'අහසින් වැටුණු වැසි බිඳක් පවා මනුෂ්‍ය ප්‍රයෝජනයට භාජන නොවී මුහුදට ගලා නොයා යුතුයි' යනුවෙන් ප්‍රකාශ කල පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයේදී ලංකාව ස්වයංපෝෂිත ආර්ථික රටාවකට හුරු කළ බව අපි දනිමු. එහි ප්‍රතිපලයක් ලෙස පරාක්‍රම සමූද්‍රය නිර්මාණය විය. එදා සිට අද දක්වාත්, අනාගතය දක්වාත් පොදු ජනතාවගේ ආර්ථිකයට මෙම සමුද්‍රය විශාල ශක්තියක් වෙයි.
පොළොන්නරුවෙහි ජල ආධිපත්‍යය රඳවාගෙන තිබෙන පරාක්‍රම සමුද්‍රය පිළිබඳව විස්තර කිහිපයක් මෙසේ දක්වමි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධානම ජල සැපයුම ලෙස හඳුන්වන්නේ පරාක්‍රමබාහු රජු විසින් කරවූ පරාක්‍රම සමුද්‍රයයි. තෝපා වැව, එරමුදු වැව, දුඹුටුළු වැව, කලහගල වැව සහ භූ වැව යන වැව් කිහිපය එකට එකතු කරමින් නිර්මාණය කර තිබෙන පරාක්‍රම සමුද්‍රය වර්ග කිලෝමීටර 22.6ක වපසරියක පැතිර තිබේ. පොළොන්නරුව යනු ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලනයකට උරුමකම් කියන ඉතිහාසයක් ඇති දිස්ත්‍රික්කයකි. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවිකාව කරගත් පොළොන්නරු වැසියන් ලංකාවේ සහල් අවශ්‍යතාවයට විශාල දායක්තයක් දක්වයි. එමෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයකම ඔවුන් නිරත වෙයි. මොවුන්ගේ බොහෝ ජීවිකාවන් බැඳී ඇත්තේ පරාක්‍රම සමුද්‍ර ජලයත් සමගය.
පරාක්‍රම සමුද්‍රයෙහි සන්ධ්‍යා කාලය ඉතා සුන්දරය. සන්ධ්‍යා සමයට රක්ෂිත තුළ සිටින වල් අලින් සිය ජල අවශ්‍යතාවය සඳහා පරාක්‍රම සමුද්‍රයේ ඉස්මත්තට පැමිණීම දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ද මහත් ආස්වාදජනකව නරඹති. ජලස්නානය සඳහා පැමිණෙන අලි ඇතුන්ගේ ජල ක්‍රීඩා ද පරාක්‍රම සමූද්‍රය අවට නිරන්තරයෙන් දැකිය හැකිය. එමෙන්ම පරාක්‍රම සමූද්‍රයෙහි මිරිදිය ධීවර කටයුතු කරන ධීවරයින්ටද ගොවිතැන් සිදු කරන ගොවීන්ට නිරතුරුවම වන අලි ප්‍රහාරයට ලක් වීමට සිදුවන බවද අපට දැනගන්නට ලැබිණි.
ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ රැසක්ම සිටින පරාක්‍රම සමුද්‍රය නිරතුරුවම කුරුළු විශේෂයන්ගෙන් සහ වන සතුන්ගෙන් පිරී තිබීමද මෙහි විශේෂත්වයකි. සමුද්‍රයෙහි කලහගල වැවට මදක් ඈතින් පිහිටා ඇති කුරුළු දූපතෙහි කුරුල්ලන්ට අමතරව වන අලිද ජීවත් වෙයි. පරාක්‍රම සමුද්‍රයෙහි තවත් කොටසක ජලයෙන් යටවුණු සීත මාලිගාව පිහිටා තිබෙන අතර එය වියළි කාලගුණ කාලයේදී නැවත උඩට මතුවෙයි. මෙම සීත මාලිගය පරාක්‍රමබාහු රජු විසින් ගිම්හාන ඍතුවේදී වාසය කිරීම සඳහා භාවිතා කළ බවට සැලකේ. වියළි කාලගුණය පවතින කාලයේදී මෙම මාලිගය දැක බලාගැනීමට බොහෝ සංචාරකයින් පැමිණේ. පොළොන්නරුවෙහි නටඹුන් නගරය නරඹා සන්ධ්‍යා කාලයේදී පරාක්‍රම සමුද්‍රයෙහි අසිරිය නැරඹීමට සංචාරකයින් මහත් ආශාවක් දක්වයි.
- කැළුම් දේවින්ද -