
කාලෙකට පස්සේ සීසෝ හරහා ඔබ සහ බිමල් දෙදෙනාම එකවර ප්‍රේක්ෂකයා හමුවට එනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම සීසෝ නාට්‍යයට විවිධ ආකාරයේ ප්‍රතිචාර ලැබෙනවා. සමහරු කැමැති නැහැ මම ඒ වගේ චරිතයක් කරනවට. තවත් සමහරු කැමැති නැහැ මම ලොකු ළමයෙක්ගේ අම්මා කෙනෙක්ගේ චරිතයක් කරනවට. ඒ වගේම තවත් පිරිසක් බිමලුයි මමයි තරහකාරයෝ වගේ රඟපානවට කැමැතිත් නැහැ. ඔය වගේ විවිධ ප්‍රතිචාර තිබෙනවා. ඒ වගේම සීසෝ නාට්‍යය වැලඳගත්ත ප්‍රේක්ෂකයන් පිරිසකුත් ඉන්නවා. සමහර වෙලාවට ඔවුන් ඒ චරිතයේ මටවත් හිතාගන්න බැරි ඩීටේල්ස් ගැන කතා කරනවා. ඇත්තටම මටත් මගේ ජීවිතයේ කාලයකට පස්සේ පුළුල් රංගන පරාසයක් ඇතුළේ රඟපාන්න අවස්ථාව ලැබෙන චරිතයක්. ඔය කාරණා ඔක්කොම ගත්තම මමත් ඇත්තටම ආසාවෙන් රඟපාපු චරිතයක් තමයි ඒ.
ඇෆ්‍රෝඩයිට් මල් කොල්ලය නැවත වේදිකා ගත වෙනවා, ගැහැනු නව දෙනෙක්ගේ මේ වික්‍රමය මොන වගේ අත්දැකීමක්ද?
අපි 2023 තමයි ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය පටන් ගත්තේ. ඒත් ගිය අවුරුද්දේ මැදදි වගේ කාර්යබහුලකම නිසා අපිට නාට්‍යය වේදිකා ගත කරන එක පොඩ්ඩකට නවත්තන්න වුණා. ඉතිං විරාමයකට පස්සේ අපි ආපහු එළැඹෙන ජුනි මාසේ 13,14,15 සුදර්ශි ශාලාවේ එළිමහන් රංග පීඨයේ නාට්‍යය වේදිකා ගත කරන්න සූදානමින් ඉන්නවා.
ගැහැනුන්ට එකට වැඩ කරන්න බෑ කිව්වට ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය ගැහැනුන්ගේ වැඩක්?
ඔව්, ඇෆ්‍රෝඩයිට් මල් කොල්ලය කියන්නේ කාන්තාවන් 9 දෙනෙක්ගේ වැඩක්. මගේ වෘත්තිය ජීවිතය තුළ ටෙලි නාට්‍යයකින්වත්, චිත්‍රපටයකින්වත් හම්බුණේ නැති ලොකු අත්දැකීම් සම්බාරයක් මට මේ වේදිකා නාට්‍යයෙන් ලැබුණා. ඇත්තටම ඇෆ්‍රෝඩයිට් මල් කොල්ලය කියන්නේ මට රංගන පාසලක් වගේ. සමාජයේ මතයක් තියෙනවනේ කාන්තාවන්ට එකට වැඩ කරන්න බැහැ කියලා. හැබැයි මේ තාක් කාලය පුරා මේ කාන්තාවන් හැමෝම කිසිම අර්බුදයක් නැතුව ගල් කණු නවයක් වගේ හිටගෙන ඉන්නවා. අද වෙනකම් අපි අතරේ කිසිම විධියක ගැටලුවක් ඇති වෙලා නැහැ. ඇත්තටම මෙහි මොනතරම් ප්‍රවීණයන් හිටියත් ඔවුන් දෙයක් කරද්දි අපෙනුත් අහනවා. 9 දෙනාම එක මතයකට ඇවිත් තමයි සියල්ල සිදු කරන්නේ. මෙහි සාර්ථකත්වයටත් හේතුව ඒකම වෙන්න ඇති.
තේජා චිත්‍රපටයත් ඒ වගේ කාන්තාව මූලික කරගත් නිර්මාණයක් නේද?
තේජා කියන්නේ මීට අවුරුදු 16 කට කලින් රූගත කළ නිර්මාණයක්. ඒ වගේම ඒ චිත්‍රපටය එක කාලයකදී වාරණයට ලක්වෙලා තිබිලා තියෙනවා. නමුත් මම පෞද්ගලිකව කනගාටුවෙනවා එවැනි චිත්‍රපටයකට ලැබුණු ප්‍රතිචාර ගැන. මම දන්නේ නැහැ ඒක කාගේ ප්‍රශ්නයක්ද කියන එක. ඒත් තේජා බැලුවම මට හිතුණේ මෙවැනි චිත්‍රපට එහෙම හැංගිලා යන එක අපරාදේ කියලා. මේ අවුරුද්ද පුරාම කාන්තාවන්ගේ නම් ලොකුවට කතාබහට ලක් වෙනවා. ඒ වගේ කාලයකදී තේජා චිත්‍රපටයෙන් කතා වෙන මාතෘකාව වුණත් මේ ලංකාවේ අයට ගොඩාක් වැදගත් මාතෘකාවක්.
තේජා බහුතරයකගේ අවධානයට ලක් නොවී සැඟවිලා ගියා කියලා හිතෙන්නේ නැද්ද?
එක අතකින් දුකක් තියෙනවා මේ චිත්‍රපටය මෙහෙම හැංගිලා යන එක ගැන. ඇත්තටම මට ඒ සම්බන්ධයෙන් කිසි කෙනෙක්ගෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ගොඩක් අය එහෙම චිත්‍රපටයක් ඇවිල්ලා කියලාවත් දන්නේ නැහැ. ප්‍රචාරණය පැත්තෙනුත් මදි බවක් හිතෙනවා. කොහොම වුණත් මට හිතෙනවා චිත්‍රපටය වාරණයට ලක් වුණු කාලයේදී වගේම දැනුත් අසාධාරණයට ලක් වුණා කියලා.
මේ දවස්වල ප්‍රේක්ෂකයන් කලා නිර්මාණවලට වැඩි උනන්දුවක් දක්වන බව පේනවා. ඒක මොන විධියටද අපේ කලාවේ අනාගතයට බලපාන්නේ?
මීට දශක කිහිපයකට කලින් වේදිකාව කියන්නේ අතිශය දැවැන්ත මාධ්‍යයක්. නමුත් කාලයත් එක්ක මිනිස්සු වේදිකාවෙන් ඈත් වුණා. ඒත් දැන් මේ වෙද්දි වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය හිතාගන්න බැරි විධියට ඉදිරියට ගිහින් ලංකාව ඇතුළේ. තාක්ෂණික වශයෙන් සමහර වෙලාවට වේදිකාව ටෙලි නාට්‍යය ක්ෂේත්‍රය අභිභවා ගිහින්. අලුත් ශිල්පීන්, අලුත් අත්හදා බැලීම්, පහසුකම් සහිත රංග ශාලා, වැඩමුළු මේ දේවල් එක්ක වේදිකාව අද වෙද්දි හොඳ දියුණුවක් ලබලා තියෙනවා.
චිත්‍රපට ගැන කතා කළොත්. මේ මොහොත වෙද්දි දාන දාන චිත්‍රපටය බොක්ස් ඔෆීස් වෙන මට්ටමට තියෙන්නේ. මෑතකදී මම චිත්‍රපටයක් බලන්න ගියාම හමුවුණු ප්‍රේක්ෂකයෙක් එදා ඇවිත් තිබුණේ පස්වැනි වතාවට ඒ චිත්‍රපටය බලන්න. මම හිතන්නේ මේ තත්ත්වය අපි රැක ගත යුතුයි. මෙය නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂවරයා, කාර්මික ශිල්පීන්, රංගන ශිල්පීන් වගේම සිනමා ශාලා හිමිකරුවන් ඇතුළු සියලු දෙනාම රැකගෙන යා යුතු ගමනක්.
අපිට මේ සාර්ථකත්වය දිගටම රඳවාගන්න හැකි වෙයිද?
ලංකාවේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි දේවල් හොඳට හම්බ වෙද්දි කොහෙන් හරි දුර්වලතාවක් ඇවිත් ඒ දේවල් කඩාකප්පල් වෙනවා. උදාහරණයක් විධියට එක චිත්‍රපටයක් හොඳට දුවද්දි ඊළඟ නිර්මාණයේදී හිතෙනවා නළු නිළියන්ට එච්චර ගෙවන්න ඕනෑ නැහැ පොඩි බජට් එකකින් වැඩේ කරගන්නවා කියලා. අන්න එතැන තමයි වරද. අපි මේ ක්ෂේත්‍රයේ ඉන්න හැම කෙනාටම මුදලක් එන විධියට හැමෝම සතුටින් කොහොමද වැඩේට දායක කරගන්නේ කියලයි සලකා බලන්න ඕනෑ. සතුටින් වැඩක් කරද්දි ඒ වැඩේ සාර්ථක වෙනවා. එහෙම සතුටින් කරපු වැඩවල ප්‍රතිඵල අද පේන්න තියෙනවා.
අවසන් වශයෙන් මම කැමැතියි දශක දෙකකට කිට්ටු ඔබ සහ බිමල්ගේ මේ ආදරණීය පවුලේ රහස ගැනත් දැනගන්න?
ඒකට හේතුව මම හිතන්නේ අපි දෙන්නගේ අවබෝධය. 2027 වෙද්දි අපි විවාහ වෙලා වසර 20ක්. අවබෝධය සහ වුවමනාව දෙකම විවාහයක සාර්ථකත්වයට බලපානවා. දෙන්නෙක්ට වුවමනාවක් තියෙන්න ඕනෑ ජීවිතයේ ඉදිරියට මැරෙන තුරු හෝ මොන තාක් කාලයකට හෝ එකිනෙකාගේ බැඳීම පවත්වාගන්න. අපි දෙන්නටම අපි දෙන්නව අපේ ජීවිතවලට වුවමනායි. ඒ වුවමනාව එක්ක අපි අපිව අවබෝධ කරගන්න එක නිතැතින්ම එනවා. අපි ගොඩක් ගැළපුණු දෙන්නෙක් නෙවෙයි. අනිත් අය වගේම ගළපගෙන ජීවත් වෙන දෙන්නෙක්.
