මාර ආසාවෙන් හිටියේ රිදී තිරයට එන්න- නිහාරි පෙරේරා

gossiplanka image 2
නිහාරි පෙරේරා කියන්නේ සිනමාවට පැයූ අලුත්ම තාරකාවිය කියන්න පුළුවන්. සැබැවින්ම සුන්දර යුවතියක වූ නිහාරි, රංගනයට ඇවිත් වැඩි කාලයක් වෙන්නේ නැහැ. ඒත් මේ වෙද්දීත් සිනමා නිර්මාණ හය හතක් කර අවසන්. ඉන් පළමු සිනමා නිර්මාණ දෙකම මේ වෙද්දී තිරයට එනවා. ඒ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළ ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටය සහ මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කරන සූර්යා චිත්‍රපටය.


ඔබේ මුල්ම සිනමා නිර්මාණය වෙන්නේ?


‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්’. එහි ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ආදරණිය බිරිඳ වන ශිලා විජේවර්ධනගේ චරිතය තුළින් තමයි මම සිනමා ප්‍රවේශය ලබා ගන්නේ.


අපි මතක් කළොත් ඒ චරිතේ ලැබෙන විදිය?


චිත්‍රපටයේ රඟපෑම සඳහා ඇරයුම ලැබෙන්නේ මම විදෙස්ගතව ඉන්න වෙලාවක. එදා මම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිස් ග්‍රෑන්ඩ් තරගාවලියට සහභාගි වෙලා හිටියේ. ඒ දවසේ මට ඇමතුමක් එනවා තේජා ඉද්දමල්ගොඩ සර්ගෙන්. එවලේ ආන්සර් කරන්න බැරි නිසා මම පසුව තේජා සර්ට කතා කරනවා. ඒ වෙලාවේ තමයි සර් කියන්නේ මෙහෙම ෆිල්ම් එකක් කරන්න යනවා ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ මම ඉන්න තත්ත්වය පැහැදිලි කරලා මම කියනවා ලංකාවට ආව ගමන් මුලින්ම එන්නේ සර්ව හමුවෙන්න කියලා. ලංකාවට ආවම මම ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියා. එතැනට රුවන් කොස්තා සර් ආවා. ඒ වෙලාවේම මට මුකුත් කිව්වේ නැහැ. පසුව නිෂ්පාදක තුසිත විජයසේන මහතා එක්කත් කතා කරලා ටික දවසක් ගිහින් තමයි මට කිව්වේ මාව ශිලා විජේවර්ධන කියන චරිතයට තෝරා ගෙන ඉන්නවා කියලා.


මොකද හිතුණේ ඔබව තෝරාගෙන තියෙන්නේ ප්‍රධාන භූමිකාවට කියලා දැන ගත්තම?



මට ඇත්තටම හරිම සතුටුක් ඇති වුණා. මම මාර ආසාවෙන් හිටියේ රිදී තිරයට එන්න. මම බලාගෙන හිටියේ මට අවස්ථාවක් ලැබෙනකම්. මම මේ දුරකතන ඇමතුම ලැබුණාම හරිම සතුටින් අම්මා තාත්තට මගේ සහෝදරයින්ට නෑදෑයින්ට කිව්වා.


ශිලා විජේවර්ධන කියන සැබෑ චරිතේ අදටත් ජීවමාන චරිතයක්, අභියෝගයක් වුණේ නැද්ද?


මම ශිලා මහත්මියට දුරකතනයෙන් කතා කළා. එතුමිය හරි අහිංසක ආදරණීය චරිතයක්. එදා මම හිතා ගත්තා මම මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. අද මම හිතනවා ඒ චරිතෙට සාධාරණයක් කළා කියලා.


ඔබේ දෙවන සිනමා නිර්මාණය වෙන්නේ සූර්යා ?


ඔව්. මහේෂ් මුණසිංහ මහතා අධ්‍යක්ෂණය කරන දිනේෂ් මුතුගල සර් නිෂ්පාදනය කරන සූර්යා චිත්‍රපටය. එහි මගේ චරිතේ වෙන්නේ නේහා. නේහා කියන්නේ හරිම ආදරණීය දඟකාර උත්සහවන්ත කෙනෙක්.


නේහා සහ නිහාර චරිත සමාන ද?


නේහා කියන නම නම් මට අලුත් නැහැ. නමුත් ඒ චරිතය නම් මට අලුත්. ඒ චරිතේ මට තිබ්බ ලොකුම අභියෝගය තමයි හොනට් බයික් එක පදින එක. ඒ වෙනකම් ස්කුටි නම් පැදලා තිබුණා. නමුත් ගියර් තියෙන හොනට් බයික් එකක් පදින්නත් මම පුරුදු වුණා.


මේ කෙටි කාලය තුළ සිනමා නිර්මාණ බොහොමයක් කළා නේද?


ඔව්. මේ වෙද්දී සිනමා නිර්මාණ 6ක් විතර කරලා තියෙනවා. තව නිර්මාණ කිහිපයකට ඇරයුම් ලැබිලත් තියෙනවා.


ඉදිරියේදී දැකගන්න ලැබෙන නිර්මාණ ගැනත් කියමු?


ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කළ සූරිය සුළඟ සහ එතුමාගේම තව චිත්‍රපටයක් කළා. එහි නම තවම තීරණය වෙලා නැහැ. මට එහි ද්විත්ව චරිත කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ එක්කම වෛද්‍ය කපිල සූරියආරච්චි මහතාගේ අග්නික චිත්‍රපටය. ඒ එක්කම මම මේ දවස්වල රූපගත කිරීම් සිදු කරනවා ඩිලාන් වික්‍රම කිර්ති අයියාගේ කාදල් කියන චිත්‍රපටයේ. එකේ මම රඟපාන්නේ හේමාල් රණසිංහ අයියා එක්ක.


පුංචි තිරෙන් ඈත් වුණාද?


පුංචි තිරෙන් මම එක නිර්මාණයක් කළා. සනත් අබේසේකර මහතාගේ අසිරිමත් දළදාගමනය ටෙලි නාට්‍යයේ මම හේමමාලා චරිතේ කළා. ඊට පස්සේ දිගටම සිනමා නිර්මාණ ලැබුණු නිසා සහ මගේ ක්‍රීඩා කටයුතු එක්ක ටෙලි නාට්‍යය කරන්න වෙලාවක් ලැබුණේ නැහැ.


අද වෙද්දී සිනමා නිළියක් වීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම හරි සතුටුයි. එහි ගෞරවය හිමිවෙන්න ඕනේ තේජා ඉද්දමල්ගොඩ සර්ට සහ තුසිත විජයසේන සර්ට. අද රිදී තිරයේ මාවම දකිද්දී පුදුම විදියට සතුටු වෙනවා. මට දැනෙන සතුට වචන වලින් කියන්න අමාරුයි.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


එයාලා මට හොඳ නරක දෙකම කියා දෙනවා. පවුල කියන්නේ අපිට ඕනෙම දෙයක් බෙදා ගන්න පුළුවන් තැන. අම්මා තාත්තා මල්ලි සහ නංගි. අද වෙද්දී මගේ මල්ලි ජිවතුන් අතර නැහැ. හැබැයි මම එයාට ශුටින් අතරතුර පොඩි පොඩි වීඩියෝ පෙන්නලා තියෙනවා. එයා ඒවා දැකලා සතුටු වුණා. අද කොහේ හරි ඉඳන් එයත් මගේ දිහා බලන් ඇති. මට පවුලෙන් දෙන නිදහස තමයි මගේ මේ කලා ගමනේ සාර්ථකත්වය. මගේ අම්මා ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. එයා තමයි මට ගැළපෙන ලස්සන ඇඳුම් මහලා මාව ලස්සනට ගෙදරින් පිටත් කරන්නේ. තාත්තා මා එක්ක ඇවිත් මට ආරක්ෂාව දෙනවා. මගේ නංගිත් ඒ වගේම තමයි.


කලාව පමණ ද වෘත්තීය විදියට කරන්නේ?


දැනට පැසිපන්දු ක්‍රීඩාව සහ කලාව තමයි වෘත්තීය විදියට කරගෙන යන්නේ. ඉදිරියේදී මගේම කියලා ක්ලෝතින් බෑන්ඩ් එකක් කරන්න ඉන්නේ. මේ වෙද්දී හැමදේම එයට සුදානම් කරලා තියෙන්නේ. ලෝන්ච් කරන්න විතරයි තියෙන්නේ. හොඳම වෙලාව එනකම් ඉන්නවා.


නිහාරිට මේ අවුරුද්ද සුබයි වගේ?


එහෙමත් නැහැ. දුක සතුට දෙකම තියෙන අවුරුද්දක්. මොකද මගේ මල්ලි මේ අවුරුද්දේ මුල නැති වුණේ. තාමත් ඒ දුක තියෙනවා. ඒ එක්කම මගේ සිනමා නිර්මාණ දෙකක් මේ අවුරුද්දේ තිරගත වෙනවා. ඒ නිසා මගේ හොඳ කාලය සහ නරක කාලය දෙකම එකට ආවා කිව්වොත් නිවැරදියි.


චිත්‍රපට දෙකම එක ළඟ තිරගත වෙන්නේ, ප්‍රේක්ෂකයින්ට මොන වගේ ඇරයුමක් ද කරන්නේ?



සිනමා නිර්මාණ දෙකම බලන්න කියලා ආරාධනා කරනවා. ජූනි 27 ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටය තිරගත වෙනවා. ඒ එක්කම ජූලි මුල් සතියේ ඉඳන් සූර්යා බලන්න පුළුවන්. චිත්‍රපට දෙක තුළ මට ලැබුණේ එකිනෙකට වෙනස් චරිත. ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටය තුළ තියෙන්නේ අපි ආදරය කළ ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත ඇතුළත් ලස්සන ආදර කතාවක්. සූර්යා හි තියෙන්නේ අපි නොදන්නා වෙනස්ම කතාවක්. ඒ නිසා චිත්‍රපට දෙකම ඇවිත් බලන්න කියලා බොහොම ආදරයෙන් ආරාධනා කරනවා.

gossiplanka image 1
Previous Post Next Post