අපි කට්ටියම එකතුවෙලා පට්ට ගේම් එකක් ගැහුවා - අංජන ප්‍රේමරත්න

gossiplanka image 2
ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කළ වාලම්පූරි සිනමා පටය මේ දිනවල තිරගත වෙනවා. එහි රංගනයෙන් දායක වෙන අංජනට ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?

මේ චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කළේ මීට අවුරුදු හතරකට විතර උඩදි. මේ චිත්‍රපටයට මට ආරාධනා ලැබුණෙත් හරිම අහම්බයෙන්. ලකාගේ කූඹියෝ ටෙලිනාට්‍යයේ මට ඉතා කුඩා කොටසකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මට පිටකොටුවේ දුවන්න තමයි තිබුණෙ. ඊට පෙර තුමිඳු අයියාගේ (තුමිඳු දොඩම්තැන්න) නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් තුමිඳුගේ ටෙලිනාට්‍යයේ මගේ කොටස ඉවරවෙලා ඊළඟ කොටස කරන්න තිබුණේ මාලිගාවත්තෙ. ඔය නාට්‍ය බස්වල යද්දි අපි එක එක විහිළු කතා කරනවනෙ. පිටකොටුවේ ඉඳන් මාලිගාවත්තට එන අතරතුරේ මම මාරක ළිඳේ නිවේදනය කරන විදිහ කිය කියා වාහනයේ ආවා. ඉස්සරහ සීට් එකේ හිටපු ලකා පිටිපස්ස හැරිලා බලලා “අම්මට සිරි ඒක වැඩකට මරුනේ”‍ කියලා කිව්වා. අවුරුදු දෙකකට විතර පස්සෙ ලකා ඇමතුමක් දීලා “අපි ෆිල්ම් එකක් කරනවා. උඹත් චරිතයකට ඉන්නවා” කියලා කිව්වා. මාරක ළිඳ වාලම්පුරි ළඟට අරගෙන යාවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.


වාලම්පුරි සිනමා පටයට ප්‍රවීණ දක්ෂ කලාවේදීන් කිහිප දෙනෙක් සම්බන්ධ වුණා. ඔවුන් හා රංගනයෙන් එක්වීමට ලැබුණු අත්දැකීම් කොහොමද?

ඇත්තටම ඔවුන් හා එකතුවීම මටත් ලොකු අත්දැකීමක් වුණා. රඟපාන්න පුළුවන් කට්ටියක් එක්ක රඟපාන්න ලැබීමම වාසනාවක්. ප්‍රියන්ත අයියා, සරත් අයියා, තුමිඳු අයියා වගේ අය එක්ක රඟපාන්න ලැබීම ජීවිතයට ලොකු අත්දැකීමක් වුණා. මේක ගේම් එකක්. ගේම් එක හරියට සෙල්ලම් කරන්න පුළුවන් කට්ටියක් එක්ක ඒ ගේම් එක සෙල්ලම් කරන එක හරි ලේසියි. මේක කණ්ඩායම් හැඟීමත් එක්ක කරපු ගේම් එකක්. ඇත්තම කිව්වොත් මේක කට්ටියක් එකතුවෙලා ගහපු ලස්සන ගේම් එකක්.


නළුවෙක් වීම ඔබ පුංචි කාලෙ දැකපු හීනයක්ද?

පොඩි කාලේ මට නළුවෙක් වෙන හීනයක් තිබුණේ නැහැ. මම දොළහ වසරේදි කලාවට ආසාවක් ඇති වුණා. මම පාසල් රැස්වීමකදි කතාවක්වත් පවත්වපු කෙනෙක් නෙවෙයි. ඉස්සර දොළහ වසර පන්තියට ආවට පස්සේ රැස්වීමේදි කතා කරන්න අවස්ථාව ලැබුණා. හැබැයි මම පුරුදු වෙලා ගියත් කට්ටිය දැක්කට පස්සේ ඒ කතාව කරන්න මට බැරි වුණා. ඒ නිසා කට්ටිය ඉස්සරහට ගිහින් චරිතයක් කරගන්න පුළුවන් කෙනෙක් වෙනවා කියන කියන දේ මම හිතා ගත්තා. පහු කාලෙදි මට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.


අංජන පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහේද?

මම පාසල් අධ්‍යාපනය ලැබුවේ හොරොම්බාව මහ විදුහලෙන්. පාසලේදි මම පන්තියේ කෑගහපු, විහිළු කරපු චරිතයක්. මම පවුලේ බාලයා. මට අයියලා තුන් දෙනෙක් ඉන්නවා. මගේ ළමා කාලය හරි අපූරුයි. ඒක හරි සුන්දර කාලයක්. ඉස්සර සංගීත ප්‍රසංග තියෙන කාලෙට අපේ ගෙදර කොල්ලෝ පිරිලා. ප්‍රසංග බලලා අපේ ගෙදර ආපු අයියලාගේ, මගේ යාළුවෝ දහයක් පහළොවක් සාලේ නිදා ගත්තා. අපේ ගෙදර කාමරවලට යතුර නැහැ. ඕනෑ වෙලාවක ඕනෑ කෙනකුට යන්න එන්න පුළුවන්. ඒක හරි සුන්දර අතීතයක්.


අංජනගේ පියාගේ සෙනෙහස අංජනට ළමා කාලයේදිම අහිමි වෙනවා. එහෙම නේද?

ඔව්... මට අවුරුදු තුනේදි මගේ තාත්තා මිය ගියා. අපේ අම්මා ඒ කාලේ පොඩි කඩ කෑල්ලක් දාලා තිබුණා. උදේට අම්මා ආප්ප, ඉඳිආප්ප හදලා ඒ කඩ කෑල්ලේ විකුණුවා. ටිකෙන් ටික අපි ලොකු වෙද්දි ලොකු අයියා මුලින්ම පවුලේ බරට එකතු වුණා. මමත් නිකම් හිටියේ නෑ. මම ත්‍රීවිල් එලෙව්වා. ලෑන්ඩ් මාස්ටර් එලෙව්වා. මගේ ලොකු අයියටයි මාමා කෙනකුටයි වයරින් වැඩ පුළුවන්. මාවත් ඒ අයගේ උදව්වට එක්ක ගියා. ඒ කාලේ අපේ ගම්වලට විදුලිය එන්නේ එක වෙලාවටයි. ඉතින් ගෙවල් සීයක් දෙසීයක් එක පාර වයරින් කරනවා. ඒ කාලේ මගේ යටතෙත් කොල්ලෝ දහයක් විතර වයරින් වැඩ කළා. ඒවායින් මටත් පවුලේ වගකීමට එකතු වෙන්න පුළුවන් වුණා.


ඔබත් කලාවට සම්බන්ධ වෙන්නේ වේදිකා නාට්‍යවලින්?

ඔව්... ඩිලාන් වික්‍රමසිංහ මගේ හොඳ යාළුවෙක්. ඔහු සංගීතය කළා. නක්කාවත්ත මධ්‍ය මහා විදුහලේ නාට්‍ය සංගමයක් තිබුණා. ඩිලාන් ඒකෙ සංගීතය කරන්න යද්දි මම ඔහුගේ තනියට ගියා. මම නාට්‍යවල ටිකට් කැඩුවා. සේනාධීර කුලරත්න සර් තමයි නාට්‍ය ගුරුතුමා විදියට හිටියෙ. “මුගේ පොඩි අමුතු එකක් තියෙනවනෙ. මූවත් අපි ගමු”‍ කියලා සර් කිව්වා. ඒ විදියටයි මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ. මගේ පළවෙනි වේදිකා නාට්‍ය වුණේ “පැළලි ගෙදර”‍ වේදිකා නාට්‍යයි. එය අධ්‍යක්ෂණය කළේ ශාන්ත සුරවීර. ඔහොම නාට්‍යවලට සම්බන්ධ වෙද්දි ප්‍රියංකර රත්නායක, තුමිඳු දොඩම්තැන්න, සම්පත් පෙරේරා වැන්නන්ගේ නාට්‍ය වැඩමුළු පැවැත්වුවා. මම තුමිඳු අයියාගේ කණ්ඩායමටයි සම්බන්ධ වෙලා හිටියෙ. දවස් හතරක නාට්‍ය වැඩමුළුවකට පස්සේ අපිට නාට්‍යයක් කරන්න තිබුණා. මමත් නාට්‍යයක් කළා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒකෙන් බොහෝ දෙනා මාගේ මොකක්දෝ හැකියාවක් හඳුනා ගත්තා.


නාට්‍ය රංගනයට අමතරව අංජන නාට්‍යවල තවත් වැඩ කටයුතුවලට දායකත්වය ලබා දෙනවා නේද?

ඔව්... කොළඹට ඇවිත් ඒ කාලේ ජීවත් වෙන එක ලේසි වුණේ නැහැ. ඒ නිසා මම වේදිකා පරිපාලනය, පසුතල නිර්මාණය, රංගාලෝකනය වැනි බොහෝ පැතිකඩ අත්හදා බැලු‍වා. මම නාට්‍ය පෝස්ටර් රෑ නවයෙ ඉඳන් උදේ හත දක්වා කොළඹ පුරා අලවලා තියෙනවා. ඒ කාලේ මම රවින්ද්‍ර ආරියරත්න එක්ක ජූඩ් ශ්‍රීමාල්ගේ නාට්‍ය පෝස්ටර් ඇලෙව්වා. ඒවායින් අපිට සල්ලි හම්බවුණා. පාරේ ලොකු ඔළු දාගෙන නටලා සල්ලි හම්බකරලා තියෙනවා. ඒ දවස්වල කොළඹ ජීවත් වෙන එක ලෙහෙසි නැහැ. අපි කට්ටියක් එකතුවෙලා වීදි නාට්‍ය කළා. කොහොම හරි අවුරුදු විසි හයක් තිස්සේ කොළඹ රැඳිලා ඉන්නවා.


අද මොකද හිතෙන්නෙ?

විඳපු දුක්වල ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා. ඒ ගැන සතුටුයි. නළුකම දැන් අතහරින්න හිතෙන්නේ නැහැ.


• දිශානි ජයමාලි

gossiplanka image 1
Previous Post Next Post