
“කපුටු කොහෝ” සිනමා නිර්මාණයේ ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ප්‍රතිචාර ඉතාමත් හොඳයි. මේ සිනමා නිර්මාණය නරඹපු ප්‍රේක්ෂකයෝ අතරින් මට ගොඩක්ම ප්‍රතිචාර ලැබුණේ පුංචි ළමයින්ගෙන්. අපේ රටේ අම්මලා, තාත්තලා ඔවුන්ගේ පුංචි පැටව් එක්ක ඉඩක් ලැබෙන වෙලාවට මේ චිත්‍රපටය බලන්න එනවා. ඉතින් ඔවුන්ට ගොඩක් ස්තුති කරන්න ඕනෑ. ඒ වගේම වැඩිහිටියන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චිත්‍රපටය නරඹලා ප්‍රතිචාර දෙන හැමෝම අනෙක් අයට කියන්නේ මේක අනිවාර්යයෙන්ම නරඹන්න කියලා තමයි. මොකද සෝමරත්න දිසානායකයන්ගේ අනෙකුත් නිර්මාණ තරම් තවම කපුටු කොහෝ සිනමා නිර්මාණය ජනගත වෙලා නැති බවක් පෙනෙනවානේ. ඉතින් ඒ ජනගත වීම අඩු බවක් පෙනෙන නිසා සමහර අය ලොකු උනන්දුවක් මේ ගැන දක්වන්නේ නැති බවක් පෙනෙනවා. නමුත් මේ චිත්‍රපටය බැලුවොත් මේක කොයිතරම් ජනගත වෙන්න ඕනෑ නිර්මාණයක්ද කොයිතරම් හොඳ පණිවිඩයක්ද මෙයින් දෙන්නෙ කියන දේ තේරෙනවා.
වේදිකා නාට්‍යයක් අනුසාරයෙන් නිර්මාණය කළ චිත්‍රපටයක රංගනයේදී මුහුණදුන් අභියෝග ගැනත් කියමු?
අපේ ලාංකිකයන්ට මේක අලුත් අත්දැකීමක්. ඇත්තටම වේදිකාව කියන දේ මට නුහුරු තැනක් නෙවෙයි. මොකද මගේ ගමන ආරම්භ කළේ මම පාසල් යන කාලයේදී වේදිකාවෙන්. ඉතින් වේදිකාවක ඒ තිබෙන පරිශ්‍රය භාවිත කරන ගමන් අපි කැමරාවක් එක්ක මුහුවෙනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. මොකද අපි මේ වේදිකාවක රංගනයේ යෙදුණට අපිව බලන්නේ වේදිකාව ඉදිරිපිට ඉන්න ප්‍රේක්ෂක පිරිසක් නෙවෙයි. මෙතැනදී අපිව බලන්නේ පුළුල් තිරයකින්. හැමවෙලේම ඒ දේ මතක තබාගන්න ඕනෑ. වේදිකාව හරිම කුඩා පරිශ්‍රයක්. එතැන අපි අපේ රංගන කාර්යය, නර්තනය, ගායනය ලස්සනට හසුරුවන්න ඕනෑ. ඒ වගේම භාව ප්‍රකාශන වේදිකාවකට වඩා සජීවීව කැමරාවට පෙනෙනවා වැඩියිනෙ. පුළුල් තිරයක බලද්දී කූඹියත් ලොකුවට පෙනෙනවා. හරි සැලකිලිමත්ව තමයි මේ කාර්යය කළේ. දේශීය නර්තනය, ගායනය, වාදනය වගේ සාමාන්‍ය සිනමා නිර්මාණයක නොමැති ගොඩක් අංග මේ නිර්මාණයේ ඇතුළත් වුණා. ඒ පුහුණුවීම් එක්ක මේ නිර්මාණය අභියෝගයක් වුණා. නමුත් පුහුණුවීම් සහ හැමෝගෙම කැපවීම, උනන්දුව එක්ක අභියෝගය සාර්ථකව ජය ගත්තා.
“කපුටු කොහෝ” ලාංකේය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලෙස වැලඳ ගත්තේ කොහොමද?
හැමෝම මේ නිර්මාණය දැක්ක ගමන් හිතන්නේ මේක වේදිකා නාට්‍යයක් කියලා. මේක ඇත්තටම පරීක්ෂණයක්. අපේ ලංකාවට මේ දේ අලුත් වුණාට මේ වගේ නිර්මාණ ලෝකය පුරා දකින්න පුළුවන්. විදේශ රටවල බැලේ නර්තනාංග, සමහර නාට්‍ය ඔවුන් පුළුල් තිරවල බලනවානෙ. ඔවුන් ඒ දේවල්වලට ආශා කරනවා. ඇත්තටම මේක ලංකාවට අලුත් දෙයක්. නමුත් මේක සෝමරත්න සර් ඉගෙනගත්ත දෙයක් හරහා කරපු අත්හදාබැලීමක්. සෝමරත්න සර්ගේ අධ්‍යක්ෂණය නම් බොහොම සාර්ථකව කරලා තිබෙනවා. අපිත් අපේ පුළුවන් උපරිම සහයෝගයෙන් මේ නිර්මාණය ලස්සන කරන්න දායක වුණා. මේක අලුත් දෙයක් කියලා හිතලා බලන පිරිසක් ඉන්නවා. මම නම් කියන්නේ මේ නිර්මාණය සමාජයට හොඳ ආදර්ශයක් දෙන ලස්සන පණිවිඩයක් දෙන කතාවක්. ඉතින් හැමෝම මේ නිර්මාණය බලන්න එනවා නම් මම හරිම කැමැතියි.
වර්තමානයේ බොහෝ යුවතියන් වයිට්නින්ග් උන්මාදය පසුපස හඹා යෑම ගැන ඔබේ අදහස?
ඇත්තටම මම ජනප්‍රිය වෙන්න එක හේතුවක් වුණේ මගේ කැරැලි කොණ්ඩය සහ මගේ හමේ පැහැය. සිංහබාහු චිත්‍රපටය ආපු මුල් කාලයේ මාව ප්‍රේක්ෂකයෝ කමෙන්ට්ස් තුළ හඳුන්වලා තිබුණෙත් කැරැලි කොණ්ඩයක් තිබෙන අර තලෙළු කෙල්ල කියලා. මට ඒක ලොකු ආභරණයක් වුණා. මගේ ස්වාභාවික පෙනුමට තමයි හැමෝම ආදරය කළේ. මගේ අම්මා වුණත් මට කියන්නේ ඔයා මේ ස්වාභාවික පෙනුම රැකගන්න ඕනෑ කියලා. අපිට උපතින් ලැබුණු සුන්දරත්වය ස්වාභාවික දේවල් කරලා රැකගන්න පුළුවන්. නමුත් කෘත්‍රිම දේවල්, වයිට්නින්ග් ක්‍රීම් සමට ගොඩක් හානිකරයි කියලා වෛද්‍යවරු පර්යේෂණ කරලා පෙන්වලා දීලා තිබෙනවා. ඉතින් හානිකරයි කියලා දැනගෙනනෙ මේ දේවල් සමහර අය පාවිච්චි කරන්නේ. මම නම් කියන්නේ තමන්ට හානියක් නොවන විධියට තමන්ට කැමැති විධියට ලස්සන වෙන්න ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා. හැමෝම ලස්සනට ඉන්න කැමැතියි. මම නම් පෞද්ගලිකව කැමැති නැචුරල් විධියට ඉන්න තමයි. මම අදටත් මගේ අම්මා හදලා දෙන තෙල් එක තමයි කොණ්ඩයට ගාන්නේ.
බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් කෙටි කලෙකින් ජනප්‍රියත්වයට පත් වුවද ක්ෂේත්‍රයේ රැඳෙන්නේ නැහැ නේද?
මම හිතන්නේ මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් කැපවීම, ඉවසීම, නිහතමානත්වය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම අපි මේ දේ ඉගෙන ගන්න ඕනෑ. අපිට ලැබෙන අවස්ථා සමහර වෙලාවට එකපාරම හම්බෙනවා. සමහර අවස්ථා අපි කට්ට කාලා, කැපවීම් කරලා ලබා ගන්නවා. අපි ඒ වගේ අවස්ථා ලැබුණම ඒවා රැකගන්න ඕනෑ. මේ විෂයට අපි ගරු කරන්න ඕනෑ. මතුපිටින් බලලා මේ ක්ෂේත්‍රයට ගොඩක් අය බනිනවානෙ. නමුත් මේක ලෝකයක් පිනවන්න පුළුවන් ලෝකයටම ගොඩක් දේවල් දැනුම් දෙන්න පුළුවන් විෂයක්. අපි මේ විෂය ඉගෙනගෙන ක්ෂේත්‍රයට එන්න ඕනෑ.
ඔබ රංගනය පිළිබඳව කළ හැදෑරීම් පිළිබඳවත් කියමු?
මම පාසලේ ඩ්‍රාමා ඉගෙන ගත්තා. ඊට පසුව මම විවිධ වැඩමුළුවලට සහභාගි වෙලා ඒ දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මම අනෝජා වීරසිංහයන් යටතේත් රංගනය හැදෑරුවා. මම මේ ගැන ඉගෙනගෙන තමයි ක්ෂේත්‍රයට එකතු වුණේ. මොකද ලංකාව තුළ අපිට කැම්පස් එකක ඇරුණම වෙනම විශේෂ තැනක් රංගනය, සිනමාව ගැන ඉගෙන ගන්න නැහැනේ. නමුත් අපිට රංගන වැඩමුළුවලට වගේ දේවල්වලට සහභාගි වෙලා අත්දැකීම් එකතු කරගන්න පුළුවන්. ඒ විධියට කැපවීමෙන්, ඉවසීමෙන් නිහතමානීකම රැකගෙන හිටියොත් මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න පුළුවන් කියන දේ තමයි මගේ මතය.
ඔබ ඔබේ රංගන කුසලතා දිනෙන් දින වැඩිදියුණු කරගන්නේ කෙසේද?
මම මගේ උපාධිය හදාරන්නේ මනෝවිද්‍යාව හරහා. නමුත් ඊට පස්සේ මම විදේශ ගතවෙලා රංගනය හදාරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. තවම මට අවුරුදු විස්සයිනේ. මම මගේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් දේවල් බලලා ඉගෙන ගන්නවා. ඔවුන් නිහතමානීව ඔවුන්ගේ දැනුම අපට දෙනවා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම චිත්‍රපට බලනවා. ඉස්සර කාලයේ චිත්‍රපට, ටෙලි නාට්‍ය බලලා අපට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබෙනවා. ඒ වගේම පොත් කියවනවා. ඉදිරියේදී සිනමාව ගැන වැඩිදුර හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කරමු?
මේ දවස්වල කපුටු කොහෝ සිනමා නිර්මාණය තිරගත වෙනවා. ඒත් එක්කම තව නොබෝ දිනකින් මං හොයන්නේ ප්‍රේමයක් කියන නිර්මාණය නරඹන්න පුළුවන්. ඒක තිලිණ බොරලැස්ස අයියගේ අධ්‍යක්ෂණයක්. දර්ශන් තවරාජා සමඟ තමයි මම ඒ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන්නේ. ඒක හරිම ලස්සන ආදර කතාවක්. තවත් නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. හොඳ නිර්මාණ තෝරාගෙන ඒවායින් ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
