කළණි කියන්නේ ලංකාවේ ඉන්න් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ආදරණීය පුංචි පුතකුගේ මවක්..ඉතිං ඇය ඇගේ මේ දවස් වල අලුත් විස්තර මොනවද කියලා පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.
කළණි.. ජීවිතේ කොහොමද?
ජීවිතේ හරිම ලස්සනට ගතවෙලා යනවා. මායි තුමිඳුයි ගත කරපු සාමාන්‍ය ජීවිතයට වඩා අද අපි තුන්දෙනා ගත කරන මේ ජීවිතේ චුට්ටක් වෙනස්. කොවිඩ් එක්ක අපි ගත කරන මේ කාලය සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ ගත කරපු කාලයට වඩා ටිකක් වෙනස්වෙලා තියෙනවා. හැබැයි ඒ ජීවිතේ සතුටින් සාමාන්‍ය විදිහට ගෙවිලා යනවා.
කොවිඩ් එක්ක තුමිඳුට අපූර්ව එක්ක වැඩි වෙලාවක් ගෙදර රැඳෙන්න අවස්ථාව ලැබුණා. ඒක අපූර්වට හරි අපූරු කාලයක් වෙන්න ඇති?
ඔව්.. ඇත්තමයි. අපි දෙන්නම රුකියාවන් කරන නිසා අපූර්ව එක්ක ඉන්න තියෙන කාලය ටිකක් අඩුයි. නමුත් මේ කොවිඩ් කාලයේදී අපිට අපූර්ව එක්ක ගත කරන්න, එයත් එක්ක ජීවිතේ විඳින්න ලොකු කාලයක් හම්බවුණා. එයාට දැන් අවුරුදු තුනයි. ඒ අවුරුදු තුන ඇතුළේ එයාගේ ජීවිතේ අපූර්ව කරන පුංචි පුංචි දේවල් රසවිඳින්න අපිට හොඳ කාලයක් හම්බවුණා. ඒ නිසා ඒ කාලය අපූර්වට ගොඩක් අවධානය දීලා එයත් එක්ක ගත කරන්න වගේම එයාගේ පුංචි පුංචි දේවල් පවා තුමිඳුටයි මටයි දෙන්නටම එකට රසවිඳින්න අවස්ථාව ලැබුණා.
අපූර්වට අවුරුදු තුනයි. අපූර්ව මොනවගේ දරුවෙක්ද?
අපූර්ව ඇත්තටම අපූර්ව වගෙයි. එයා පෙනුමෙන් සහ ක්‍රියාවලින් ගොඩක් තුමිඳු වගෙයි. අපේ පොඩි කාලේ අපි කොයි වගේද කියන දේ අපිට අපූර්ව දිහා බැලුවාම දැනෙන්න ගන්නවා. තුමිඳුයි මායි විවාහවෙලා අවුරුදු හතරකට පස්සෙ තමයි අපූර්ව අපි ළඟට එන්නේ. අපේ ජීවිතේ අපූර්වත් එක්ක හරිම සුන්දරයි. එයා අපි දෙන්නට ලොකු සතුටක් ගෙනාවා. අපේ ජීවිතවලට හරි අපූර්වත්වයක් ගෙනාවා.
පුතාට අපූර්ව කියලා නම දැම්මෙ කවුද?
ඒක අපි දෙන්නම කතාවෙලා දාපු නමක්. පුතා ඉපදෙන්න කලින් ඉඳන්ම අපි දෙන්නා ඒ නම හිතාගෙනයි හිටියේ. මම දෙමළ කතෝලික කෙනෙක්. තුමිඳු සිංහල බෞද්ධ කෙනෙක්. ඒ නිසා පුතාට බෞද්ධ නමක් දානවද, කතෝලික නමක් දානවද කියන දේ අපි දෙන්නා කතා කරන අතරේ තමයි අපිට ඒ නම හිතුණේ. මෙයා හරි අපූරු කෙනෙක් කියලා හිතන අතරේ තමයි අපිට අපූර්ව කියලා නමක් හිතුණෙ.
කළණි දෙමළ කතෝලික.. තුමිඳු සිංහල බෞද්ධ.. ගෙදර පරිසරයත් එක්ක මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරුවෙ කොහොමද?
අපි දෙන්නා විවාහවෙලා දැන් අවුරුදු හතක් වෙනවා. ඒ අවුරුදු හත ඇතුළේ අපි දෙන්නා හැම සිංහල අලුත් අවුරුද්දක්ම, හැම නත්තලක්ම සැමරුවා. අපි ඒ හැමදේම සමරන අතරේ ලොකු සතුටක් ලැබුවා. තුමිඳුටත් වඩා මම සිංහල අලුත් අවුරුද්ද ලැබුවාම ඒ චාරිත්‍ර කරන්න හරි ආසයි. සමහර වෙලාවට මම තමයි ඒ හැම සැමරුමක්ම කරන්න තුමිඳුව උනන්දු කරවන්නෙ. වෙසක් එකට මම තමයි මුලින්ම වෙසක් කූඩු හදන්න පටන් ගන්නෙ. අපි දෙන්නට අපේ විවාහයෙදිවත් අපි මේ ගත කරපු කාලෙදිවත් කවදාවත් ආගමික ප්‍රශ්නයක්වත්, ජාති ප්‍රශ්නයක්වත් දැනිලා නැහැ. තුමිඳු කියන්නෙ හරිම ආදරණීය චරිතයක්. මාව තේරුම් ගත්තු චරිතයක්. ඒ නිසා අපිට මේ වනතුරු ඒ කිසිම දෙයක් ගැන ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ.
සිංහල හින්දු අලුත් අවුරුද්දෙ චාරිත්‍ර වාරිත්‍ර කළේ මොන නැකතට අනුවද?
මම කතෝලික නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද ඒ කාලේ ඉඳන්ම එහෙම ලොකුවට සැමරුවෙ නැහැ. නමුත් අපේ පල්ලියේදි අපි දාහතර වෙනිදාට කිරි උතුරවනවා. ඒ නිසා ඒක හැමදාම වගේ අපි විවාහ වුණාට පස්සෙත් මම කරනවා. විවාහවෙලා තුමිඳුගේ ගෙදරට ගියාට පස්සෙ අලුත් අවුරුද්ද මට හරිම සුන්දරයි. කැවිලි හදන්න මම හරි ආසයි. තුමිඳුගේ අම්මා මම ආසා නිසාම සමහර කෑම හදනවා. අම්මා ගොඩක් වෙලාවට මෙයා මේවා කාලා නැහැ. ඒ නිසා අපි මේවා හදමු* කියලා සමහර කැවිලි හදනවා. මම ඒ විවිධත්වයට හරි ආසයි. මම මොනවා හරි කෑමක් හැදුවාමත් එයාලා හරිම ආසාවෙන් ඒක කනවා. සිංහල කෑම ඕන එකකට මම හරි ආසයි.
දැන් අවුරුදු කැවිලි හදන්න කළණිට පුළුවන්ද?
මට තනියමනම් හදන්න බැහැ. හැබැයි මම අම්මා එක්ක එකතුවෙලා කොකිස් හදලා තියෙනවා. කෑම හදද්දි මම අම්මට උදව් කරනවා.
කළණි රංගනයට එකතු වෙන්නෙ යම්කිසි සීමාවක් ඇතිවයි. ඇයි මේ?
මට රංගනය පිළිබඳවත්, රංගනය සීමා කරන්න කියලවත් තුමිඳු කවදාවත් මට බලපෑමක් කරලා නැහැ. මම වෙනත් වෘත්තියක් කරන අතරතුරේ තමයි රංගනයට සම්බන්ධවෙලා වැඩ කරන්නෙ. මම ආසා, මට දැනෙන චරිතයක් ලැබුණොත් මම කරනවා. ඒ රඟපාන පොඩි චරිතය ඇතුළෙ වුණත් මම ලොකු සතුටක් ලබනවා. අවුරුද්දට එකක් හෝ අවුරුදු දෙකකට එකක් හෝ මට ගැලපෙන, කරන්න පුළුවන් විදිහේ, මම ආසා විදිහේ පොඩි චරිතයක් හරි ලැබුණොත් මම රංගනයෙන් දායක වෙනවා.
කළණි වෘත්තියෙන් ගුරුවරියක්?
ඔව්.. මම මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ මනෝ උපදේශිකාව විදිහටත්, බාහිර කථිකාචාර්යවරියක් විදිහටත් කටයුතු කරනවා.
තුමිඳුත් කථිකාචාර්යවරයෙක්. මේ දේවලුත් එක්ක දරුවාගේ වැඩ කටයුතු සිදු කරන්නෙ කොහොමද?
අපි දෙන්නම වැඩ කරද්දි අපූර්වට අපි දෙන්නගෙන් අසාධාරණයක් වෙන්නෙ නැතිවෙන්න තමයි කටයුතු කරන්නෙ. ඒ නිසා තමයි මම රංගනයට වුණත් දෙන කාලය අඩුවෙලා තියෙන්නෙ. අපූර්වට මගේ ආදරය අඩුවෙන් ලැබෙනවාට මම කැමති නැහැ. අපි දෙන්නවම එයාට මඟ නොහැරෙන්න තමයි අපි හැමවෙලේම වැඩ කරන්නෙ. අපි වැඩ දාගන්නෙත් එයාව මඟහැරෙන්නෙ නැතිවෙන්නයි. මම එළියට යනවනම් තුමිඳු ගොඩක් වෙලාවට ඒ වෙලාවෙ අපූර්ව එක්ක ඉන්නවා. ඒක අපි දෙන්නා හරිම සහයෝගයෙන් කරගෙන යනවා. තුමිඳු රංගන කටයුතු කරනවාට මම හරි ආසයි. ඒත් මේ දවස්වල තුමිඳු එයාගේ පශ්චාත් උපාධිය කරනවා. ඒ අධ්‍යාපන කටයුතුවලට තමයි තුමිඳු මුල්තැන දීලා තියෙන්නෙ. අධ්‍යාපන කටයුතු නිසා තුමිඳු මේ ටිකේ ටිකක් කාර්යබහුලයි. ඒ හැමදේටම මම තුමිඳුට නිදහස දීලා තියෙනවා. මම හරි ආදරෙයි මගේ පවුලට. මේ පුංචි පවුල ඇතුළෙ මම ලොකු සතුටක් ලබනවා.
ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?
මට ලොකු බලාපොරොත්තු නැහැ. කිසිම දවසක මගේ ජීවිතේ ලොකු ඉලක්ක තිබුණෙ නැහැ. හැබැයි මේ ඉන්න වෙලාවට මම ආදරේ කරනවා. මේ මොහොතට මම ආදරෙයි. විශ්වවිද්‍යාලයෙදිත් ඒ දරුවන් එක්ක මම හරිම සතුටින් කාලය ගත කරන කෙනෙක්. විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් හා තාක්ෂණ ආයතනයේ මගේ දරුවෝ පවා මට හරි ආදරෙයි. රැකියාවෙදිත් මම හරි තෘප්තිමත්. රංගනයෙදිත් මම කරපු වැඩ ඇතුළෙ මට සතුට තියෙනවා. අපූර්ව නිසා මගෙයි තුමිඳුගෙයි ජීවිතේ තවත් සතුටින් පිරුණා. දෙන්නෙක් විදිහට ඉන්න කාලෙදිත් තුමිඳුයි මායි ජීවිතේ සතුටින් ගත කළා. ඒ ආදරයට අපූර්ව තවත් ආදරේ අරන් ආවා.