වැඩ නොකර හිටපු කාලය ගැන මට දුකක් නැහැ - වත්සලා දියලගොඩ



දඟකාර කටකාර පුංචි කෙල්ලක් එක්තරා කාලෙකදී පුංචි තිරයට නැතුවම බැරි වුණා. හැබැයි ඒ පුංචි කෙල්ල අද නම් බොහෝ අත්දැකීම් සමඟින් මුහුකුරා ගිය ආදරණීය තරුණ බිරියක් සහ මවක්. ඇය වත්සලා දියලගොඩ. මේ දිනවල අලුත් කලා නිර්මාණවලින් ප්‍රේක්ෂකයන්ට හමු නොවුණත් ඇය ඇගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා...

 


අලුත් ඇරැඹුමට වෙන සූදානමින්ම කතාව අරඹමු?


කොවිඩ් වසංගතය නිසා පහුගිය අවුරුද්දෙම විශේෂ දෙයක් නොකර හිටපු මමයි නංගියි දැන් අලුත් වැඩකටයි සූදානම. අපි ICC කැම්පස් එකෙ ඩිප්ලෝමා එකක් කළා. ඊට පස්සෙ තමයි මේ අදහස ආවේ. Hearbal Skin and Hair treatment center එකක් තමයි පටන් ගන්න යන්නෙ. බොහෝ දෙනා තමන්ගේ රූපය වඩවා ගන්න අනුගමනය කරන්නේ කෙටික්‍රම.නමුත් එහි අයහපත් අතුරු ප්‍රතිඵල බොහොමයි. අපට ඕනෑ කළේ හරි විදියට හොඳ දෙයක් කරන්න. එයට විසදුමක් විදියටයි මේක පටන් ගත්තේ.


 


දැන් කලාවෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලාද?


රංගනයෙන් ඈත් වෙලා නැහැ. එහෙම අදහසකුත් නැහැ. කොවිඩ් ප්‍රශ්නය නිසායි පහුගිය අවුරුද්දෙම කිසිම අලුත් වැඩක් කළේ නැත්තේ. මට බබෙක් ඉන්න නිසා එයා ගැන හිතලා පරෙස්සම් වෙන්න ඕනේ. කරන්න හිටපු සමහර වැඩත් කල් දාන්න වුණා. නමුත් හොඳ වැඩක් ලැබුණොත් ඉදිරියෙදි මාව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙයි.


 


වත්සලා නැවත රංගන කටයුතුවලට එකතු වෙනවට සැමියා කැමැතිද ?


මම රඟපානවට සැමියාගෙන් කවදාවත්ම අකමැත්තක් තිබුණේ නැහැ. ඔහු දන්නවා මම තෝරලා බේරලා පවුලේ වැඩ කටයුතුවලටත් ප්‍රශ්නයක් නොවෙන්නයි රංගනයට සම්බන්ධ වෙන්නේ කියලා.


 


ජනප්‍රියත්වය දරාගෙන හිටපු වත්සලා මෙහෙම කාලෙන් කාලෙට රංගනයෙන් ඈත් වීම අපරාධයක් යැයි හැඟෙන්නේ නැද්ද?


මම ජීවිතේ එක් එක් කාලවල විවේක අරගෙනමයි සීමිත නිර්මාණ ප්‍රමාණයකට සම්බන්ධ වුණේ. වැඩ නොකර හිටපු කාලය ගැන මට දුකක් නැහැ. ඉදිරියට වැඩ කරන්න මට කාලය තියෙනවා. කරන්න බැරි වුණ දේවල් වලට වඩා මට කරන්න තියෙන දේවල් ගැන මම බලාපොරොත්තු සහගතව ඉන්නවා.


දැන් දුවගේ වගකීම්වලින් මිදිලා වැඩ කරන්න පුළුවන්ද?


දුවට දැන් අවුරුදු 7යි. ඇයට දැන් බොහෝ දේවල් වැටහෙනවා. තනියම දේවල් කරගන්නත් පුළුවන් නිසා මට වැඩ කරන්න පහසුයි. නමුත් දුවගේ වගකීම් මගෙන් මිදෙන්නේ නැහැ. හැමදේම සමබරව කරගෙන යන්න මම උත්සාහ කරනවා


 


කලක් තිබුණු ඒ ප්‍රේක්ෂක ආදරය අඩුවක් වෙලා නැතිද?


මව අලුත් නිර්මාණයකින් දකින්න ලැබෙන්නේ නැති වග හමුවන බොහෝ ප්‍රේක්ෂකයින් මගෙන් අහනවා. ඒ කියන්නෙම ඔවුන්ට මාව අමතක නැති වග නේ. ඒක තමයි වටිනම කාරණය. සිමිතව වැඩ කරලා ප්‍රෙක්ෂක මතකයේ දිගු කාලීනව රැඳෙන චරිතයක් වීමම වාසනාවක්. ඒ වාසනාව මටයි නංගිටයි තියෙනවා. මම වැඩ කළෙත් සීමිත අධ්‍යක්ෂකවරු පිරිසක් සමඟ. ඒ අධ්‍යක්ෂවරු පවා අදටත් මාත් සමඟ හිතවත්. ඔවුන්ගේ අලුත් නිර්මාණයකදී "මෙහෙම චරිතයක් තියෙනවා කරන්න කැමැතිද" අහනවා.


ඒ සමහර චරිත නම් මම ප්‍රතික්ෂේප කරනවා. ඉස්සර කළා වගේ දඟකාර චරිත වෙනුවට වෙනස් චරිතයක් කරන්නයි මම දැන් කැමැති.




ඒ කියන්නේ තවමත් ඉල්ලුම තියෙන්නේ ඒ දඟකාර ස්වභාවයට ?


දඟකාර චරිතවලට තමයි මට තාමත් කතා කරන්නේ. මම දැන් ආස සීරියස් චරිතවලට. හැබැයි අධ්‍යක්ෂවරු කියන්නේ මාව තවම අම්මාගේ චරිතවලට ගන්න බෑ කියලා .


වත්සලාගේ ජීවිතේ දැන් සියල්ල සම්පූර්ණ වෙලා ද?


ජීවිතයේ දැනට ලැබෙන්න ඕනේ හැම දෙයක්ම මට දෙවියන්ගේ පිහිටෙන් ලැබිලා. මහා ලොකු බලාපොරොත්තු මං ළඟ නැහැ. දැන් මට හැමදාම සතුටින් ඉන්න මේ තියෙන වසංගත තත්ත්වය අවසන් වෙලා නිදහසේ ජීවත් වෙන්න තිබුණොත් ඇති. දරුවගේ අනාගතය තමයි සම්පූර්ණ කරන්න තියෙන්නෙ. ඒ වෙනුවෙන් උපරිම දේ අපි කරනවා


 


දුවත් කලාවට ළැදියිලු නේද?


ඇය සංගීතයට ගොඩක් නැඹුරුයි. ඒ හැකියාව ගැන අපිටත් පුදුමයි. අපි කිසිම දෙයක් සංගීතය ගැන ඇයට උගන්නලා නැති වුණත් ඇය යූ ටියුබ් එකෙන් හොයාගෙන වාද්‍ය භාණ්ඩ වාදනය කරනවා. හිපොප්, රැප්, ඉංග්‍රීසි ගීත ගයනවා.


 


දෝණිට නංගියෙක් හරි මල්ලියෙක් හරි  ගේන්න අදහසක් නැද්ද?


එහෙම අදහසක් නම් නැහැ.එහෙම වුණොත් මට ගෙදරටම වෙලා ඉන්න වෙයි.








Previous Post Next Post