නන්නාඳුනන රටක අපි ලොකු කැපකිරීමක් කරලා තමයි මේ ජයග්‍රහණය ලැබුවේ - තරිඳු නිර්මාණ

gossiplanka image 1
තරිඳු නිර්මාණ ප්‍රමුඛ Knights සංගීත කණ්ඩායම මෙවර ඉන්දියාවේ පැවැති Battle of the Band International තරගයේ අවසන් වටයේ ඉහළ දක්ෂතා දක්වමින් දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. ඉන්දියාවේ දූර්දර්ශන් රූපවාහිනී නාළිකාව සහ සනිධප ආයතනය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය ලෝකයේ රටවල් රැසක සංගීත කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සිදුවිය. අවසන් වටයට තේරුණු ප්‍රබල කණ්ඩායම් පහක් සමඟ කරට කර සටන් කළ Knights සංගීත කණ්ඩායම අවසන් තරගයේදී ප්‍රබල සටනක් දෙමින් දෙවැනි ස්ථානයට පත්වීම ලාංකේය අප ලද අභිමානයකි. Battle of the Band International තරගයත් සමඟින් මුළු ලෝකයේම අවධානය දිනාගෙන සිටින Knights සංගීත කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියේ ද උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේය. කණ්ඩායමක් වශයෙන් ඔවුන් ලද ජයග්‍රහණය පිළිබඳව කණ්ඩායම් නායක තරිඳු නිර්මාණ අප හා මෙසේ සතුට බෙදාගත්තේය.



Battle of the Band International තරගය හරහා Knights සංගීත කණ්ඩායම ලෝකයේම අවධානය දිනාගත්තා කිවුවත් හරි. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?


Waves – 2025 සමුළුවට සමගාමීව ඉන්දියාවේ සරිගම ආයතනය සහ දූර්දර්ශන් රූපවාහිනී නාළිකාව එක්ව සංවිධානය කළ Battle of the Band International තරගය හරහා අපේ Knights සංගීත කණ්ඩායම ලෝකයේම අවධානයට ලක්වුණා. මේ තරගයට රටවල් තිහකට ආරාධනා ලැබිල තිබුණා. ඒ රටවල් තිහේම සංගීත කණ්ඩායම්වල පෆෝමින් විඩියෝ ගෙන්න ගෙන ඒ අතරින් දොළහක් තමයි ඉන්දියාවට ගෙන්නුවේ. අපිට දෙවැනි ස්ථානය ලැබීම ගැන ගොඩක් සතුටුයි. මෙහෙම තරගයක් තියෙනවා කියලා මුලින්ම ඔවුන් අපට දැනුම් දෙන්නේ ඊමේල් හරහා. ඊට පස්සේ අපි අපේ සංගීත කණ්ඩායම පෆෝම් කරන වීඩියෝ එකක් යැව්වා. මාර්ගගත ක්‍රමයට සම්මුඛ පරීක්ෂණ තියලා ඒ ඔස්සේ තමයි කණ්ඩායම් දොළහ තෝර ගන්නේ. අපේ රටේ කණ්ඩායම් තුනකට ආරාධනා ලැබිල තිබුණත් අපි විතරයි ඉල්ලුම් කරලා තිබුණේ.


තරගයට සහභාගී වුණු Knights සංගීත කණ්ඩායම ගැන කතා කළොත්?



අපි මේ බෑන්ඩ් එක හදලා මේ අවුරුද්දේ ජූලිවලට අවුරුදු තුනක් වෙනවා. මේ කෙටි කාලයට අපි ආපු දුර ගැන ඇත්තටම සතුටුයි. අපේ බෑන්ඩ් එකේ සාමාජිකයින් හත්දෙනෙක් හිටියත් තරගයට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ පස් දෙනෙකුට විතරයි. ඔවුන් ආරාධනා කරල තිබුණේ පස් දෙනෙකුට විතරයි. ප්‍රධාන ගායන ශිල්පියා වගේම කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන්නේ මම. ගිටාර් වාදනයෙන් සම්බන්ධ වෙන්නේ ගීසර විජේකෝන්. බේස් ගිටාරයෙන් දරිඳු පෙරේරා, ඩ්‍රම්ස් වාදනයෙන් රුක්ෂාන් සිල්වා, කීබෝඩ් වාදනයෙන් කවිෂ්ක අශාන්. ඊට අමතරව අරුන් ජෙරමි සහ ශිරන්ත ප්‍රනාන්දු අපේ කණ්ඩායමේ ඉන්නවා. අපි හත්දෙනා කතා කරලා තමයි යන පස්දෙනාව තෝරගත්තේ. මේ හැම දෙනාටම ගායනය පුළුවන් වුණත් මං තමයි ප්‍රධාන ගායකයා විදිහට කටයුතු කරන්නේ. මුලින්ම සංගීත කණ්ඩායම පටන් ගත්තෙත් සාමාජිකයින් හත්දෙනෙකුගෙන් . අදටත් ඉන්නෙ හත්දෙනයි. එකම වෙනස වුණේ මුලින් හිටිය කීබෝඩ් වාදන ශිල්පී හංසගේ ඉවත් වීම වෙනුවට කවිෂ්ක අපිත් එක්ක සම්බන්ධ වුණා.


Battle of the Band International තරග අත්දැකීම කොහොමද?



තරග වට දහයක් වගේ තිබුණා. ඒත් රූපවාහිනියේ විකාශය වුණේ වට අටයි. සම්පූර්ණයෙන්ම විනිශ්චය මණ්ඩලයේ තීරණය මත තමයි ජයග්‍රහණය තීරණය වෙන්නේ. සරිගම රෙකෝඩ් ලේබලයෙන් නිකුත් වුණු ගීත සහ අපේ ඔරිජිනල් ගීත විතරයි තරගය ඇතුළෙ ගායනයට අවසර ලැබුණේ. අපි අපේ ඔරිජිනල් ගීත දෙකක් ගායනා කළා. ‘මාතෘ භූමියයි උදාරවන්ත වූ’ ගීතය දෙවැනි වටයෙදි ගායනා කළා. හැමදාම සින්දු හතරක් විතර ප්‍රැක්ටිස් කරලා එයාලගේ මියුසික් පැනල් එකක් තියෙනවා ඒකෙ ප්ලේ කරලා පෙන්වන්න ඕන. එතැනදි එයාලා හොඳ ඒවා බලලා මෙන්න මේ සින්දුව මේ වටයට ගායනා කරන්න කියලා තෝරලා දෙනවා. දවස් දෙකක් ඇතුළත අපි ඊළඟ වටයට සූදානම් වෙන්නත් ඕන. සින්දුව පාඩම් කරගන්න, අලුතින් මියුසික් ඇරේන්ජ්මන්ට් හදාගෙන ප්‍රැක්ටිස් කරන්න අපිට දවස් දෙකයි ලැබෙන්නේ. හැමෝටම අවස්ථාව ලැබෙද්දි ඒ දවස් දෙකෙනුත් දවසට පැය දෙකක් වගේ තමයි අපිට ප්‍රැක්ටිස් වෙන්න ස්ටුඩියෝ එක ලැබෙන්නේ. නන්නාඳුනන රටක අපි ලොකු කැපකිරීමක් කරලා තමයි මේ ජයග්‍රහණය ලැබුවේ. මාර්තු 11 අපි ඉන්දියාවට ගියේ. මැයි 5 තමයි ලංකාවට ආවේ. ඒ මුළු කාලයම අපි ඉන්දියාවේ ගත කළේ. ලංකාවට ආවම තමයි සිංහල කතා කරන්න ලැබුණේ. නැත්නම් අපි පස්දෙනාට අපි පස්දෙනා විතරයි. ඉන්දියාවෙදි ලැබුණු ප්‍රතිචාර නම් අදහගන්නත් බැරි තරම්.


තරගකාරී අවසන් වටය මොන වගේ අභියෝගයක් වුණා ද කියලා කිව්වොත්?


අවසන් වටයට කණ්ඩායම් පහක් තේරුණා. අපිත් එක්ක මොරිෂස්වලින් කණ්ඩායම් දෙකක් තේරුණා. මාලදිවයින් කණ්ඩායමයි, නේපාලයේ කණ්ඩායමයි. ඒ පහ අතරින් තමයි පිළිවෙළින් ජයග්‍රාහකයින් තේරුවේ. ‘දේකානා හයරි’ ගීතයට අපි කලින් කියපු වැදි ගීතයක කොටසකුයි ‘ඌරි ඌරි බාබා’ ගීතයයි මික්ස් කරලා මාෂප් එකක් හදලා අවසන් වටයට ගායනා කළා. අපිට විනිසුරුවන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.


ලංකාවේ ගීත ඇහෙද්දි විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක් ද?


සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔවුන් කවදාවත් බලාපොරොත්තු වෙලා නෑ ලංකාවේ මියුසික් බෑන්ඩ් එකක් මෙහෙම හින්දි ගීත වාදනය කරාවි කියලා. ලංකාවේ අය කොහොමද හින්දි සින්දුවලට සිංහල සින්දු මික්ස් කරන්නේ, සිංහල සින්දුවලට මේ තරම් කල්චර් එකක් තියෙනවද කියලවත් එයාල දැනගෙන ඉඳලා නැහැ. රාජා හසන් සහ ශ්‍රද්ධා පාණ්ඩිත් කියන විනිසුරුකරුවන් දෙන්නා හැමදාම හිටියා. ඊට අමතරව හැම සතියෙම ගෙස්ට් ආර්ටිස්ට් කෙනෙක් ගෙන්නුවා. එයා ලෝක ප්‍රසිද්ධ කලාකරුවෙක්.



මේ ජයග්‍රහණයත් එක්ක ඔබේ සංගීත කණ්ඩායමේ වටිනාකම තවත් වැඩිවුණා නේද?



ඔව්. අනිවාර්යයෙන්ම. තරගයට යන්න කලින් ලංකාව ඇතුළෙ යම්කිසි මට්ටමකට වැඩ කරගෙන යන්න අපට ෂෝස් තිබුණා. වෙඩින්, එළිමහන් ප්‍රසංග වගේම ගෘහස්ථ ප්‍රසංග හොඳ මට්ටමකට තිබුණා. නමුත් මේ තරග ජයග්‍රහණය නිසා අපේ ජනප්‍රියත්වය දහස් ගුණයකින් වැඩි වුණා කිවුවත් හරි. ඒත් එක්කම තව වැඩ ගොඩක් ලැබුණා. රට රටවලිනුත් දැන් ගොඩක් ආරාධනා ලැබෙනවා. දැනට රටවල් හයකින් විතර ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව ලංකාවෙන් යන්න කලින් භාරගත්ත ඒවත් තියෙනවා. ඒවට සූදානම් වන ගමන්ම කලින් ඉඳන්ම කරගෙන ගිය අපේ ඔරිජිනල් සින්දු ගොඩක් ඉවර කරන්නත් තියෙනවා. ඒත් එක්කම ඉන්දියාවේ සරිගම ආයතනයත් එක්ක පටන් ගත්ත වැඩ වගයක් ඉවරකරන්න නැවත ඉන්දියාවට යන්නත් තියෙනවා. කාලය කළමනාකරණය කරගෙන මේ හැමදේම කරගන්න ඕන.


තරිඳුගේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීම ගැන සිහිපත් කළොත්?


මං ඉගෙන ගත්තේ කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ. කවදාවත් මං පාසලේ සංගීතය විෂයක් විදිහට හදාරලා නැහැ. නමුත් පල්ලියේ ගීතිකා ගයන්න හිටියා. ඒකෙන් තමයි ගීත ගයන්න ආසාව ඇතිවුණේ. උසස් පෙළ හදාරන කාලෙ තමයි සංගීතයට ආසාව ඇති වුණේ. පාසලේ පොඩි පොඩි වැඩවලට සම්බන්ධ වුණ නිසා පාසල ඇතුළේ පොඩි ජනප්‍රියත්වයක් ලැබුණා. ඊට පස්සේ අනෝජා වීරසිංහ මහත්මියගේ අභින ඇකඩමියට සම්බන්ධ වීමත් එක්ක තමයි පෆෝමින් පැත්ත ඉගෙන ගන්නේ. ඒ අතරේ හොටෙල්වල සින්දු කියන්නත් යනවා. තරගවලටත් ගියා. ගීත ගායනා කරන්න අවස්ථාව ලැබෙන්නේ කොහේද මං ඒ හැම එකකටම යනවා. එක එක සංගීත කණ්ඩායම්වල ගීත ගායනා කළා. ඒත් එක්කම තමයි කොරෝනා කාලේ මම වොයිස් ශ්‍රී ලංකා තරගයට ඉල්ලුම් කරන්නේ. වොයිස් ශ්‍රී ලංකා හරහා මට යම්කිසි ජනප්‍රියත්වයක් ලැබෙද්දී මං සම්බන්ධ වෙලා හිටිය සංගීත කණ්ඩායමෙන් මාව අයින් කළා. ඊට පස්සේ තමයි මම තීරණය කරන්නේ මගේම සංගීත කණ්ඩායමක් හදාගන්නවා කියලා. ඒ විදිහට තමයි Knights හැදෙන්නේ.



තරිඳු නිර්මාණ කියන චරිතය වොයිස් ශ්‍රී ලංකා තරගය හරහා යම්තාක් දුරකට මිනිසුන් අතරට යනවා?


ඔව්. පළමුවැනි අදියරේ මං අන්තිම දහසය දෙනා අතරට ආවා. ඒ හරහා යම්තාක් දුරකට හඳුනගත්තා වුණත් කොරෝනාවලට තිබුණු අවධානය වැඩි නිසා ලොකුවට ජනප්‍රිය වෙන්න කාලයක් තිබුණෙ නැහැ. නමුත් ඒක මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණා කිවුවත් හරි. මොකද Battle of the Band International තරගයට ආරාධනා කරන්න මූලික හේතුව වෙලා තිබුණේ මං වොයිස් ශ්‍රී ලංකා හරහා ලබාගත් ජනප්‍රියත්වය. ඔවුන් මගේ ප්‍රොෆයිල් එක බලලා තිබුණා.


මේ දිනවල ඔබ ලෝකය පුරා සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආදරය ලබනවා. ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්නත් ප්‍රේක්ෂකයින් කැමති ඇති?


මට ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි. ඊට අමතරව බල්ලො හතරදෙනෙක් ඉන්නවා. එයාලත් දැන් අපේම පවුලේ සාමාජිකයින් වගේ. Knights සංගීත කණ්ඩායමේ වැඩවලට අමතරව දැනට මම චරණ ටීවී නාළිකාවේ ප්‍රසන්ටර් කෙනෙක් විදිහටත් කටයුතු කරනවා. ‘යූත් ආර්ට් බීට්’ කියන වැඩසටහන ප්‍රසන්ට් කරන්නේ මම. ඒ වගේම පහුගිය දවස්වල අපිට ඉන්දියාවේ ජනප්‍රිය චරිත එක්කත් වැඩ කරන්න අවස්ථා ලැබුණා. මං අවුරුදු පහළොවක් විතර උත්සාහ කරලා තමයි මේ තැනට ආවේ. මං වොයිස් ශ්‍රී ලංකා ගියපු වෙලාවෙ මං වැඩ කරපු බෑන්ඩ් එකෙන් මාව අයින් කළ වෙලාවේ ලොකු කම්පනයක් ඇති වුණත් මං ඒකට මුහුණ දුන්නා. ඒකම තමයි අද මං මේ ඉන්න තත්ත්වයට අඩිතාලම වුණේ. ඒ නිසා මං හැමෝටම කියන්නේ කිසිම වැඩක් දුෂ්කරයි, අමාරුයි කියලා අතහරින්න එපා.


 

gossiplanka image 2
Previous Post Next Post