
දෙමව්පියන්ගේ සතුට ගැන හිතලා දරුවො ගන්න තීරණවලදි දරුවන්ගේ ජීවිත කොච්චර දුරට වෙනස් වෙනවාද යන පදනමේ ඉඳලා මම ගොඩනගපු කතා සංකල්පයකට අනුව ගයනි ආසිංසලා පියදිගම තිර රචනය කරපු අධ්‍යක්ෂණයෙන් ෂාන් ජයරත්න සහ නිෂ්පාදනයෙන් රුෂාන් පෙරේරා මැදිහත්වෙලා නිර්මාණය කරපු ටෙලි නාට්‍යයක් තමයි වීදුරු තිර කියන්නෙ. කොටස් 35 න් සමන්විත වීදුරු තිර මේ තාක් ටෙලි නාට්‍යයකින් හෝ සිනමා පටයකින් ඉදිරිපත් නොකරපු සමාජ මතභේදයට තුඩුදෙන වෙනස් විදිහෙ කතාවක්.
වීදුරු තිර සමගින් ශලනි තාරකාත් හොඳ කතාකාරියක් බවට පත් වෙනවා. ඇය කතාකාරියක් වූ කතාව දැනගන්න බොහෝ දෙනෙක් කැමැති ඇති...
ඉස්සර ඉඳලා මම ගී පද රචනා, නිසඳැස් සහ කතා ලිව්වා. මට අදහසක් තියනවා ඉදිරි කාලයේදි ටෙලි නාට්‍ය තිර රචනාවක් ලියන්න. ඒ සඳහා මුලපිරීමක් විදිහටයි මුලින්ම කතා සංකල්පයක් ගොඩනගලා අත්හදා බලන්න හිතුවෙ. වීදුරු තිර ටෙලි නාට්‍යයේදි කතා සංකල්පය විතරක් නෙමෙයි නළුවරණයද මෙහෙයවමින් නිෂ්පාදන ක්‍රියාවලියටත් මම සම්බන්ධ වුණා. වසර ගණනාවක් තිස්සේ රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරන කෙනෙක් විදිහට අනිත් නළු නිළියන්ගේ රංගන හැකියාව පිළිබඳ මට අවබෝධයක් තියනවා. ඉතින් පිටපතේ තියන චරිතවලට නළු නිළියන්ගේ හැකියාව සංසන්දනය කරමින් චමීර ලියනගේ, චතුරංග කොඩිතුවක්කු, අකිල ධනුද්ධර ප්‍රධාන චරිතවලටත් මාදනි මල්වත්තගේ, නිරෝෂන් විජේසිංහ, කුසුම් රේණු, හිමාලි සයුරංගි, මීනා කුමාරි, ධනංජි තාරුකා, හර්ෂණ බෙත්මගේ, කවිදු මදුශාන් අතිරේක චරිතවලටත් තෝරගත්තා.
ඇය ප්‍රධාන නළුවන් ලෙස තෝරාගන්නේ වෙනස් චරිත දෙකක්. එක නාට්‍යයක් තුළ මීට පෙර හමු නොවූ දෙදෙනෙක්. චමීර හා අකිල තෝරාගැනීම ගැන ශලනි තුළ ඇත්තේ මෙවන් අදහසක්...
වීදුරු තිර කතා සංකල්පය ගොඩනගපු ගමන් ඉස්සෙල්ලම මම මේ සඳහා රඟපාන්න ආරාධනා කළේ චතුරංග කොඩිතුවක්කුට. පහුගිය කාලෙ විකාශය වුණ See you ටෙලි නාට්‍යයේදි චතුරංග මගේ සහෝදරයා විදිහට රඟපාපු නිසා ඔහුගේ රංගන හැකියාව මම අඳුරගත්තා. නවකයෙක් වුණත් ඔහුට හොඳ රංග පරාසයක් තියනවා. වීදුරු තිර ටෙලි නාට්‍යයේ චතුරංගගේ චරිතය රංගන ක්ෂේත්‍රයේ මේ තාක් ඔහු රඟ නොපාපු වෙනස් විදිහෙ චරිතයක්. චමීර ලියනගේ එක්ක මම ගිරිදේවි, Queen ඇතුළු ටෙලි නාට්‍ය කීපයකම රඟපාලා තියනවා. ක්ෂේත්‍රයේ ඉන්න නළුවො අතරින් තාත්ත්විකව රඟපාන්න පුළුවන් හොඳ රංග පෞර්ෂයක් තියනවා. ඒ වගේම රංගනයට ඔහු හුඟක් උනන්දුයි. අකිල එක්කත් මම කලින් ටෙලි නාට්‍යවල රඟපාලා තියනවා. චරිතය අධ්‍යයනය කරලා සියුම් විදිහට රඟපෑමේ හැකියාවක් අකිලට තියනවා. ඉතින් ඇත්තටම මම මේ තුන්දෙනාව ප්‍රධාන නළුවො විදිහට යොදාගත්තෙ රංගනයට තියන හැකියාව මත සහ රඟපාද්දි සුහදශීලි බැඳීමකින් එකමුතුව කටයුතු කරන නිසා.
වීදුරු තිර විකාශනයත් එක්කම සමලිංගිකත්වයට තැනක් දෙනවා කියන චෝදනාව නාට්‍යයට එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ශලනිගේ අදහස් දැන ගන්න බොහෝ දෙනෙක් කැමති ඇති කියලා අපි සිතනවා...
වීදුරු තිර පළමුවැනි කොටස විකාශනයේදීම ආපු විවේචනය තමයි මේ තුළින් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමක් කරන්න උත්සාහ කරනවා කියලා. නමුත් ඇත්තටම වීදුරු තිර තුළින් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමක්වත් ප්‍රසිද්ධ කිරීමක්වත් කරන්නෙ නැහැ. කවිඳු මදුශාන් රඟපාන චරිතයෙන් සමලිංගික ජීවිතයක් ගතකරන පුද්ගලයකුගේ අර්ථය ගෙනඑනවා. කවිඳු රඟපාන චරිතය සමාජයේ එදිනෙදා දකින්න ලැබෙන සාමාන්‍ය චරිතයක් මිසක කතාවට සමලිංගිකත්වය මුසුකිරීමක් කරපු උත්සාහයක් නෙමෙයි. ඇත්තටම වීදුරු තිර කියන්නෙ වටින පණිවුඩයක් සමාජයට ලබාදෙන හරවත් ටෙලි නාට්‍යයක්. කොටස් 18 ක් පමණ නරඹද්දි ප්‍රේක්ෂකයන්ට මෙහි අර්ථය වැටහෙයි. ඒ වගේම තවත් සමහරු විවේචන එල්ලකරලා තිබුණා අතරමගදි මම රංගනයෙන් අතෑරලා යයි කියලා සහ ඉදිරියෙදි විකාශය වෙද්දි මෙගා ටෙලි නාට්‍යයක් විදිහට දිගට ඇදෙයි කියලා. මේ වෙද්දි වීදුරු තිර සම්පූර්ණයෙන්ම රූගත කරලා ඉවරයි. උපරිම කොටස් 35 න් විතරයි විදුරු තිර සමන්විත වෙන්නෙ. ඒ නිසා දිගට ඇදීමක් හෝ මම අතරමගදි රංගනයෙන් අයින්වෙලා යාමක් සිද්දවෙන්නෙ නැහැ.
ශලනි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමත් සමගම බොහෝ දෙනෙක් කියන්න අරගෙන තියෙනවා ශලනි රඟපාලා ඉවරයි කියලා...
නිළියක් විදිහට තවම මගේ භූමිකාව ඉවර නැහැ. රඟපාන අතරතුරයි මම නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වුණේ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ චරිතාංග නිළියක් විදිහට මම විවිධ චරිත රඟපෑවා. ඒ වෙනුවෙන් හොඳම නිළියට සහ ජනප්‍රියම නිළියට හිමි සම්මානත් ලැබුණා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ආපු ගමන ගැන මම තෘප්තිමත් වෙනවා. නමුත් සිනමාවේදි මට ඒ තරම් ඉදිරියට යන්න හැකිවුණේ නැහැ. ඒ සඳහා බලපෑවෙ මගේ රංග පරාසයට ගැළපෙන චරිත සහ ප්‍රමිතියෙන් ඉහළ හොඳ චිත්‍රපට නොලැබීම. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේදි දක්ෂතා ඉදිරිපත් කරමින් ඉදිරියට ගියා වගේ සිනමාවෙත් චරිතාංග නිළියක් විදිහට ඉදිරියට යන්න බලාපොරොත්තුවක් මට තියනවා. ඒ බලාපොරොත්තුව යථාර්ථයක් කරමින් ක්‍රිස් ඇන්තනි අධ්‍යක්ෂණය කරපු unlock සහ ෂාන් ජයරත්න අධ්‍යක්ෂණය කරපු සරා සුසුම් චිත්‍රපටවල රංගනයට මම පහුගිය දවස්වල සම්බන්ධ වුණා. ටෙලි නාට්‍යවලින් චරිතාංග නිළියක් විදිහට ප්‍රේක්ෂකයො මාව දකිනවා වගේම සිනමාවේත් වෙනස් දෙයක් කරපු රංගන ශිල්පිනියක් විදිහට රිදී තිරයෙන් ඉදිරියෙ දි මාව දකින්න පුළුවන්.
නිළියකට ක්ෂේත්‍රය තුළ කාලයක් තමන්ගේ නම එක ලෙසට තියාගෙන ඉන්න එක ලෙහෙසි පහසු කාරණයක් නෙවේ. නමුත් ශලනි තාමත් ප්‍රේක්ෂකයන් ඉල්ලන නිළියක් ලෙස ඉදිරියෙන් සිටිනවා. මේ ගැන තහවුරු කරගන්න එක ලේසි වැඩක් වුණේ නැහැ කියලා තමා ඇය කියන්නේ...
රංගනය වෘත්තිමය ලෙස සිදුකිරීම, රංගනයට ගරු කිරීම සහ රංගනයේ අලුත් පරාසයන් සොයායාමට තිබුණ උනන්දුව මත මට ක්ෂේත්‍රයේ ස්ථාවර තැනකට එන්න ලැබුණා කියලා විශ්වාස කරනවා. මම වගේම තවත් දක්ෂ නළු නිළියො බිහිවෙලා රංගනය ක්ෂේත්‍රය තවත් දියුණු වෙනවා දකින්න මම කැමැතියි. නිළියන් අතරින් රංගනයට හැකියාව තියන කීප දෙනෙක්ම මේ වෙද්දි රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා කියලා මම දකිනවා. නමුත් ඔවුන්ට ඒ ඉලක්කයට තාම හරියාකාරව යන්න බැරිවෙලා තියනවා කියලයි මම හිතන්නෙ. ඒ සඳහා රංගනය වෘත්තීමය ලෙස සිදුකිරීම, ක්ෂේත්‍රයේ ඉන්න ශිල්පීන් එක්ක සහ ප්‍රේක්ෂකයො එක්ක විනයක් ඇතුව ගනුදෙනු කරන ආකාරය තමන්ගේ පැවැත්ම සඳහා බලපානවා. මේ දේවල් හරි විදිහට පිළිපදින අයට සාර්ථක නිළියක් විදිහට ක්ෂේත්‍රයේ පැවැත්ම ගෙඩනගාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. 
