මේ තාක් කාටවත් මම ප්‍රශ්නයක් දාලා නැහැ - ඩිලූෂි හංසිකා

gossiplanka image 1
රොකී නම් හිතුවක්කාරයාට පෙම් බඳින අහිංසකාවිය ඇයයි. තම ප්‍රේමය වෙනුවෙන් හඬන, වැළපෙන සුකුමාර යුවතිය ඇයයි. රොකී ටෙලිනාට්‍යයෙන් ආදරය හිත පුරවාගෙන ඔබ හමුවට එන ‘නේහා’ හෙවත් ඩිලූෂි හංසිකා සමඟ සිදු කළ සුහද කතාබහයි මේ.


ඩිලූෂි... ඔබ ගැන හැඳින්වීමක් කරමු?

මගේ නම ඩිලූෂි හංසිකා. මම ඉන්නේ කටුබැද්දෙ. මගේ පාසල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය. මම උසස් අධ්‍යාපන කටයුතු සඳහා එකතු වුණේ කැලණිය විශ්වවිද්‍යාලයට. ජාත්‍යන්තර සම්බන්ධතා සහ ජර්මන් භාෂාව සම්බන්ධයෙන් මම උපාධිය සම්පූර්ණ කළා. මේ වෙනකොට මම වෘත්තිමය රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරනවා. 2021 දි මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. මගේ ගමන පුංචියට පටන් අරන් පොඩි පොඩි දේවල් එක්ක ඉදිරියට යනවා කියලා මම හිතනවා. අද ඉන්න තැන ගැන මට හරි සතුටුයි.


‘රොකී’ වෙනස්ම විදිහක ටෙලිනාට්‍යයක්. අදහසක් දක්වමු?

මුලින්ම කියන්න ඕනෑ මට ටෙලිනාට්‍යවලට ගොඩක් ආරාධනා ලැබුණට මම ලොකුවට සම්බන්ධ වුණු කෙනෙක් නෙවෙයි. රොකී ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සමීර ප්‍රියරත්න තමයි මට මේ සඳහා ආරාධනා කළේ. මම ගොඩක් සතුටු වුණා අධ්‍යක්ෂවරයාම මට මේ සඳහා ආරාධනා කිරීම ගැන. රොකී කියන්නේ සිනමාරූපී ටෙලිනාට්‍යයක්. නේහාගේ චරිතය මට ගොඩක් සුවිශේෂී එකක්. මොකද මම මෙච්චර කාලයක් කරලා තිබුණේ ටිකක් පරිණත, තේරුම් ගැනීමක් තියෙන, ජීවිතයට ශක්තිමත් විදිහට මුහුණ දෙන චරිත. ගොඩක් අය මාව දන්නෙත් ඒ වගේ චරිතවලින්. ගොඩක් අය ගෞරව කරන චරිත මම කරලා තියෙනවා කියලා ප්‍රේක්ෂකයෝ මාත් එක්ක කතා කරද්දි මට දැනිලා තියෙනවා. රොකී ටෙලිනාට්‍ය ගත්තාම මට ලැබුණේ ප්‍රධාන කාන්තා චරිතය. මෙහි ප්‍රධාන චරිතය වෙන රොකීගේ චරිතයට දායක වෙන්නේ රන්දික ගුණතිලක අයියා. ටෙලිනාට්‍ය වගේම ඔහුගේ චරිතයත් ටිකක් වෙනස්. විශේෂයෙන්ම රොකී ටෙලිනාට්‍යයේ අපිත් එක්ක වැඩ කරපු අපේ කණ්ඩායම ගැන වචනයක් කතා කරන්න ඕනෑ. මොකද අධ්‍යක්ෂ සමීර අයියා, පිටත් රචිකාවිය සිතාරා අක්කා, නිෂ්පාදකතුමා ඇතුළු හැමදෙනාම මේ කාර්යය සාර්ථක කරගන්න ගොඩක් කැපවීමෙන් කටයුතු කළා. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ, අපිට චරිතය ඇතුළේ උපරිම නිදහස දීලා තිබුණා. සමහර තැන්වලදි අධ්‍යක්ෂවරු “එපා”‍ කියලා තහංචි දානවා. හැබැයි සමීර අයියා කිසිම තැනකදි “එපා”‍, “ඕනෑ නැහැ”‍ කියන වචනවලින් අපිව සීමා කළේ නැහැ. මම සතුටු වෙනවා රොකී වගේ වෙනස්ම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීමට ලැබීම ගැන.


නේහා ගැන මොකද හිතෙන්නෙ?

කලිනුත් මම කිව්වා වගේ ප්‍රධාන කාන්තා චරිතය වෙන නේහා කියන්නෙ කෙළිලොල්, දඟකාර, ආදරයට ගොඩක් ලෝභ චරිතයක්. ඒ වගේම හැමදේම පැත්තකින් තියලා ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්. ඒ වගේ චරිතයක් රඟපාන එක සහ ඒ වගේ චරිත ලක්ෂණ හදාගන්න එක ඇත්තටම අභියෝගයක් වුණා.

මම හිතනවා මම නේහාගේ චරිතයට සාධාරණයක් ඉටු කළා කියලා. මොකද, යන යන තැන මගේ රසිකයන් මට නේහා කියලා කතා කරනවා. ඉතින් මට හරිම සතුටුයි මට අලු‍ත් රසික පිරිසක් ඇතිකර ගැනීමට හැකිවීම ගැන. විශේෂයෙන් කියන්න ඕනෑ, නේහා කියන චරිතයේදි නේහාගේ සහකරු විදිහට රොකීගේ චරිතය නිරූපණය කරන රන්දික ගුණතිලක අයියා ඉතාම දක්ෂ සහ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. නේහාගේ චරිතය කරන්න මට රන්දික අයියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඔහු අපිට නිදහසේ රඟපාන්න අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. මගේ පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම මගේ පුංචි අතපසුවීම්වලදි මාව පහළට දාන්නේ නැතුව මගේ කාර්යය සාර්ථකව කරගන්න සමස්ත කණ්ඩායම හොඳ සහයෝගයක් ලබා දුන්නා. හැම දෙනාම හරිම ආදරයෙන් පවුලක් විදිහට තමයි මේ කටයුත්ත කරගෙන යන්නෙ.


රොකී - නේහා ආදර කතාව ගැනත් කතා කරමු?

රොකී කියන්නේ ගින්දර වගේ කෙනෙක්. නේහා කියන්නේ පුළුන් වගේ කෙනෙක්. හැම වෙලේම ගින්දරයි පුළුනුයි ළං කරන්න අමාරුයි. හැබැයි එකතු වෙන්නත් බැරි, වෙන් වෙන්නත් බැරි තැනකයි මේ ආදර කතාව තියෙන්නෙ. සමහර වෙලාවට මොන දේවල් වුණත් අපි ප්‍රතික්ෂේප කරන දේටම ඇලෙනවා. රොකී නේහාව ප්‍රතික්ෂේප කරන්නේ එයාගේ ජීවිතය යන විදිහත් එක්ක ඒ දේවල් නේහාට ගැලපෙන්නේ නැති හින්දා. මම හිතනවා රන්දික අයියා රොකීගේ චරිතයට අතිශය සාධාරණයක් ඉටු කළා කියලා. මගේ පැත්තෙනුත් මටත් ලොකු සහයෝගයක් ඔහුගෙන් ලැබුණා. ඒ වගේම මමත් නේහාගේ චරිතයට සාධාරණයක් ඉටු කළා කියලා හිතනවා.


ඩිලූෂිගේ කලා ජීවිතයේ මෙතෙක් ආ ගමන් මඟ ගැන මතක සටහනක් තබමු?

2021 වසරේ ධරණි ටෙලිනාට්‍යයෙන් මම කලා ක්ෂේත්‍රයට පිවිසුණා. සාමාන්‍යයෙන් කෙනකුගේ පළවෙනි ටෙලිනාට්‍යයෙන්ම ජනතාව අතරට යන්න, ජනතාවගේ මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න ටිකක් අමාරුයිනෙ. නමුත් අදටත් ධරණි ටෙලිනාට්‍යයේ මම කරපු විනුලි කියන චරිතයට ආදරය කරන ප්‍රේක්ෂකයන් මට හමුවෙනවා. මට බොහොම ලස්සන ගමනක් යන්න පුළුවන් වුණා. මොකද, මගේ දෙමව්පියන්ගේ සහයෝගය ඇතුළුව මට මුණගැහුණු අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, තිර රචකයන් ඇතුළු හැම දෙනෙක්ම මගේ චරිතය කරන්න මට විශාල සහයෝගයක් දුන්නා. ඇතැම් කෙනෙක්ට බිඳවැටීම් වෙන්න පුළුවන්. ක්ෂේත්‍රය ඇතුළේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. නමුත් මම කවදාවත් ක්ෂේත්‍රය ඇතුළේ ප්‍රශ්න ඇති කරගෙන, බිඳවීම් කරලා, නිෂ්පාදන ආයතනවලට ප්‍රශ්න ඇතිවෙන විදිහට වැඩ කරලා නැහැ. ඉතින් මම හිතනවා ඒවත් එක්ක තමයි මට නිර්මාණ ලැබෙන්නේ කියලා. මම කලා ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා අද දක්වාම එකදිගට ජනතාවත් එක්ක ඉන්න, එයාලගේ ආදරය ලැබෙන විදිහට ගොඩක් නිර්මාණ කරන්න මට අවස්ථාව ලැබුණා. මට ඒ ගැන හරිම සතුටුයි. ඉදිරියේදිත් මගේ ටෙලිනාට්‍ය කිහිපයක් එන්න තියෙනවා.


මෙතෙක් ආ ගමනේ ඔබට ආපු අභියෝග හා ඒවා ජයගත් ආකාරය ගැන වචනයක් කතා කළොත්?

අපිට හැමදාම අලු‍ත් දවසක්. මොකද වෙන කෙනකුට රැකියාවට ගිහිල්ලා දිනපතා කරන්න තියෙන්නේ එකම දේ වෙන්න පුළුවන්. නමුත් රංගන ශිල්පියකුට හෝ රංගන ශිල්පිනියකට හැමදාම එකම දේ නෙවෙයි කරන්න තියෙන්නෙ. හැමදාම අලු‍ත් දවස්. ඒ ඒ දවසට ඒ ඒ ඉලක්ක තමයි ඔවුන්ට සපුරා ගන්න තියෙන්නෙ. දර්ශනයෙන් දර්ශනයට තිබෙන පිටපත, අවශ්‍ය කරන රංග වින්‍යාසය හදාගන්නවා කියන එක, අපි ඉන්න තැන අපිට ඉඩකඩ හදාගන්නවා කියන එක, මම අභියෝග විදිහට දකිනවා. චරිතයෙන් චරිතයට අපිට වෙනස් වෙන්න සිද්ධ වෙනවා. ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කරනවානම්, අද තියෙන නාට්‍යයේ නෙවෙයි නම් හෙට රූගත කිරීම් කරන්නේ, එතකොට අපි රංගනය කියන දේ හාත්පසින්ම වෙනස් තැනකට අරගෙන යන්න ඕනෑ. ඒ ඒ චරිතවලට අපි හදාගෙන තියෙන දේවල් පවත්වාගෙන යනවා කියන්නේ අනිවාර්‌යෙන්ම අභියෝගයක්. මොකද එක නාට්‍යයක ඉන්නවනම් අපි හරිම අහිංසක චරිතයකට, තවත් නාට්‍යයක ඉන්න පුළුවන් මැදිවියේ කාන්තාවකගේ චරිතයකට. ඒත් චරිත දෙකටම අපි දායකත්වය දෙනවානම් ඒ චරිත දෙකම වෙන වෙනම හඳුනාගෙන කටයුතු කරනවා කියන්නෙම අභියෝගයක්. දර්ශන තලය ඇතුළේ කොහොමද වැඩ කරන්නේ කියන එකත් අභියෝගයක්. ඒ වගේම අපේ ගෞරවය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවෙනවා වෙන්න පුළුවන්. ඉතින් සෑම රංගන ශිල්පියකුටම සහ ශිල්පිනියකටම හැම දවසක්ම අභියෝගයක්.


ඩිලූෂිව ඉදිරියේදි සිනමා නිර්මාණ තුළින් දැකබලා ගන්න හැකි වේවිද?

ඔව්... මට සිනමාවට ආරාධනා ලැබිලා තියෙනවා සහ මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවා. ලංකාවේ මේ යන විදිහත් එක්ක ඒ සිනමා නිර්මාණ අපිට කොයි කාලයේ තිරගත වෙයිද කියලා කියන්න බැහැනෙ. ඒක තමයි ක්ෂේත්‍රය ඇතුළේ තියෙන ප්‍රශ්නය. නමුත් මම ආසාවෙන් ඉන්නවා ඉදිරියටත් සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න. ඉතින් අපි බලමු ඉස්සරහට. මම ඒ කරපු නිර්මාණ එළියට එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.


තරුණියක් විදිහට, ඔබව බලන දකින දැයේ තරුණ තරුණියන්ට දෙන්න තියෙන උපදෙස මොකක්ද?

ඔබට මොකක් හරි අවස්ථාවක් ලැබුණානම් ඒ අවස්ථාව හරි විදිහට පාවිච්චි කරන්න කියලයි මම නිතරම කියන්නෙ. රඟපාන්න අවස්ථාවක් ලැබුණානම් තමන්ගේ දක්ෂතාවය විතරක් නෙවෙයි, එතැනින් එහාට තමන්ගේ විනය, කරන්න සිදුවෙන කැපකිරීම් ගැන කල්පනා කරන්න. ඒ වගේම තමන් නිරත ක්ෂේත්‍රයට ආදරය කරන්න. ඒ ගැන ඉගෙන ගන්න. මම දෙන ලොකුම අවවාදය තමයි තමන්ගේ අධ්‍යාපන කටයුතු නතර කරගන්න එපා කියන එක. සමහර ගෑනු ළමයින්ට අවුරුදු දාහතෙන්, දහ අටෙන් කලා ක්ෂේත්‍රයේ ඉඩක් ලැබුණම, එයා එයාගේ මුළු ජීවිතයම ක්ෂේත්‍රය කර ගන්නවා. එයාගේ අධ්‍යාපන කටයුතු, දෙමව්පියෝ, පවුල් සබඳතා, හැමදේම අතහැරලා ඒකම තමන්ගේ ජීවිතය කරගන්න අය ඉන්නවා. මම දැකලා තියෙනවා එහෙම අය. ඒ වගේම “අපි මෙහෙම අවස්ථා දෙන්නම්” කියලා ගෑනු ළමයින්ව අනවශ්‍ය සම්බන්ධතාවලට පොළඹවා ගන්න මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ඉතින් ඒ දේවල්වලට යන්නේ නැතුව හරියට මොළේ කල්පනා කරලා තමන්ගේ ජීවිතය හදාගන්න කියලා කියනවා.


• මංගලා පවිත්‍රානි

gossiplanka image 2
Previous Post Next Post