
මහේෂි, තමාෂා කියන්නෙ මොන වගේ කෙනෙක්ද?
ඇත්තටම තමාෂා කියන්නෙ හොඳ යාළුවකුගෙ චරිතයක් කිව්වොත් හරි. කතාවේ හැටියට අසෙනිගෙ හොඳම යාළුව. අසෙනි කියන්නෙ ටිකක් හිතුවක්කාර චරිතයක්. ඒ හිතුවක්කාරකම නිසාම අසෙනි කරන ගොඩක් වැරදි වැඩවලින් ඇයව ගලවාගෙන, හැම වෙලාවෙම යහමගට යොමු කරන්න උත්සාහ කරන යාළුවෙක් තමයි තමාෂා කියන්නෙ.
රඟපාන්න ඕන නිසා රස්සාවෙන් අයින් වුණා… - මහේෂි තක්‍ෂිලා
ඔබට මේ චරිතය ලැබෙන්නෙ කොහොමද?
මම මේ නාට්‍යය වෙනුවෙන් පැවැත්වුණ තිර පරීක්‍ෂණයකට සහභාගි වුණා. එතැනින් පස්සෙ මාව මේ නිර්මාණයට සම්බන්ධකරගන්නෙ නිෂ්පාදන සම්බන්ධීකාරක මනුල අයියා.
මහේෂි සහ තමාෂා චරිත දෙකේ සමානකම් තියෙනවද?
ඔව්, ඇත්තටම සාමාන්‍ය ජීවිතයේත් මට යහළුවො ගොඩක් නැහැ. නමුත් හොඳම යහළුවෙක් විදිහට ඕනෑම කෙනෙක් එක්ක කතාබහ කරල, ආශ්‍රය කරල ඉන්නව.
සෙට් එකේ ගෙවුණ කාලය මොන වගේද?
ඇත්තටම සෙට් එකේ ගෙවුණ කාලය නම් හරිම සුන්දරයි. නවක රංගන ශිල්පිනියක් හැටියට මට ප්‍රවීණයන්ගෙන් ගන්න තියෙන දේවල් ගොඩක් වටිනව. ඒ වගේම ඔවුනුත් ගොඩක් උදව් කරනව. අපේ කණ්ඩායමත් ඒ වගේමයි. එකිනෙකාට උදව් කරගෙන හරිම සහයෝගයෙන් කටයුතු කළා.
මෙතැනදි විශේෂයෙන්ම කියන්න ඕන, ප්‍රවීණ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධන මහත්මයා තමයි අපේ අධ්‍යක්‍ෂවරයා හැටියට කටයුතු කරන්නෙ. ඔහු හරිම නිහතමානී කෙනෙක්. ඒ ගුරුහරුකම් අපිට ඉතාමත් වටිනව. මෙහි පිටපත රචනා කරන්නෙ කාවින්ද මලවිආරච්චි.
ඔබ රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
මාස්ටර් සර් කියන්නෙ මම රංගනයෙන් දායක වුණ තුන්වැනි ටෙලි නාට්‍යය. පළමු එක ධනුෂ්ක රත්නායක මහත්මයාගෙ ‘බයෝ’, දෙවැනි එක ශාන් ජයරත්න මහත්මයාගෙ ‘මේන් කැරැක්ටර්’. මේ නිර්මාණ අතරින් තමාශා චරිතය ප්‍රේක්‍ෂකයන් වැලඳගෙන තියෙනව කියල මට දැනෙනව.
‘මාස්ටර් සර්’ ගැන ඔබේ අදහස මොන වගේද?
‘මාස්ටර් සර්’ කියන්නෙ උසස්පෙළ පන්තියක් වටා ගෙතුන ලස්සන කතාවක්. ඒක මගේ ජීවිතයටත් ටිකක් සමීපයි. පාසල් කාලයේ අත්දැකීම් නිතරම මතක් වෙනව. ඒක අපේ චරිත ගොඩනඟාගන්නත් පහසුවක්.
මහේෂි රංගනයට යොමු වෙන්නෙ කොහොමද?
මම 2021 අවුරුද්දෙ ස්වර්ණවාහිනිය මගින් පැවැත්වූ අවුරුදු කුමාරි තරගයෙන් දෙවැනි ස්ථානය ලබාගන්නව. එතැනින් පස්සෙ මට ආසාවක් ඇතිවෙනව රංගනය හදාරන්න. ඒ අනුව පෞද්ගලික රංගන පාසලක් හරහා මම ඒ සඳහා යොමු වෙනව. ඒ විදිහට තමයි ටිකෙන් ටික ඉදිරියට යන්නෙ.
පාසල් කාලයේ පටන්ම රංගන ශිල්පිනියක් වීමේ ආසාවක් ඔබට තිබුණෙ නැහැ?
ඔව්, ඒ කාලයේ මම කැමැත්තෙන් හිටියෙ ගුරුවරියක් වෙන්න. නමුත් පසුකාලීනව රංගන ශිල්පිනියක් වෙන්න ඕන කියල දැඩි ආශාවක් ඇති වුණා. අවුරුදු කුමාරි තරගවලටත් යොමු වුණේ ඒ අරමුණ ඇතිවයි.
පවුලේ විස්තර ටිකක් කියමු?
මගේ ගම මොරටුව. මුලින්ම පාසල් ගියේ මොරටු මහා විද්‍යාලයට. දෙවැනි එක මොරටුව ජයලත් අප ස්වාමි දුවගේ කන්‍යාරාමය. අපේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි.
රංගනයට යොමු වෙද්දි අම්මයි තාත්තයි විරුද්ධ වුණේ නැද්ද?
නැහැ. ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනව. සාමාන්‍යයෙන් තාත්තල වැඩිය කැමති නැහැනෙ. නමුත් අපේ පවුලෙන් තාත්ත තමයි වැඩියන්ම කැමති. එයාල දෙන්නත් කලාවට ගොඩක් ළැදියි. අම්මත් පුළුවන් හැම වෙලාවෙම මගෙත් එක්ක ෂූටිං යන්න එනව.
ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?
අපේ පවුලෙ කවුරුවත් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ නැති නිසා ඒ ගැන මට ලොකු දැනුමක් තිබුණෙ නැහැ. ඒ නිසාම තමයි රංගනය ගැන හදාරලා ක්‍ෂේත්‍රයට පිවිසෙන්න හිතුවෙ. මෙතැනදි විශේෂයෙන්ම ප්‍රවීණයන් ගැන කතාකරන්නම ඕන. මොකද ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව. මට අවශ්‍ය වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න. නිදහසේ රැකියාවක් කරන්නයි මට ඕන.
රංගනයට පිවිසෙන්න කලින් මහේෂි රැකියාවක් කළා?
ඔව්, මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. නමුත් කාලවේලාවේ ප්‍රශ්නය නිසා රැකියාවෙන් ඉවත් වුණා. ඇත්තම කිව්වොත් රඟපාන්න ඕන නිසා තමයි රැකියාවෙන් ඉවත් වුණේ.
මියුසික් වීඩියෝවලටත් සම්බන්ධ වුණා?
ඔව්, මෑත කාලයේ මම මියුසික් වීඩියෝ දෙකකට සම්බන්ධ වුණා. ඒ අතරින් ‘නුඹ නමින් ආදරේ’ කියන ගීතය දැනට අවුට් වෙලා තියෙනව. ඒ වගේම අමන්දාගේ ගීතයකටත් මම රංගනයෙන් දායක වුණා.
මහේෂි තක්‍ෂිලා කියන්නෙ මොන වගේ චරිතයක්ද?
මහේෂි තක්‍ෂිලා කියන්නෙ හරි සරල කෙනෙක්. හැබැයි ටිකක් විතර කේන්ති යනව. කුකුල් කේනිතිකාරියක් කිව්වොත් හරි. ඒක ගෙදරට විතරයි. නිතර හැමෝමත් එක්ක සුහදව කටයුතු කරන්න කැමති කෙනෙක්.
මහේෂි ආදරවන්තියක්?
ඔව්, මට ආදරවන්තයෙක් ඉන්නව. ඔහු කලා ක්‍ෂේත්‍රයේ කෙනෙක්නම් නෙමෙයි. නමුත් ඔහුගෙන් මගේ වැඩවලට ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනව. ඒ අතින් මම හරි වාසනාවන්තයි. මොකද ගෙදරින් සහ ආදරේ කරන කෙනාගෙන් සහයෝගයක් නැතිව මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කරන්න අමාරුයි.
මහේෂ් එදිරිසිංහ
