවිතයේ මම මීට වැඩිය හාත්පසින්ම වෙනස් හරිම තැන්පත් කෙනෙක්. මට කේන්ති යන්නේම නැති තරම්.
බොහෝ වෙලාවට අපේ රසික රසිකාවෝ නළුවෙක් හෝ නිළියක් රඟපාන චරිතයෙන් තමයි ඔහු හෝ ඇය මනින්නෙ?
ඒක නිසා තමයි මට අර වගේ බැනුම් ඇසීම වැඩිපුරම ලැබෙන්නේ. මාව ළඟින් ඇසුරු කරන අය අහනවා කොහොමද ඔච්චර නපුරු වෙන්නේ කියලා.
ඇත්තටම කොහොමද එහෙම නපුරු වෙන්නේ හැම තිස්සෙම තරුමිණිට අභියෝග කරනවා?
ම්ම්ම්ම්.. නපුරු වෙන්නේ මෙහෙමයි පිටපත් අරන් කියවල බලනව. ටිකක් වෙලා ගියාට පස්සෙ චරිතය මනසට ආරූඪ කර ගත්තම හරි. නමුත් සමහර අවස්ථාවල දී ෂූටිං නවත්තනවා රඟපානවා සැර මදි කියලා. එතකොට ආයි සැරයක් කේන්තිය වැඩි කරගෙන රඟපානවා.
ඔබ රඟපාන්න ආ හැටි මතක් කළොත්?
මට මුලින්ම රඟපාන්න චාන්ස් එක හම්බෙන්නෙ වෙන්නේ පැණිකුරුල්ලෝ නාට්‍යයේ. මේ වෙලාවෙ මේ මතක් කරන්න ඕනේ එහි නිෂ්පාදක සහන් විජේසිංහ මහත්මයා. ඒ නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්. එහි මම රඟපෑවේ නෙත්මි කියලා අහිංසක චරිතයක්. එහි චරිතයත් එක්ක බොහොම ආදරණිය ප්‍රතිචාර මට ලැබෙනවා. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම් කිහිපයකම රගපෑවා. එතකොට බාප්පා ඒ කියන්නෙ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ අපට සැදුණු අපේ ලෝකය සිනමාපටයේ හොඳ චරිතයක් ලැබුණා. ඊට පසුව තමයි ධරණි නාට්‍යයේ මීෂා ලැබුණේ. ඒක දුෂ්ට චරිතයක් ඒ කියන්නේ ප්‍රධාන විලන් කියලා තමා මට කිව්වේ. මට හිතුණා මටම අභියෝගයක් කරගන්න. එහෙම හිතලා මේ චරිතය බාර ගත්තා. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ දෙරණ නාලිකාවේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ, ධරණි නාට්‍යයයේ අධ්යක්ෂ ශ්‍රීයන්ත ප්‍රසාද් රත්නායක, තිර රචක නිදුක් මදුෂික සහ සිනමා පැත්තෙන් මට උදව් කරපු සුනිල් ටී ප්‍රනාන්දු කියන මහත්වරුන් පිරිස. ඔවුන් තමයි මට මේ ගමන එන්න උදව් කළේ.
ඔබේ සීයා බැප්ටිස් ප්‍රනාන්දු ගැන මේ වෙලාවෙ මතක් කරන්න මං කැමැතියි?
සීයා ගැන වචනයෙන් දෙකෙන් කතාකරලා නිම කරන්න බැහැ. ඔහු රජෙක් වගේ හිටපු එක්කෙනෙක්. ඒ වගේම මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න ඕන කොහොමද කියලා මම ඔහුගෙන් තමයි ඉගෙන ගත්තෙ. වෙලාවට මට පියෙක් වගේ මගේ ළඟ හිටියා. මම වෘත්තිමය ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට මගෙම ආයතනයක් පටන් අරගෙන වැඩ කරගෙන යද්දී සීයා නිතරම කියනවා ඕක කෙරුවට කමක් නැහැ කලාව දිහා පොඩ්ඩක් බලන්න කියලා. ඔහු වඩාත් කැමැත්තෙන් හිටියා මම කලාකාරිනියක් වෙනවට.
දැන් දිගින් දිගටම දුෂ්ට චරිතවලට කතා කළොත්?
අනිවාර්යනේම මම යනවා. මම වඩාත් කැමතියි ඒ වගේ චරිත වලට මට කතා කරනවට. මොකද හැමෝම පෙම්වතියගේ චරිතය රඟපාන්න කැමැත්තෙන් හිටියට මම කැමතියි එහෙම නොවී විවිධ චරිත රඟපාන්න. ලංකාව තුළ දුෂ්ට චරිත රඟපාන නිළියක් විදිහට ජනාදරයට පාත්‍ර වෙන්න මම කැමතියි. මොකද එහෙම ලේඩි විලන් කෙනෙක් නැති තරම් නිසා.
කවීතාගේ පෞද්ගලික විස්තර කතා කළොත්. මේ වනවිට විවාහකද, එහෙම නැත්නම් පෙම්වතියක්ද?
විවාහ වෙලත් නෑ. පෙම්වතියකුත් නෙවෙයි. මේ ධරණි චරිතය නිසා මේ දවස්වල කවුරුවත් යාළුවෙන්න අහන එකකුත් නැහැ.
කවීතාගේ ගම කොහෙද?
මම කඩුවෙල කොතලාවල.
උපන් දිනය?
ඔක්තෝම්බර් 5.
ඉගෙන ගත්ත පාසල?
යහපත් එඩේරාගේ කන්‍යාරාමය නායක්කන්ද , ඊට පසුව අටාමි ජාත්‍යන්තර පාසල.