මම හිතන්නෙ ඒක මගේ වාසනාවක්-එස්.අයි. සමරක්කොඩි

gossiplanka image 2
එස්.අයි. සමරක්කොඩි කියන්නේ කලා ලොවේ වෙනස් විධියේ හැඩ මවන චරිතවලට පණ පොවන ප්‍රේක්ෂක හදවතට කතා කරන දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල ටෙලි නාට්‍ය තුනකින් වෙනස්ම විධියෙ චරිත තුනකින් රසික ආදරය නොඅඩුව දිනාගන්නා ඔහු කාටත් හුරුපුරුදු බව නම් නොරහසක්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඔහුගෙන්.


මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?


මේ දවස්වල ටෙලි නාට්‍ය පහක ෂූටින් යනවා. ඒ අතරින් ටෙලි නාට්‍ය තුනක් දැනට විකාශය වෙනවා. සසංකාරා ටෙලි නාට්‍යයේ ඩෙංකුටුවාගේ චරිතයත්, මායාවී ටෙලි නාට්‍යයේ සපුමල් විදිහටත් හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ තිලක් මාමා විදිහටත් රංගනයෙන් දායක වෙනවා.


වෙනස්ම චරිත තුනකින් ටෙලි නාට්‍ය කිහිපයකින් රංගනයේ යෙදෙන ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර ඉතාම හොඳයි. හැමෝම කියන්නේ චරිත තුනටම උපරිම සාධාරණයක් කරනවා කියලා තමයි. මොකද මම ඉන්නෙ නාළිකා තුනක විකාශය වන ටෙලි නාට්‍යය තුනක. ඒ නාළිකා තුනේ මම රංගනයෙන් දායක වෙන්නේ එකිනෙකට වෙනස් චරිත තුනකට. ඒ නිසා ලැබෙන ප්‍රතිචාරත් හොඳයි. ඒ වගේ අවස්ථා මට හිමිවෙන එක ගැනත් සතුටුයි. ඉතින් ටෙලි නාට්‍ය තුනේ එක එක තලවලනේ මට රංගනයේ යෙදෙන්න තිබෙන්නේ. රංගන ශිල්පියෙක් විදිහට මගේ කෑදරකමත් එකම විධියේ චරිත නැතිව එක එක තලවල චරිතවල ඇක්ට් කරන එකම තමයි. ඉතින් ඒ කෑදරකම සංසිඳවා ගන්න පුළුවන් විධියේ චරිතත් මට ලැබෙනවා.


ළඟදීම තිරගත වීමට නියමිත ඔබේ සිනමාපටය “හෙලෝ” ගැන කතා කරමු? 


ඒක ලංකාවේ පළමුවැනි වන් ටේක් චිත්‍රපටය. වන් ටේක් කියන්නේ ඇක්ෂන් කියලා කට් කියනකල්ම කිසිම දර්ශනයක් සංස්කරණය කරන්නේ නෑ. ඇක්ෂන් කියලා කට් කියනකොට ෆිල්ම් එකම ෂූට් කරලා ඉවරයි. එහෙම ෆිල්ම් ලෝකයේ තිබිලා තිබෙනවා. ලංකාවේ එහෙම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන පළමුවැනි වතාව තමයි මේ. ඒක විනාඩි 72ක් දිගයි. දැන් ඒ නිර්මාණයේ වැඩකටයුතු ඉවර කරලා ඉන්නවා.


මේ දිනවල ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් මායාවී ටෙලි නාට්‍යයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම මායාවී ටෙලි නාට්‍යයේ මම රංගනයේ යෙදෙන කොටස් විකාශය වෙලා වැඩි දවසක් නෑ. ඊට අමතරව සසංකාරා එකේ ඩෙංකුටුවාට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒක වෙනම වයිබ් එකක වැඩක්. මායාවී සපුමල්ගේ කොටස් විකාශය වෙන්න කලින් ට්‍රේලර්ස් දකින්න ලැබුණනේ. ඒකට පුදුම ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. මමත් ඒ වගේ වෙන හැඩයක චරිත රඟපාන්න ආසයි. ඒකට මට මුලින්ම කතා කළේ ලලිත් මහත්මයා, ඒ වගේම මහේෂ් රත්සර මද්දුමආරච්චි, සඳුන් රාජකරුණා සමඟත් කතා කළා. ඔවුන් එක්ක කතා කරලා චරිතයේ ස්වභාවය වටහාගෙන මම ඒ චරිතයට රංගනයෙන් දායක වෙනවා. මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා හිතෙනවා. 


ඔබ විවිධාකාර චරිත ඔස්සේ දකින්නට ලැබුණත් වර්තමානයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් එකම විධියේ චරිතවලට කොටුවන ස්වරූපයක් තිබෙනවා?


මම හිතන්නේ ඒක මගේ වාසනාවක් කියලා. අපිට කැමැති චරිත අපට රඟපාන්න බැහැ. මොකද අධ්‍යක්ෂ, නිෂ්පාදක, තිර රචක යන අයගෙන් අපට ඒ චරිතය රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්නෙ ඊට අවස්ථාව ලැබෙන්නේ. එක එක කැරැක්ටර්වලට රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරාගැනීමේදී වෙන වෙන හැඩවල චරිතවලට මම සුදුසුයි කියලා මට කතා කරනවා. ජානු ටෙලි නාට්‍යයේ අල්පොන්සු වෙනම චරිතයක්. වියළි ටෙලි නාට්‍යයේ මම දායක වුණේ ඊට වෙනස් චරිතයකට. ඉදිරියට තවත් වෙනස් විධියෙ චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න තිබෙනවා. ඇත්තටම මගේ ජීවිතයේ නළුවෙක් විදිහට මම රඟපාන්න ආශා කරපු විවිධාකාර චරිත ගොඩක් මට ලැබිලා තිබෙනවා. 


දැන් දැන් සමාජ මාධ්‍ය හරහා කලාව විචාරය මෙන්ම විවේචනයත් සිදුකිරීම ගැන ඔබේ අදහස?


කලාකරුවෙක් විදිහට අපට වැදගත් වෙන්නේ ප්‍රතිචාර තමයි. ඒ අනුව තමයි අපිට ඉදිරියට යන්න දිරිය ලැබෙන්නේ. ඉස්සර සමාජ මාධ්‍ය තිබුණේ නෑ. මම ඒ කාලයේ බොහෝ ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිත ගොඩකට දායක වුණා. ඒ කාලයේ රූපවාහිනිය බලන ප්‍රේක්ෂකයන් අතර විතරයි අපිව ජනප්‍රිය වුණේ. නමුත් දැන් මොන නාළිකාවේ රංගනයෙන් දායක වුණත් සමාජ මාධ්‍ය හරහා ඒකට ප්‍රතිචාර ලැබෙනවා. ඒ තුළ කලාව ගැන සවිඥානිකව ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ කමෙන්ට්ස් තෝරා බේරාගෙන අවධානයෙන් බලන්න ඕනෑ. මේ දවස්වල මායාවී ටෙලි නාට්‍යයේ චරිතයට බොහෝදෙනෙක් අදහස් දක්වලා සුබ පතලා තිබුණා. වේදිකාවේ රඟපාද්දී එවෙලෙම ප්‍රතිචාර ලැබෙනවා වගේ සමාජ මාධ්‍යය හරහා අද එපිසෝඩ් එක පළවෙද්දී අදම විනාඩි පහක් දහයක් යද්දී ප්‍රතිචාර ලැබෙනවා.


ශ්‍රී ලංකාවේ වර්තමාන වේදිකා නාට්‍යය අනාගතය ගැන ඔබේ අදහස?


වේදිකාවේ අනාගතය හොඳයි. මේ දවස්වල මම කුවේණි, කැලණි පාලම, හුණුවටේ කතාව වගේ ගොඩක් වේදිකා නාට්‍යයවල රඟපානවා. තව අලුතෙන් නාට්‍ය බොහොමයක් බිහිවෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙල, යෞවන නාට්‍ය උළෙල හරහා දක්ෂ නාට්‍යකරුවෝ ටිකකුත් ලංකාවට බිහිවෙනවා. නමුත් ඔවුන්ට ජාත්‍යන්තරයට යන්න තිබෙන අවස්ථාවල හිඟකමක් තිබෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම දැන් කැලණි පාලමෙත් අවුරුදු පහළොවක් විතර රඟපානවා. ඉතින් වේදිකාවේ සජීවීභාවය නැතිවෙන්නේ නෑ.


ආදරය හා විවාහය ගැන ඔබේ කියැවීම? 


ආදරයයි විවාහයයි කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ දේ එක එක්කෙනාට දැනෙන විදිහ සහ විඳින විදිහ වෙනස්. 


ඔබට එදත් අදත් සරල නිහතමානී චරිතයක් ලෙසින් රසික ආදරය ලැබෙනවා? 


ඇත්තටම වියළි නාට්‍යයේ මම දායක වූ චරිතය ඉතා අමාරු චරිතයක්. ඒ චරිතයට හැර සම්මාන උළෙලේදී අනෙක් හැමෝටම සම්මාන, කුසලතා ලැබුණා. ඒ ගැන බොහෝදෙනෙක් මගෙන් ඇහුවා. මම කීවේ සම්මානය නෙවෙයි අපට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය තමයි වැදගත් කියලා. ඒ ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ. ඒ ආදරය ලංකාවේ කොතැනකට ගියත් නොඅඩුව මට ලැබෙනවා.  


ඔබ හා බිරිය පසුගිය කාලයේ ආරම්භ කළ ව්‍යාපාරය ගැනත් කියමු? 


ඔව්. ඇය හඳපාන්ගොඩ සැලෝන් එකක් පටන් ගත්තා. එතැනම එහා පැත්තේ පූජා භාණ්ඩ විකුණන මගේ පූජා භාණ්ඩ කඩයක් තිබෙනවා. ඒ දෙක තමයි දැනට ව්‍යාපාර විදිහට තිබෙන්නේ. ඉතින් මගේ බිරියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇය තමයි මගේ විචාරකයා. 


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


දැනට ටෙලි නාට්‍ය පහක හයක රූගත කිරීම් කරගෙන යනවා. තවත් රූගත කිරීම්වලට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ සියල්ලම බැලන්ස් කරගෙන රැකියාවකුත් කරනවා. මේ අවුරුද්දේ මගේ ලොකුම බලාපොරොත්තුව “හෙලෝ චිත්‍රපටය” ප්‍රදර්ශනය කිරීම තමයි.


රුවිනි අමරකෝන්

gossiplanka image 1
Previous Post Next Post