මම හැමදාමත් ආදරවන්තියක් - දිව්‍යශාරිකා බ්‍රෙන්ඩන්

gossiplanka image 1
ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා වියමන දේවි කුසුමාසන ලයිකා ප්‍රඩක්ෂන් නිෂ්පාදනයක් ලෙසින් මැයි 22 සිට රිදී තිරයට එනවා. හේමාල් රණසිංහ, උදාරි වර්ණකුල ප්‍රධාන චරිත මවන මෙහි එමානුවෙලාගේ චරිතෙට ජීවය දෙන්නේ දිව්‍යශාරිකා බ්‍රෙන්ඩන්. රූපවාහිනී තිරයෙන් නිවේදිකාවක් හා රංගන ශිල්පිණියක් ලෙස මින් පෙර ඇයව දැක තිබුණද රිදී තිරයෙන් දකින ප්‍රථම අවස්ථාව වන්නෙ දේවි කුසුමාසනයි. රසඳුන මේ කතාබහ දිව්‍යශාරිකා බ්‍රෙන්ඩන් සමඟ.


මේ දවස්වල මොකද වෙන්නෙ?


සුපුරුදු විදිහට ටෙලිනාට්‍යයවල සහ වේදිකාවේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ එක්කම යූත් ෆෙස්ටිවල් එකේ බෙස්ට් ප්‍රඩක්ෂන් එක වුණු ‘දුක්ගිනි සින්දර‘ නාට්‍යයේ ශෝ වලට සහභාගි වෙනවා. තව අලුත්ම වැඩක් ළඟදි පටන් ගන්න යනවා. ඒකටත් ලෑස්ති වෙනවා. මේ සියල්ල අතරේ නිවේදන කටයුතුත් කරගෙන ඉන්නවා.


දේවි කුසුමාසන හි ඔබයි එමානුවෙලා. කොහොමද මේ අවස්ථාව ලැබුණේ?



දේවි කුසුමාසන හි එමානුවෙලා වෙන්න මට ආරාධනාව ලැබුණේ ජයන්ත චන්ද්‍රසිරි සර් හරහා. සර් මට ඒ ඇරයුම කරලා තිබුණේ ඉන්ද්‍රජාලික පෙම්වතිය කියන වේදිකා නාට්‍යයේ මගේ රංගනය ගැන දැකලා.


මේ ඔබේ කී වෙනි ෆිල්ම් එක ද?


දේවි කුසුමාසන කියන්නෙ මගේ පළමු සිනමා නිර්මාණය.


ජයන්ත චන්ද්‍රසිරි මහතා එක්ක වැඩ කරන්න ලැබීම කොයි විදිහට ද දැනුණේ?


ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙම ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වගේම සුන්දර මනුස්සයෙක්. සොඳුරු අධ්‍යක්ෂවරයෙක්. ඔහු එක්ක වැඩ කරන්න ලැබීමම මට හරිම සතුටුයි. මගේ වෘත්තීය රංගන ජීවිතේ සුන්දරතම තැනක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් දේවි කුසුමාසන චිත්‍රපටය. මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. මම ගොඩක් ගෞරව කරන අධ්‍යක්ෂවරයෙක්. සර් එක්ක වැඩ කරද්දී අපි නොදන්න බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.


කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය කොහොමද?


ඇත්තටම කලාව කියන්නෙම සාමුහිකව කළ යුතු වැඩක්. කණ්ඩායම තුළ තිබ්බ සාමුහිකත්වය නිසා තමයි අපිට සාර්ථකම නිර්මාණයක් කරන්න හැකියාව ලැබුණේ. ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ සිනමා නිර්මාණය නිෂ්පාදනය කළ ලයිකා සමාගමට. අධ්‍යක්ෂණය කළ ජයන්ත චන්ද්‍රසිරි සර් ඇතුළු සමස්ත කණ්ඩායමටම. මට රඟපාන්න තිබුණේ හේමාල් අයියා එක්ක. එයාගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. හැමෝම එකාවන්ව උපරිමයෙන් වැඩ කළා.


අමතක නොවන අත්දැකීම් ඇති ?


අමතක නොවන අත්දැකීම තමයි එමානුවෙලා කියන්නෙම විදේශීය කාන්තාවක් නිසා මගේ සම්පූර්ණ කොණ්ඩයම දුඹුරු පැහැයට ගන්න ඕනේ වුණා. නමුත් ඒ දින වකවානුවලම මම නාට්‍යය දෙකක් හා සම්බන්ධ වෙලා හිටිය නිසා කාලය කළමනාකරණය කර ගැනීමේ ගැටලුවක් ආවා. නමුත් පසුව ඒ නාට්‍යවල අධ්‍යක්ෂවරුන්ගේ සහයෝගය ඇතුව එමානුවෙලාට සාර්ථකව ජීවය දෙන්න මට අවස්ථාව ලැබුණා.


කලාවට සම්බන්ධ වුණේ කොහොමද?


කලාවට එන්නේ වේදිකා නාට්‍යය හරහා. මම කැලණිය විශ්වවිද්‍යාලයේ දී හැදෑරුවෙත් නාට්‍ය හා රංග කලාව.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?


ඉදිරියට එන්න නියමිත නිර්මාණයක් තියෙනවා. ඒ ගැන දැන්ම නොකියා ඉදිරි දවසකම ඒ ගැන කියන්නම්.


පවුලේ විස්තර මොනවද?


අම්මයි මමයි නංගිලා දෙන්නයි ඉන්නෙ. නංගිලා දෙන්නා තවම ඉගෙන ගන්නවා.


රංගනයට අමතරව මොනවද කරන්නෙ?


මම රංගනය කරන්නෙ මගේ වෘත්තිය විදිහට. ඊට අමතරවයි නිවේදන කටයුතු කරන්නෙ. නිළියක් වීම ගැන සරලවම කියන්න තියෙන්නෙ සතුටුයි කියලා. මම ආදරේ කරන ගෞරව කරන විෂය තමයි රංගනය.


ආදරේ දකින්නෙ කොහොමද?


මම වැඩිය යාළුවො ආශ්‍රය කරන කෙනෙක් නෙවෙයි. මම තනියම ඉන්න හුරුවෙලා ඉන්න කෙනෙක්. මේ ලෝකේ ඕනෙම දෙයක් රඳා පවතින්නෙ ආදරේ මත. ආදරේ නැත්නම් පැවැත්මක් නැහැ. මම හැමදාමත් ආදරවන්තියක්.


මම කැමතිම දේ මානසික නිදහස සහ මානසික සතුට. ඒ නිසා මොන දේ තිබුණත් මානසික නිදහස සතුට නැත්නම් වැඩක් නැහැ.

Previous Post Next Post