50 හා 60 දශකවල සිංහල සිනමාව පෝෂණය කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක් ලෙස උදුලා දාබරේ මහත්මිය හඳුන්වා දෙන්න පුළුවන්.. වරද කාගෙද, රදල පිළිරුව, දොස්තර, දුප්පතාගේ දුක, නළඟන, දරුවා කාගෙද, සීගිරි කාශ්‍යප, සුවිනීත ලාලනී, සුරයගෙන් සුරයා, සැකය ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ උදුලා දාබරේ කිසිදා විවාහ වූයේ නැත. අද ඇය මත්තෙගොඩ ඇගේ ඥාති දියණියක් සමඟ දිවි ගෙවමින් සිටී. අද ජීවතුන් අතර සිටින සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම නිළිය ඇයයි. ඉතිං ඇය විවාහ නොවි සිටිමට හේතුව ගැන ඇය පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.
ඔබ රංගනයට පිවිසුණේ පාසැල් යන කාලෙදි නේද?
ඔව්. ඒත් මම පාසැල් නාට්‍යවල ප්‍රධාන චරිත රඟපාලා තිබුණට මට නිළියක් වීමේ කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. මට ඕනවෙලා තිබුණ ගුරුවරියක් වෙන්න. ඒත් දෙවය හැමදේම වෙනස් කරලා මාව නිළියක් කළා.
ඔබ අවිවාහකව ඉන්න තීරණය කළේ ඇයි?
ඇත්තටම මම අවිවාහකව ඉන්න තීරණය කළේ නැහැ. ඒක එහෙම සිද්ධ වුණා. හැමදේම සිද්ධ වෙනනේ දෛවයට අනුව.
ඔබේ ප්‍රේම සම්බන්ධයක් බිඳුණු නිසාද අවිවාහකව ඉන්න තීරණය කළේ?
අපේ පවුලෙ සේරම හත් දෙනෙක්. පස් දෙනෙක්ම අඩු වයසෙන් නැතිවුණා. ඉතුරු වුණේ මායි මගේ නංගියි විතරයි. නංගි වේලාසනින්ම කසාද බැඳලා කුරුණෑගල පදිංචියට ගියා. ඉතින් මගේ අම්මයි තාත්තයි හිටියෙ මගේ ළඟ. චිත්‍රපටවලින් අයින් වුණාට පස්සෙ මම අවුරුදු විස්සක් ජාතික ලොතරැයි මණ්ඩලේ වැඩ කළා. ඔය කාලෙදි තමයි මාව විවාහ වෙන්න කෙනෙක් බලාපොරොත්තුවෙන් හිටියෙ. ඒත් මට අම්මා තාත්තා තනිකරලා විවාහ වෙන්න බැරිවුණා.
ඒ ගැන තව විස්තර ටිකක් කියන්නකො?
ඔහු මාධ්‍යයට සම්බන්ධ කෙනෙක්. අවුරුදු ගණනක හිතවත්කමක් අපි අතර තිබුණා. එයාට පිටරට ශිෂ්‍යත්වයක් ලැබුණා ඡායාරූපකරණය සම්බන්ධව. එයාට ඕන වුණා මාවත් විවාහ කරගෙන මා එක්ක රට යන්න. ඒත් අම්මා කැමැති වුණේ නැහැ ඒ දෙන්නා මෙහෙ තනිවෙයි කියලා හිතලා. අම්මා ඒ ගැන හිතලා අඩනවා නිතරම. නංගි කුරුණෑගල ඉන්න නිසා මේ දෙන්නව එහෙ තියලා යන්නත් බැරිවුණා. මම අපේ ඥාතීන් කීපදෙනෙකුගෙන්ම ඇහුවා අම්මයි තාත්තයි බලාගන්න පුළුවන්ද කියලා. මම රට ගිහින් ඒ දෙන්නගෙ වියදමට මාසිපතා මුදල් එවන්නම් කිව්වා. ඒත් කිසි කෙනෙක් ඒකට කැමති වුණේ නැහැ. ඉතින් මම අම්මා තාත්තා නැති වෙනකම්ම ඒ දෙන්නව බලාගත්තා. ඒ නිසා විවාහයක් කරගන්න බැරිවුණා.
ඒ ගැන අද හිතෙන කොට දුකක් දැනෙන්නෙ නැද්ද?
දුකක් නැති දෙමාපියො නිසා. ඊට පස්සෙත් මට විවාහ යෝජනා කීපයක් ආවා. මමත් කසාද බඳින්න කැමැති වුණා. ඒත් මැරෙනකම් අම්මා තාත්තා බලාගන්නවා කියලයි මම තීරණය කරලා තිබුණෙ. මාව බඳින්න කැමැති වුණු හැමෝම කිවෙ බඳිනවා නම් බඳින ඔයාව විතරයි, ඔයාගෙ අම්මයි තාත්තයි බාරගන්න බැහැ කියලා. මම ආත්මාර්ථකාමී වෙලා විවාහයක් කරගෙන සතුටින් ඉන්නවට වඩා අම්මා තාත්තාට සලකලා ඉන්න එක ලොකු පිනක් කියලා මම අන්තිමේදී කල්පනා කළා. ඉතින් මගේ ජීවිතය ඒ විදිහට තනිකඩව ගෙවුණා.
ඔබේ කේන්දරේ මොනවද විවාහය ගැන කියලා තිබුණෙ?
මම ඒ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මට තියෙන්නෙ මගේ උප්පැන්න සහතිකේ විතරයි.
ඔබ දැන් ඉන්නේ කා එක්කද?
මම ඉන්නේ මගේ අයියගෙ දුවත් එක්ක. ඒ ගොලො මට හොඳට කරුණාවෙන් සලකනවා.
සිනමා ක්ෂේත්‍රයේ ඔබේ සමකාලීන අය හමුවෙන්නේ නැද්ද දැන්?
දැන් අපේ වයසත් එක්ක එහෙ මෙහෙ යන්න එන්නත් අමාරුයි. මම ඉනෙත් ටිකක් දුර නිසා ගමන් කරන්නත් අමාරුයි. ඉස්සර නම් ආරාධනා ලැබුණම සිනමා උත්සවවලට ගියා. අද ඉන්න තරුණ නළු නිළියොත් මට හම්බවෙනවා අඩුයි. ඒත් මේ පරපුරේ හොඳට රඟපාන අයට මම ආසයි. සිනමාවෙ කිසි කෙනෙක් එක්ක මම අමනාප වෙලා ඉඳලා නැහැ. ඉඳලා හිටලා මගේ චිත්‍රපටයක් රූපවාහිනී නාලිකාවල යනකොට බලන්න ආසයි. වැඩියෙන්ම කැමති ඒ කාලෙ මම කොහොමද හිටියෙ කියලා බලන්න.
එදා සිනමාවට සම්බන්ධ වෙලා හිටිය කාන්තාවන්ට ලැබුණු සැලකිල්ල මොන වගේද?
තමන් හොඳට හිටියොත් ඒ ගෞරවය නොඅඩුවම ලැබෙනවා. ඒ නිසා අපේ වෘත්තීය ගෞරවය රුකගෙන අපි හොඳින් වැඩ කළා නම කැත කරගනෙ නැතුව. ඔබලා අද මාව හොයාගෙන ආවෙත් ඒ නිසානෙ. මම සිනමා ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් එක්කම සම්බන්ධකම් පැවැත්වූයේ නැහැ. චරිත ඉල්ලගෙන පස්සෙන් ගියේ නැහැ කාගෙවත්. මම මූටි කරන කාලෙ මගෙ පස්සෙන්ම හිටියෙ මගෙ අම්මා. එයා මාව පණ වගේ ආරක්ෂාවට කළා. මම ෂූටි කරන තැන්වල වොෂ්රූම් එකට ගියත් අම්මා දොර ළඟ හිටගෙන ඉන්නවා. මේ ක්ෂේත්‍රයේ හැමෝම ඒ කාලෙ අම්මට කිව්වෙ මගෙ බොඩිගාඩ් කියලා.