ඉංග්‍රීසි කතා නොකළ සිසුවාට අමුතු දඬුවමක් දුන් ගුරුවරියට නඩු


ඉංග්‍රීසි බසින් කතා නොකළැයි කියන පාසල් දරුවකු එසේ යළි නොකරන බවට පුවරුවක් කරේ එල්ලාගෙන සිටීම සම්බන්ධයෙන් දරුවාගේ මව ජාත්‍යන්තර පාසලක අංශ භාර ගුරුවරිය ඇතුළු ගුරුවරියන් දෙදෙනෙකුට එරෙහිව කර ඇති පැමිණිල්ලක් විභාග කරන බව පානදුර දකුණ පොලිසිය කියයි.

මෙසේ හිංසනයට ලක්ව ඇත්තේ 6 වැනි ශ්‍රේණියේ සිසුවෙකි. සිසුවා ඉංග්‍රීසි බසින් කතා නොකිරීමේ වරදට කරේ එල්ලන ලද පුවරුව සතියක් තියේ පාසලේදී තබාගතයුතු බවට දන්වා තිබී ඇත.

පාසල නිමාවීමෙන් පසු ක්‍රීඩා කටයුතුවල නිරතව සිටි දරුවාට දහවල් ආහාර වේල රැගෙන ගිය විට මව
එම පුවරුව දරුවාගේ බෙල්ලේ එල්ලාගෙන සිටීම සම්බන්ධයෙන් දරුවාගෙන් විමසා ඇති අතර පසුව දරුවා මේ පිළිබඳව මව දැනුවත් කොට තිබේ.

 මම පාසලේ නීතිරීතිවලට ගරුකරමින් මම ඉදිරියට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමට පොරොන්දුවෙමි.

 යැයි සිසුවාගේ බෙල්ලේ එල්ලා තිබූ පුවරුවේ සඳහන්ව තිබී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධව මව්පියන් ළමාරක්ෂණ අධිකාරිය වෙත  සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාත්‍යන්තර පාසල් ඒකකය වෙතද පැමිණිලි කොට ඇත. මේ සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරියගෙන් විමසීමේදී පැවැසුවේ මේ සම්බන්ධයෙන් අදාළ ගුරුවරියවෙත විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බවයි. එම පාසලේ සභාපතිවරයා මෙම සිද්ධිය පිළිබඳ මවුපියන් වෙත කනගාටුව ප්‍රකාශ කොට ඇති අතර එම ගුරුවරුන් දෙදෙනා එම පාසලෙන් මාරු කිරීමට කටයුතු යොදා ඇතැයි පවියයි.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි පානදුර දකුණ පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක තුෂාර ඉදික සිල්වා මහතා වැඩිදුරටත් පරික්ෂණ සිදුකරයි.


 - සමන් කාරියවසම්-
Previous Post Next Post