බොරු කියන්නේ මොකටද මමත් ජනප්‍රියම නළුවා වෙන්න කැමැතියි - දිලුම් විජේසිංහ




නෑනලා, අසංවර වැස්සක්, ධරණි ආදී වූ ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන නවක රංගන ශිල්පියෙක් වන ඔහු නමින් දිලුම් විජේසිංහ. ඔහුගේ නවතම  තොරතුරු ගැන ඔහු පුවත්පතකට මෙලෙස විස්තර කියා තිබුනා.

කොහොමද දිලුම් ඉතින්?

හොඳින් ඉන්නවා. මේ දවස්වල කැම්පස් එකේ විභාග කටයුතු නිසා පොඩ්ඩක් කාර්යබහුලයි.


මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා නේද?

ඔව්. ජාතික රූපවාහිනිය නාළිකාවේ නෑනලා, ස්වර්ණවාහිනි නාළිකාවේ අසංවර වැස්ස, දෙරණ නාළිකාවේ ධරණි කියන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා.


නාලන් මෙන්ඩිස් වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් සමග වැඩ කිරීමට ලැබීම ගැන දිලුට මොනවද කියන්න තිබෙන්නේ?

ඇත්තටම නාලන් මෙන්ඩිස් මහතා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. අපි පොඩිකාලේ ඉඳන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න රජ කෙනෙක් විධියට තමයි මම ඔහුව දකින්නේ. ඒ වගේ දැවැන්තයකුගේ නිර්මාණයක ප්‍රධාන චරිතයක් ලැබීමම මම ලබපු ලොකු ජයග්‍රහණයක්. නෑනලා වෙත මාව සම්බන්ධ කරන්නේ උදය ප්‍රසන්න මහතා. ඔහුටත්, නෑනලා නිෂ්පාදකතුමා බුද්ධික ලොකුකැටිය මහතාටත් විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි.



නෑනලා එක්ක ගතවෙන ජීවිතය කොහොමද?

“දෙනුවන්" වත්තක හැදුණු කොල්ලෙක්. නමුත් ඔහු ගතිගුණ සහ අනිකුත් දේවල් අතින් සමාජයේ ඉහළ තැනක සිටිනවා. දෙනුවන් තරුණියක හා ආදරයක පැටලෙනවා. ඇය ධනවත් පවුලක කෙනෙක් යැයි ඔහු  මුලින් දැන සිටියේ නැහැ. පන්ති පරතරය නිසාම ඇය ඔහුව දමා යනවා. නමුත් අවසානයේදී සියල්ල වෙනස් අතකට හැරෙනවා. ඉතින්, සිකුරාදා හැර සතියේ දිනවලදී ජාතික රූපවාහිනි නාළිකාව තුළින් දෙනුවන්ගේ ජීවිතයට මොකද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්.


අසංවර වැස ගැනත් කියමු?

දේශමාන්‍ය තිස්ස විජේකෝන් මහතා අධ්‍යක්ෂණය කරන අසංවර වැස්සක් ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කළේ සමන් අතපත්තු මහතා. මෙය ගමක රූගත කරන හරිම ලස්සන කතාවක්.


අසංවර වැස්සෙහි ගමේ ගම්මුලෑදෑනිතුමාගේ මුනුපුරා "උදය" කියන්නේ ප්‍රේවන්තයෙක් නේද?

ඔව්. එහිත් මම කරන්නේ ගමක තරුණියකට ආදරය කරන තරුණයකුගේ චරිතයක්. මේ කතාව හරිම ලස්සනයි. එය නරඹූ ගුණදොස් දන්වා එවන්න කියලා ආදරයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.


ධරණිහි අයේෂ් ගැනත් කතා නොකරම බැහැ?

දෙරණ ධරණි ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක මහතා අධ්‍යක්ෂණය කරන ජානක සිරිවර්ධන මහතා නිෂ්පාදනය කරන ධරණි එකට මාව සම්බන්ධ කරන්නේ ඔස්මන් විජේරත්න මහතා. ධරණි කියන්නේ මම හරිම නිදහසේ කරන වැඩක්.


අයේෂ් කියන්නේ සැබෑ ජීවිතයේ දිලුමිගේ චරිතයට හරිම සමීප චරිතයක්ලු නේද?

ඔව්. ඇත්තටම අයේෂ් මගේ ඇත්ත ජීවිතයට ගොඩක් සම්බන්ධයි. මොකද ඔහුත් මම වගේම කැම්පස් ශිෂ්‍යයෙක්. ගොඩක් වෙලාවට අයේෂ් තුළින් මට මගේ සැබෑ ජීවිතය දකින්න පුළුවන්.


දිලුම් කොහොමද රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?‍

මගේ මවුපියන් ගොඩක් සල්ලි තියෙන අය නෙවෙයි. ඒ වගේම මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධත් නැහැ. මම උසස් පෙළ කරලා ප්‍රතිඵල එනතුරු විවිධ තිර පරීක්ෂණවලට ගියා. ඒ හරහා තමයි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ පිරිස් හඳුනාගන්න මට අවස්ථාව ලැබෙන්නේ.


ඒ කියන්නේ රංගන ශිල්පියෙක් වීමට දිලුම් තුළ කුඩා කල සිටම ආසාවක් තිබුණද?

ඇත්තටම ජීවිතයේ එක් අවධියකදී මම නොකරපු වැරැද්දකට මට මේ සමාජයත්, මිනිසුන්ටත් එපා වෙනවා. සමාජයෙන් මාව කොන් වීමට පවා ලක් වුණා. මට සමාජය තුළ නැවත ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වුණු නිසා තමයි මම කලාව පැත්තට යොමු වුණේ.


දිලුම් මුලින්ම රංගනයට සම්බන්ධ වුණේ මොන නිර්මාණය හරහාද?

සියත රූපවාහිනියේ විකාශනය වූ ඉත්තෝ ටෙලි නාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ.


නවකයෙක් විදියට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?

ලංකාවේ ඉහළම පෙළේ රංගන ශිල්පීන්, ප්‍රවීණයන් එක්ක නෑනලා තුළ රංගනය සිදුකරනවා. මගේ අම්මාට ඉන්නේ දමයන්ති ෆොන්සේකා මහත්මිය. ඒ වගේම යසෝධා විමලධර්ම මහත්මිය, ගීතා කාන්ති ජයකොඩි මහත්මිය, වසන්ත කුමාරසිරි මහතා, රම්‍යා වනිගසේකර මහත්මිය වැනි ප්‍රවීණයන් රැසක් සමඟ වැඩ කරන්න ලැබීමම භාග්‍යයක්. ඒ සියලුම දෙනාගෙන් ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. මේ වෙනතුරු කිසිම දිනෙක හිත රිදෙන දෙයක්වත් වෙලා නැහැ.


මේ වන විට නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් අතර ජනප්‍රියතම සම්මානය ලබා ගැනීමට තරගයක් ඇතිවෙලා තියෙනවානේ. ඒ පිළිබඳව ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

බොරු කියන්න අවශ්‍ය නැහැ මමත් ජනප්‍රිතම නළුවා වෙන්න කැමැතියි. ලංකාව තුළ ජනප්‍රියතම සහ හොඳම කාණ්ඩයට අයත් වන නළුවෙක් වශයෙන් හේමාල් රණසිංහ අයියව හඳුන්වන්න පුළුවන්. කවදා හෝ මමත් ඒ තැනට එනවා කියන අධිෂ්ඨානය මා තුළ තිබෙනවා.


ඉස්සරහට එන්න තිබෙන අලුත් වැඩකටයුතු මොනවද?

විකාශය වෙන්න තියෙන වැඩ දෙක තුනක් තියෙනවා. ඒ වගේම වෙනම දත් කුට්ටමක් එහෙම දාලා හරිම ආසාවෙන් කරපු වෙනස්ම චරිතයක් තියෙනවා. ඒක එනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා.


රඟපාන්න ආස කරන චරිතයක් තිබෙනවාද?

තිරය තුළ ප්‍රචණ්ඩ චරිතයක් කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා.


ඔබ විශ්වවිද්‍යාල කටයුතුත් සමඟ රංගන කටයුතු සමබර කර ගන්නේ කොහොමද?

අම්මෝ කරන්න අමාරුම වැඩේ ඒක තමයි. විශ්වවිද්‍යාල වැඩත් එක්ක රංගන කටයුතු කරගෙන යන්න හරිම අපහසුයි. නමුත් ඉතින් රංගන ක්ෂේත්‍රය අවතීර්ණ වීමට මේ ලැබුණු අවස්ථාව අතාරින්නත් අකැමැතියි. රැවුලයි කැඳයි දෙකම බේරගෙන ඉදිරියට යන්න බලනවා.


පවුලේ විස්තර ටිකක් මතක් කළොත්?

මගේ ගම මොරගනේ. ඒක කුලියාපිටිය නගරයෙන් 25km විතර ඇතුළට ගියාම හමුවන සුන්දර ගමක්. 5 ශ්‍රේණිය වෙන තෙක් මොරගනේ මහා විද්‍යාලයට ගියා. අනතුරුව ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු අරගෙන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළට හොඳ ප්‍රතිඵලයක්, හොඳ රෑක් එකක් එක්ක කොළඹ විශ්වවිද්‍යාලයට පිවිසුණා. උසස් අධ්‍යාපන කටයුතුවලට න්‍යෂ්ටික ඉන්ජිනේරුවේදය හදාරමින් සිටිනවා. අම්මා, තාත්තා දෙදෙනාම විශ්‍රාමික විදුහල්පතිවරුන්. අයියා බැංකු නිලධාරියෙක්. අද මම ජීවිතයේ යම්කිසි තැනට පැමිණ තිබෙනවා නම් ඒ තුන්දෙනා නිසා තමයි.





Previous Post Next Post