
මේ දවස්වල වැඩකටයුතු ගැන තොරතුරු ටිකක් කියමු?
මේ දවස්වල අලුත් නිර්මාණ කිහිපයක වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව මම කලින් කරපු නිර්මාණ කිහිපයකුත් මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව කරපු ෆිල්ම් එකක් තියෙනවා. ඒකත් බොහෝදුරට මේ අවුරුද්දේ රිලීස් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ දේවලුත් එක්ක මේ දවස්වල මගේ සුපුරුදු වැඩකටයුතු ටික කරගෙන යනවා.
අමුතු දීගෙට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඔව්, අමුතු දීගේ කියන්නේ හරි වෙනස්ම නිර්මාණයක්. ඒකට ඇත්තටම ඉතාමත් ඉහළ ප්‍රතිචාර හිමිවෙනවා. එය සීමිත කොටස් ප්‍රමාණයක ටෙලි නාට්‍යයක්. ඒ වෙනුවෙන් මට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. මීට වසර ගණනකට කලින් කලින් ජාතික රූපවාහිනි විකාශය වුණු, සද්ධා මංගල සූරියබණ්ඩාර මහත්මයාගේ පද රචනයෙන්, ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුණු චාමර සමරවික්‍රම මහත්මයා නිෂ්පාදනය කරනු ලැබූ අමුතු රසිකයා කියන ටෙලි නාට්‍යයෙන් තමයි මම මුලින්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අඩිය තියන්නේ. අමුතු දීගේ කියන්නෙත් ඒ ආකාරයේම ටිකක් වෙනස් විධියේ නිර්මාණයක්. ඉතින් එහි රවීන් කියන අහිංසක පෙම්වතාගේ චරිතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
අමුතු දීගේ නවකතාව කියවූ පාඨකයන්ගේ චිත්තරූපවලට හානියක් නොවන ආකාරයෙන් චරිතය රඟ දැක්වීම මොන තරම් අභියෝගයක් වුණාද?
ප්‍රිස්ලි ගොඩහේවා මහත්මියගේ අමුතු දීගේ නවකතාව ඇසුරෙන් තමයි මේ ටෙලි නාට්‍යය නිෂ්පාදනය වෙලා තියෙන්නේ. අමුතු දීගේ ටෙලි නිර්මාණය ඇතුළේ චාමර ජනරාජ් පීරිස් මහතා නවකතාවේ අන්තර්ගතය ඒ ආකාරයෙන්ම ඉතාමත් සියුම්ව ගොඩනඟන්න උත්සාහ කරල තියෙනවා. ඒ අනුව පෙර නවකතාව කියවූ අයට ටෙලි නාට්‍ය රසවිඳීමේදී නවකතාවේදී විඳි රසය ඒ ආකාරයෙන්ම විඳින්නට හැකි විධියට ටෙලි නාට්‍ය නිර්මාණය වෙලා තියෙනවා. මෙහි රවීන්ගේ චරිතයට අනුගත වෙද්දී මට නවකතාවෙහි අන්තර්ගත වන ඒ චරිතයේ තිබෙන සියුම් තැන් ගැන අධ්‍යයනයක් කරන්න සිද්ධ වුණා. නවකතාවේ චරිත පිළිබඳව හොඳින් අධ්‍යයනය කර ඒ චරිතවලට ආවේශ වුණොත්, අපිට පොත කියැවූ පාඨකයාගේ සිතේ මැවුණු චරිත ඒ ආකාරයෙන්ම රඟ දක්වන්න හැකියාව ලැබෙනවා.
ඔබ දායක වන අලුත්ම නිර්මාණය “මා” ඒ ගැනත් කතා නොකරම බෑ?
ඇත්තටම මා කියන්නේ මේ දිනවල විකාශය වන මම සම්බන්ධ වුණු අලුත්ම ටෙලි නිර්මාණය. සතියේ දිනවල ස්වර්ණවාහිනියේ රාත්‍රි 8.30ට මා ටෙලි නාට්‍ය විකාශය වෙනවා. මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මාගේ දෙබස් හා තිර රචනයෙන් හැඩවුණු මා ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ නිශාන්ත ප්‍රදීප් මහතා. ඒ වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන ඉරේෂ් ලොකුබණ්ඩාර මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වුණු මා ටෙලි නාට්‍ය ගැන කතා කරද්දී කැමරාමන් චානු අයියවත් විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි. ඔහුගේ කැමරාකරණයේ තියෙන සජීවී බවත් එක්කම මා ටෙලි නාට්‍යයේ රසවත් බව තවත් වැඩිවෙලා තිබෙනවා. මෙහි මම රඟ දක්වන රන්දික කියන චරිතේ ඉතාම දුෂ්ට චරිතයක්. ඉතින් මම හිතනවා ඉදිරියේදී ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා ඒ චරිතයට බනියි. දෝෂාරෝපණය කරයි කියලා. මා කියන්නේ ඉතාමත් ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මම හිතනවා මා ටෙලි නාට්‍ය 2025 වසරේ ජනප්‍රියත්වය අතින් ඉදිරියෙන්ම තියෙන ටෙලි නාට්‍යයක් බවට පත්වෙයි කියලා.
ෆිල්ම් ස්ටාර් වෙලා ලංකාවේ ජනප්‍රිය නළුවෙක් වනතුරු මේ තාක් කාලයක් ආපු දුර ගැන මොකද හිතන්නේ?
ඇත්තටම ෆිල්ම් ස්ටාර් වෙනකන් කාපු කට්ට හරිම අමාරුයි. නමුත් ආපහු ඒ දිහා හැරිලා බලද්දි මට හිතෙනවා ඒ කාලේ ඇතුළේ මම මේ ක්ෂේත්‍රය පිළිබඳව ඉගෙනගෙන තිබෙනවා කියලා. 2017-2018 අතර වගේ කාලය තුළ තමයි සිරස ෆිල්ම් ස්ටාර් තරගය පැවැත්වුණේ. ඉන් අනතුරුව අමුතු රසිකයා හරහා මම ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට එනවා. එදා ඉඳන් අද දක්වා විකාශය වූ ටෙලි නිර්මාණ තිහකට අධික ප්‍රමාණයකට වගේ මම දායකත්වය ලබාදීලා තියෙනවා. ඒක ඇත්තටම මේ ක්ෂේත්‍රයේ රඳා පැවැත්ම සඳහා මට ලැබුණු හොඳ අභියෝගයක් වගේම හොඳ අවස්ථාවක් විධියට මම සලකනවා. මගේ සමකාලීනයන් බොහෝ දෙනෙක්ට නොලැබුණු අවස්ථාවන් මට මේ හරහා ලැබිලා තියෙනවා. ඒ නිසාම මම අදටත් සිරස ෆිල්ම් ස්ටාර් තරගයට ගරු කරනවා සහ මගේ මුල මම මතක තියාගෙන ඉන්නේ. මම කාපු කට්ට මතක තියෙන නිසා මට මේ ක්ෂේත්‍රය ඇතුළේ වැරැදි දෙයක් කරන්න හිතෙන්නෙ නැහැ. මොකද මම අද මේ තැනට ඇවිත් ඉන්නේ විශාල වෙහෙසක් දරලා. සිරස ෆිල්ම්ස්ටාර් ඇතුළු අද මම ඉන්න තැනට එන්න සහයෝගය දීපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතිවන්ත වෙනවා, වගේම ගරු කරනවා.
දිනෙන් දින අලුත් මුහුණු එනවා, මේ තරගකාරිත්වය මැද ඔබ කොහොමද ඔබේ ස්ථාවරත්වය පවත්වාගෙන යන්නේ?
මේ ක්ෂේත්‍රයට එන්න ලේසියි, ඉන්න අමාරුයි සහ යන්නත් ලේසියි. මේ ක්ෂේත්‍රයට අලුත් අය එන්න ඕනෑ, අලුත් නිර්මාණ බිහිවෙන්න ඕනෑ, අලුත් අලුත් මුහුණු එළියට එන්න ඕනෑ. මේ මත තමයි මේ ක්ෂේත්‍රයේ පැවැත්ම තියෙන්නේ .නමුත් අද එන ගොඩක් එක රැයෙන් ජනප්‍රියවෙලා ඔවුන්ගේ වෙනත් බලාපොරොත්තු මේ හරහා සාක්ෂාත් කරගෙන, නිර්මාණවලට දායක වීම දෙවැනි, තුන්වැනි තැන්වලට දාලා කටයුතු කරනවා. මේ ක්ෂේත්‍රයට එන ගොඩක් අයගේ පසුබෑමට හේතුවත් ඒක. ඉතින් අධ්‍යාපනයත් එක්කම තමන්ගේ හැකියාවන් සංයමයකින් යුතුව මේ ක්ෂේත්‍රයේ තිබෙන වෘත්තීය ආචාරධර්ම රකිමින් නිර්මාණවලට දායක කරගන්නවා නම් ඕනෑම කෙනෙක්ට හොඳ පැවැත්මක් තියෙනවා.
ඔබේ ආදරවන්තිය ගැනත් කතා නොකරම බැහැ, මේ ගමනට ඇගෙන් ලැබෙන සහාය?
පෙම්වතිය අපූර්වා. ඇය ගායිකාවක්, හොඳ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්. මම මේ වෙද්දී විකාශය වන ටෙලි නාට්‍ය පහකට වගේ දායකත්වය දෙනවා වගේම වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ දේවල් එක්ක කාර්යබහුල වීම මත ස්ට්‍රෙස් වීම අපේ රැකියාවේ ස්වභාවය. ඉතිං ඒ හැමදේම කළමනාකරණය කරගෙන මට අමතක වන දේවල් පවා මට මතක් කරගෙන, මගේ හැමදේටම ඇයගෙන් ලැබෙන සහාය මම බොහොම අගය කරනවා. ඉතිං ඇත්තටම මට එහෙම සහකාරියක් ලැබිල ඉන්න එක ගැන සතුටුයි. ඒ වගේම මේ ක්ෂේත්‍රය ඇතුළේ ඇගේ ගමන සඳහා මගේ පැත්තෙන් ලබාදිය යුතු දායකත්වයත් මම ඇයට ලබා දෙනවා.
ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?
එකිනෙකට වෙනස් චරිතවලට දායක වූ නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී එන්න තිබෙනවා. ඊට අමතරව තව සිනමා නිර්මාණයකුත් තියෙනවා ඉදිරියේදී තිරගත වෙන්න. ඉතින් ඒ දේවලුත් එක්ක අපේ පෞද්ගලික වැඩකටයුතුත් කරගෙන මේ ක්ෂේත්‍රය ඇතුළේ හොඳ වැඩ කරන එක තමයි බලාපොරොත්තුව. ඉතින් මේ අවුරුද්ද ඇතුළේ ඉතාමත් හොඳ නිර්මාණ කිහිපයක්ම එන්න තිබෙන නිසා ඉදිරියේදී අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙනවා.
අක්ෂි මාපා වීරසිංහ
