අවසන් ඕවරයේ ඇති කළ ආරවුලින් පසු බංගලිදේශ කණ්ඩායම වීදුරුත් කුඩු කරලා - සිද්ධ වුණේ කුමක්ද?


අවසන් ඕවරයේ ඇති කළ ආරවුලින් පසු
බංගලිදේශ කණ්ඩායම වීදුරුත් කුඩු කරලා

සිද්ධ වුණේ කුමක්ද?

ඊයේ රාත්‍රී ආර් ප්‍රේමදාස පිටියේ පැවැති බංග්ලාදේශ ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් තරගයෙන් බංගලිදේශ කණ්ඩායම ජයග්‍රහණය කළ නමුත් එම අවසන් ඕවරයේ  ඇතිවුණ සිද්ධි හා බංගලිදේශ ක්‍රීඩකයින්ගේ අවිනීත හැසිරීම් හේතුකොට ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයට ඇතිව තිබෙන හානිය ගැන මේ වනවිට විදෙස් මාධ්‍ය කණස්සල්ල පළ කර තිබේ.
නිපන්දුවක් සලකුණු නොකිරීම මත ඇතිවුණ කේන්තිය නිසා තරගය නවතා තබාගෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග රණ්ඩුවට පැටලීමටත් ‘කට්ටිය මැච් එක නවතා එළියට එන්න‘ යයි ආවේගශීලිව කණ්ඩායම් නායකයා පිටියේ  ඉවත සිට උපදෙස් දීමත් සිදුවූ අතර
තරගය ජයගෙන අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට උසුළු විසුළු කිරීම හා ක්‍රීඩාගාරයේ වීදුරු දොර කුඩුපට්ටම් කිරීමටත් බංගලිදේශ කණ්ඩායම කටයුතු කර තිබුණි.
මෙම අප්‍රසන්න සිද්ධිය ආරම්භ වන්නේ

අවසාන ඕවරයේ ලකුණු 12 ක් ලබාගන්නට නියමිතව බංගලිදේශය අවදානම් අවස්ථාවක සිටි වෙලාවේය. ඔවුන් එම අවස්ථාවේ තරගය ජයගන්නට බැරිවේය යන මානසිකත්වයෙන් පීඩනයෙන් සිටි අතර ඉසුරු උදාන යැවූ පළමු පන්දුව බවුන්සර් පන්දුවක් ලෙස පතිතවී ලකුණු කිසිවක් ලබා දුන්නේ නැත.

 ඉන්පසු යැවූ දෙවන පන්දුවද ඉහළින් ගිය අතර පිතිකරුට මගහැරී පසුපසින් ඉවතට යද්දී පිතිකරුවන් ලකුණු ලබාගැනීමට දිවගිය අතර විනිසුරු සිටින කඩුල්ලට පන්දුව යොමු කිරීම නිසා දුවද්දී දැවීයාමක් සිදු විය.
බවුන්සර් පන්දුවක් වූ මෙම පන්දුව නිපන්දුවක් ලෙස සලකුණු නොකිරීම ගැන බංගලිදේශ ක්‍රීඩකයින් ආරවුල් ඇති කරගත්තේ ඒ වනවිට පන්දු 4 ක් තුළ ලකුණු 12 ක් ලබාගතයුතු අසීරු අඩියක ඔවුන් සිටි මානසිකත්වයද පදනම් කරගෙනයි. එම පන්දුව නිපන්දුවක් බවට අතිරේක විනිසුරු සලකුණු කර අනෙක් විනිසුරු එය අවලංගු කරන ලදැයි බංගලිදේශ ක්‍රීඩකයින් චෝදනා කරන්නට විය. මෙම අවස්ථාවේ මිනිත්තු 15 කට පමණ තරගය නතරවිය.

බංගලිදේශ පිලේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටි නුරුල් හසන් එම අවස්ථාවේ පිටිය මැදට පිවිස ශ්‍රී ලංකා නායක තිසර පෙරෙරා සමග මේ සම්බන්ධයෙන්  වාද කරන්නට වූ අතර  කුසල් මෙන්ඩිස්ද එම වාදයට පැටළුණි.පසුව ඔවුනගේ සගයෙකු ඔහුව ඇදගෙන ගියේය. සමස්ත කණ්ඩායම සමග ක්‍රීඩාගාරයෙන් එළියට පැමිණි බංගලිදේශ නායක ෂකීබ් හතරේ සීමාව අසළ සිට විනිසුරුවන් හා වාදයක පැටලුණ අතර එම කේන්තිය සමග ඔහු ‘මෙහෙම සෙල්ලම් කරන්න බෑ අපි යනවා‘ වැනි අදහසක් දක්වමින් පිටිය මැද සිටින තම පිතිකරුවන් දෙදෙනාට තරගය නවතා එළියට එන ලෙස සංඥා කළේය. මෙම තරගාවලියේ සියලුම විනිසුරන් ශ්‍රී ලාංකික අයවීම නිසා ඔවුන් තමන්ගේ මව් රටට පක්ෂපාතී ලෙස විනිශ්චයන් ලබාදී ඇති ව ඔවුන්ගේ චෝදනාව විය.

කෙසේ හෝ විනිසුරන් මැදිහත්වී තරගය නැවත ආරම්භ කරන ලදි. තරගය නිමවීමට ලකුණු 12 ක ඉලක්කයට තවත් පන්දු 4 ක් ඉතිරිව තිබුණ අතර පළමු දෙවන හා තෙවන පන්දු තුනේදී 4 ක් 2 ක් හා 6 ක් ලබාගෙන බංගලිදේශ පිළ ජයග්‍රහණය අත්කරගන්නා ලදි.
ජයග්‍රහණය සමග බංගලිදේශ කණ්ඩායම පිටිය මැදට පිවිස ජය සමරන ලදි.

ඔවුන් පසුගිය තරගවලදි ලංකාවට එකට එක කරමින් ඉදිරිපත් කළ විනෝද අංගයක්වූ ‘නයා පෙන්වීම‘ද එම අව්සථාවේ සිදු කරන ලදි.

ක්‍රිකට් ක්‍රීඩාවේ රස්තියාදුකාර ලක්ෂණ ප්‍රකට කරමින් තරගය ජයගත් පසු කිසියම් ක්‍රීඩකයෙකු කුසල් මෙන්ඩිස්ට යමක් කියා තිබුණ අතර ඔහු එයට උරණවී වාදයක පැටළෙන්නට උත්සාහ කිරීමේ දර්ශනය රූපවාහිනී තිරයට පවා  යොමු විය.

කෙසේ හෝ තරග අවසානයේ ත්‍යාග ප්‍රදාන අවස්ථාවට දෙපිලම එක්වූයේ නැති අතර ක්‍රීඩකයින් පමණක් පැමිණ එහි ත්‍යාග ලබාගනු දක්නට ලැබුණි. අනතුරුව වාර්තාවූයේ ජයග්‍රහණයෙන් පසු බංගලිදේශ කණ්ඩායම ප්‍රේමදාස පිටියේ ඔවුනට වෙන්කළ ක්‍රීඩා වීවේකාගාරයේ වීදුරු දොර කුඩුපට්ටම් කළ බවකි. එහි ඡායාරූප විදෙස් මාධ්‍ය වලද පළවී තිබේ.
මේ සම්බන්ධයෙන් තරග තීරක සොයාබැලීමක් කර තිබූ අතර බංගලිදේශ ක්‍රීඩකයෙකු එය කුඩු කළ බව ආපන ශාලා සේවකයෙකු පවසා ඇත.නමුත් කවුරුන්දැයි හෙළිව නැත. ඉදිරියේදී සීසීටීවී විමර්ශන වලින් මෙම පහත් ක්‍රියාව සිදුකළ අයගැන සොයා බලන බව වාර්තාවේ.
කෙසේ වෙතත් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පණිවිඩයක් නිකුත් කර ිතබෙන අතර පිටියේ වීදුරු කුඩු කර ිසදුවූ අලාබය ඔවුන් ගෙවන්නට සූදානම් බවද දන්වා ඇතැයි වාර්තාවේ.
මෙම අවිනීත හැසිරීම් සම්බන්ධයෙන් අයිසීසීය දැඩි පියවර ගනු ඇතැයි වාර්තා පළව තිබෙන අතර තවම එම තීරණ ගැන වාර්තා නොවේ.

පහත පළවන්නේ අවසාන ඕවරයේ වීඩියෝව හා උණුසුම අවස්ථාවේ ඡායාරූපයි







Previous Post Next Post