
කූඹියෝ ටෙලිනාට්‍යයෙන් පස්සෙ ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කරපු වාලම්පුරි චිත්‍රපටයට තුමිඳු සම්බන්ධ වුණේ කොහොමද ?
ලක්මාල් රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරපු 2010 වසර කාලයේ ඉඳලා ලක්මාල්ගෙත් මගේත් මිත්‍රත්වය පටන්ගත්තෙ. ඉතින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ලක්මාල් තබපු පළමු පියවර, කූඹියෝද ටෙලිනාට්‍යයේ ප්‍රධාන නළුවා වෙන්න මට අවස්ථාව ලැබුණා. ටෙලිනාට්‍ය නොබලා හිටපු ප්‍රේක්ෂකයන්ව ආපහු ටෙලිනාට්‍යය බලන්න හුරු කරවපු ඉහළ ප්‍රමිතියෙන් සහ රසාස්වාදයෙන් සමන්විත වුණු කූඹියෝ ටෙලිනාට්‍යයෙන් පස්සෙ ලක්මාල්ට ඕන වුණා චිත්‍රපට ක්ෂේත්‍රය හරහාත් ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් එක්ක රසාස්වාදය කුතුහලය පිරුණු සිනමා අත්දැකීමක් සමීප කරන්න. ඉතින් ඒ සඳහා ලක්මාල් මට ආරාධනා කළා.
වාලම්පුරි මොනවිදිහෙ චිත්‍රපටයක්ද ?
කෝටි ගාණක් වටින වාලම්පුරියක් තේමා කරගත්ත කතාවක් තමයි වාලම්පුරි චිත්‍රපටයේ අන්තර්ගතවෙලා තියෙන්නෙ. මේ වාලම්පුරිය සමග හැලහැප්පීම්වලට ලක්වෙන මිනිස්සුන්ගේ ජීවිත ගැන කතා කරන කුතුහලය රසාස්වාදය පිරුණු ත්‍රාසජනක චිත්‍රපටයක් තමයි වාලම්පුරි කියන්නෙ.
තුමිඳුගේ චරිතය මොකක්ද ?
තරුණ ප්‍රජාව නියෝජනය කරමින් ගමක ජීවත්වෙන මනුස්සයකුගේ චරිතයකුයි මම වාලම්පුරි චිත්‍රපටයේ රඟපාන්නෙ.
අනිත් නළුනිළියො සමග වාලම්පුරි චිත්‍රපටයේ රඟපාපු අත්දැකීම කොහොමද ?
වාලම්පුරි චිත්‍රපටය සාර්ථක කරගන්න ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂම නළුනිළියො මේ සඳහා ලක්මාල් යොදාගෙන තියනවා. ඒ අතරින් හැමදාම ලාංකීය සිනමාවට තරු ගුණයෙන් වටිනාකමක් එක් කරපු දිල්හානි ඒකනායක සමග මට පළමු වරට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තාත්වික රංගනයේ සංකේතය වගේ ඉන්න ප්‍රියන්ත සිරිකුමාර සමග මට හොඳ සුසංයෝගයකින් රඟපාන්න ලැබුණා. වසන්ත මොරගොඩ, සරත් කොතලාවල, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, අංජන ප්‍රේමරත්න ඇතුළු සියලුම දක්ෂ නළුනිළියො එක්ක වාලම්පුරි චිත්‍රපටයේ රඟපාන්න ලැබීම මගේ රංගන ජීවිතයට වටිනාකමක් එකතු කරපු අත්දැකීමක් වුණා.
කූඹියෝ සහ වාලම්පුරි එකට ගැටෙයිද ?
වාලම්පුරි චිත්‍රපටය කූඹියෝ ටෙලිනාට්‍යයට කිසිසේත්ම සම්බන්ධ නැහැ. නමුත් කූඹියෝ තුළ තිබුණ රසාස්වාදය, කුතුහලය, ත්‍රාසජනකබව, තාත්වික රංගනය රිදී තිරය හරහා වාලම්පුරි චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. ඒ නිසා කූඹියෝ සහ වාලම්පුරිවල තත්ත්වය ගැටීමක් වෙයි කියලා මම හිතන්නෙ නැහැ.
කූඹියෝ දෙවෙනි කොටස ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් කවදද ?
කූඹියෝ පළවෙනි කොටස නිර්මාණය කරලා රූපවාහිනී නාළිකාවක විකාශය කරන්න අවස්ථාව ලබා ගන්න අවුරුදු ගානක් ගත වුණා. වාලම්පුරි චිත්‍රපටයත් නිර්මාණය කරලා සිනමාශාලාවල තිරගත කරන්න අවුරුදු කීපයක් ගත වුණා. හොඳ නිර්මාණ ඉක්මනින් එළියට දාන්න බැරි තත්ත්වයක් ලංකාවෙ පද්ධතිය තුළ තියනවා. ඒ විදිහෙ ප්‍රමාදයකින් තොරව කූඹියෝ දෙවෙනි කොටස නිර්මාණය කරපු සැණින් ප්‍රේක්ෂකයන්ට නරඹන්න දෙන්න ඕන කියන අදහසිනුයි අපි ඉන්නෙ. ඒ වෙනුවෙන් ලක්මාල් ඇතුළු කූඹියෝ නිෂ්පාදක කණ්ඩායම කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඉදිරියේදි කූඹියෝ දෙවෙනි කොටසේ රූගතකිරීම් කටයුතු කරලා ලබන අවුරුද්දේදි විතර ප්‍රේක්ෂකයන්ට නරඹන්න ලබාදෙන්න පුළුවන් වෙයි කියන අදහසකින් මම ඉන්නවා.
කූඹියෝ පළවෙනි කොටසේ තිබුණ ප්‍රමිතිය දෙවෙනි කොටසේ රඳවා ගන්න පුළුවන් වෙයිද ?
කුඹියෝ පළවෙනි කොටසේ තිබුණ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය දෙවෙනි කොටසෙ රඳවා තබාගන්න බැරි නම් ලක්මාල් ඇතුළු නිෂ්පාදක කණ්ඩායමවත් නළුනිළියොවත් දෙවෙනි කොටස නිර්මාණය කරන්න වෙහෙසෙන්නෙ නැහැ. අපි සියලුදෙනාගේම අරමුණ කූඹියෝ පළවෙනි කොටසටත් වැඩිය ඉහළ ප්‍රමිතියෙන් ගුණාත්මකභාවයෙන් සහ රසාස්වාදයෙන් කූඹියෝ දෙවෙනි කොටස නිර්මාණය කරන්න.
ලංකාවෙන් එළියට ගිහින් තුමිඳු එංගලන්තයේ ගෙවන ජීවිතය කොහොමද ?
මේ දවස්වල මම ඉන්නෙ එංගලන්තයේ aylesbury නගරයේ. නාට්‍යය හා රංග කලාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගන්නයි මම එංගලන්තයට ආවෙ. මගේ බිරිඳත් දරුවත් මාත් එක්ක එංගලන්තයේ පදිංචිවෙලා ඉන්නවා. මේ වෙද්දි මගේ අධ්‍යාපන කටයතු අවසන් අදියරේ තියෙන්නෙ. අධ්‍යාපනය අවසාන කරලා ආචාර්ය උපාධිය ලබාගත්තට පස්සෙ පවුලෙ අයත් එක්ක ආපහු ලංකාවේ පදිංචියට එනවා. 
