මාවිල් ආරු අමුණේ නවතම තතු



යුධ කාල වකවානුව තුළදී බොහෝ දෙනාගේ අවධානය යොමු වූ “මාවිල් ආරු අමුණ’පිළිබඳව නවතම තතු කිහිපයක් හෙළි වී තිබේ.  ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වන ඕනෑම අයෙකුට මෙම මාවිල් ආරු අමුණට පහසුවෙන් සමීප විය හැකියි. 

ලංකාවේ ආර්ථිකයට සහල් විශාල ප්‍රමාණයක් ලබාදෙන්නේ ත්‍රිකුණාමලය ගොවීන් බව අප දනිමු. එමෙන්ම මෙම පළාතේ ගම්මාන රැසකම ගම්මුන්ගේ ප්‍රධාන වෘත්තීයද කෘෂිකර්මාන්තයයි. එබැවින් මෙම මාවිල් ආරු අමුණ මෙම ගොවීන්ගේ ප්‍රධාන ජල මාර්ගයද වෙයි. මාවිල් ආරු අමුණෙන් කුඹුරු අක්කර 28 000ක පමණ කුඹුරු සඳහා අවශ්‍ය ජලය වසර පුරාවටම ලබාදෙයි. එමෙන්ම මූතූර් ප්‍රදේශයේ පටන් සේරුනුවර, සේරුවාවිල, සූරියපුර ඇතුළු ප්‍රදේශ රැසක ගොවියෝ මෙම මාවිල් ආරු අමුණෙන් ලැබෙන ජලය ප්‍රයෝජනයට ගනියි.  

මෙහි ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ ගොවිතැනට අවශ්‍ය ජලය මෙන්ම මාවිල් ආරුවෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයටද විශාල දායකත්වයක් ලැබීමයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් මාවිල් ආරු අමුණෙහි පාලන බලය ලබා ගැනීමත් සමඟ ගොවීන් සියළු දෙනාම මහත් දුෂ්කරතාවයකට මුහුණ දුන්නද වර්තමානයේ එය යළිත් ගොවීන්ට අවශ්‍ය ජලය ලබාදෙමින් එම ප්‍රදේශයට විශාල පන්නරයක් ලබා දී ඇත.

මෙම සුන්දර  මාවිල් ආරු අමුණ වටා ඇති හරිත වර්ණ ප්‍රදේශවල විවිධ සත්ත්ව කොට්ටාස වලට අයත් අපූරු ජීවීන් රැසක්ද දැකබලා ගැනීමේ අවස්ථාව ඇත. යුධ සමයේ මෙම අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසිපරිදි සිදු නොවුණ බැවින් මේ වනවිට අමුණේ විශාල සංවර්ධන කටයුතු රැසක් ද සිදුවෙමින් පවතී. මෙම  මාවිල් ආරු අමුණ ත්‍රිකුණාමල ප්‍රදේශයේ අලංකාරය වඩාත් වැඩි කරන සුන්දර ඉසව්වක් ලෙස අපට හඳුන්වා දිය හැක. එබැවින් ත්‍රිකුණාමලයට යන ඔබ සැමට මෙම මාවිල් ආරු අමුණ නැරඹීමටද යන ලෙස ආරාධනා කරමි.


- (ඡායාරූප) සුපුන් උදයංග -









Previous Post Next Post