
කාලයකට පස්සේ ඔබව නැවතත් පුංචි තිරයෙන් දකින්න ලැබෙනවා?
ඔව්, ඇත්තටම කාලයකට පස්සේ ටෙලි නිර්මාණයකට දායක වුණා. රාග තමයි ඒ ටෙලි නාට්‍යයේ නම. ඉතින් ඒකත් එක්ක තමයි මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යන්නේ.
ඉතින් කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඒ සඳහා ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම වගේ කියනවා ආපහු රඟපාන්න ආපු එක හොඳයි කියලා.
රාගහි ඔබ පවුලට සහ සැමියන්ට මැදිව පීඩනයට ලක්වෙන චරිතයක්. ඒ චරිතය ගොඩනැඟීමේදී ඔබ මුහුණ දුන් අභියෝග ගැනත් කතා නොකරම බැහැ?
ඒක ලොකු පීඩනයක් ඇතිව ගලාගෙන යන චරිතයක්. දෙපැත්තම බැලන්ස් කරන්න ඕනෑ. ගෙදර ප්‍රශ්න, සැමියගෙ ප්‍රශ්න සහ ආර්ථික ප්‍රශ්න මේ සියල්ල බැලන්ස් කරගෙන අනිත් අය දිහා වැරැදියට නොබලා ඉදිරියට යන චරිතයක් තමයි ඒක. නමුත් ඒ චරිතයට එල්ල වන මානසික පීඩනයත් එක්ක ඉදිරියේදී ඒ චරිතයේ චරිත ස්වභාවය මොන විධියට වෙනස් වෙයිද කියන එක දන්නේ නැහැ.
කාලයකට පස්සේ නිර්මාණයකට දායක වීම ගැන තිබෙන හැඟීම ගැනත් කතා කරමු?
ඇත්තටම මම සැරෙන් සැරේ නිර්මාණවලට දායක වුණා. විවාහයෙන් පස්සේ තමයි මං වැඩිම ටෙලි නාට්‍ය ප්‍රමාණයක රඟපාලා තියෙන්නේ. විවාහ වුණු අලුත පොඩි බ්‍රේක් එකක් ගත්තා. නමුත් ඊට පස්සේ නැවතත් නිර්මාණවලට දායක වුණා. මේ වතාවේ නම් අවුරුදු හතරකට විතර පස්සේ තමයි නැවතත් ටෙලි නිර්මාණයකට දායක වුණේ.
ලැබෙන ප්‍රතිචාරත් එක්ක රඟපෑමෙන් ඈත් වෙලා හිටියේ අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?
හිතෙනවා, ඇත්තටම එක දිගටම රඟපෑමේ කටයුතු කරගෙන ගියා නම් හොඳයි කියන එක හිතෙනවා. නමුත් ඉතින් පෞද්ගලිකව ගත්ත ඇතැම් තීරණ නිසා තමයි රඟපෑමෙන් ඈත් වෙලා හිටියේ.
ඉදිරියේදී ඔබව දිගටම ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙයිද?
ඔව්, ඉදිරියේදී මාව ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙයි. මොකද මං මේ වෙද්දී රාග ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙකක වැඩකටයුතු කරගෙන යනවා.
ඔබ මොන තරම් කාලයක් රංගනයෙන් ඈත් වෙලා සිටියත් ප්‍රේක්ෂකයන්ට ඔබව හැමදාමත් මතක තිබුණා.
ඒ ගැන මොකද හිතන්නේ?
ඔව්, ඇත්තටම ඒ නිසාම මට” මම ක්ෂේත්‍රයේ හිටියේ නැහැ කියල දැනුණේ නැහැ. මම අවුරුදු දෙකකින්ද, හතරකින් පහකින්ද ආපහු නාට්‍යයක රඟපාන්නේ, කොච්චර කාලයක් ගියත් එදා වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය අදටත් මට ඒ විධියටම ලැබෙනවා. ඒ ප්‍රතිචාරයන් ලැබෙන නිසා මට මම රඟපෑවේ නැහැ කියන එක ලොකුවටම දැනුණේ නැහැ. අමුතුවෙන් මිනිසුන්ගේ ආදරය ලැබෙන්න කියලා මොනවත් නොකළත්, ඔවුන්ගේ ආදරය මට හැමදාමත් එක විධියට ලැබුණා.
අද අලුතෙන් එන අයට ජනප්‍රියත්වයේ රඳවා ගැනීම ඉතාමත් අසීරුයි. නමුත් ඔබට ඉතාමත් පහසුවෙන් ඒ ජනප්‍රියත්වය හිමිවෙලා තිබෙනවා. මේකට හේතුව මොකක්ද?
අද කාලේ දාහක් අලුතෙන් ක්ෂේත්‍රයට ආවත් ඒ අතරින් කී දෙනාගෙද නම මතක හිටින්නේ. නැත්තං ඒ මිනිස්සුම ගිහිල්ලා කියන්න ඕනෑ ආ මමනේ අර අහවල් නාට්‍යයේ හිටියේ කියලා. ජයප්‍රියත්වය කියන්නේ ඒකට නෙවෙයි. ජනප්‍රියත්වය කියන්නේ අපේ නම කිව්ව ගමන් මිනිස්සුන්ගේ මතකයට එන එකට. ඉතිං මම කියන්නේ මේ ක්ෂේත්‍රයට එන්නත් පුළුවන් මේක ඇතුළෙ වැඩ කරන්නත් පුළුවන්, නමුත් තමන්ගේ ජනප්‍රියත්වය රඳා පවත්වා ගැනීම කියන කාරණය තිබෙන්නේ තමන්ගෙ අතේ. ඒකට ඉතින් දක්ෂතාව, වාසනාව කියන ඔය හැමදේම බලපානවා.
ඔබේ දියණිය දැන් ලොකුයි. ඔබේ රංගනයට ඇගේ ප්‍රතිචාරය මොන වගේද?
එයා මගේ නිර්මාණ බලනවා. බලන ගමන් හිනා වෙවී ඉන්නවා. දැන් නම් හැබැයි ඉතින් පොඩ්ඩ පොඩ්ඩ අඩුපාඩු එහෙමත් කියනවා. ඔය ඇඳුම හරියන්නේ නැහැ. ඔයා එතැන ගාලා තියෙන ලිප්ස්ටික් කලර් එක ඔයාට ගැළපෙන්නෙ නැහැ වගේ අඩුපාඩුත් කියනවා.
ඔබ දැක්ක දවසේ ඉඳන් තාමත් එක වගේ ලස්සනයි. විවාහ වුණා හෝ නොවුණා කාන්තාවකට තමන්ගේ පෙනුම පවත්වා ගැනීම මොන තරම් වැදගත්ද?
ඒක නම් මම හිතන්නේ මගේ උපතින් ලැබුණු දෙයක්. හැමෝම වගේ මට කියනවා මම තාමත් හිටියා වගේමයි කියන එක. ඒ වගේම මම මාව මට පුළුවන් හැටියට ගොඩක් මේන්ටේන් කරනවා. කන බොන දේවල්, ව්‍යායාම, ශරීරයට අවශ්‍ය විටමින්, රූපලාවණ්‍ය සත්කාර මේ හැමදේම මම අනුගමනය කරනවා. ඉස්සර තමයි විවාහයෙන් පස්සේ ගැහැනු අය දරුවෝ වෙනුවෙන්ම කැප වෙලා, හස්බන්ගේ වැඩ ගෙදර වැඩ විතරක් කරගෙන තමන්ව අමතක කරලා ජීවත් වුණේ. නමුත් දැන් වෙද්දි ඒ ආකල්ප බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා. තමන්ව මේන්ටේන් කිරීම මනුස්සයෙක්ට සතුටෙන් ජීවත්වීම කියන කාරණයේදී අතිශය වැදගත්. මට අනුව නම් මම අනෙක් අයව තෘප්තිමත් කරන්න කලින් මම සතුටින් ඉන්න ඕනෑ. තව කෙනෙක්ව සතුටු කරන්න කලින් මම සතුටු වෙලා ඉන්න ඕනෑ. නැත්නම් මට වෙන කිසිම කෙනෙක්ව සතුටු කරන්න බැහැ. මම දුක් වෙවී කොහොමද තව කෙනෙක්ව සතුටු කරන්නේ. අපිට අපේ පෙනුම ගැන, අපේ ඇතුළාන්තය ගැන සතුටු වෙන්න පුළුවන් නම් තමයි අපිට අනෙක් අයවත් සතුටු කරගෙන සතුටු පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. එතැනදී ඕනෑම කෙනෙක්ට තමන්ව ලස්සනට තියාගන්නවා කියන කාරණය අතිශය වැදගත්.
අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?
පහුගිය දවස්වල ටෙලි නිර්මාණ දෙකකට දායක වුණා. ඒවායේ කොටස් විස්ස විස්ස කරලා නතර කරලා තියෙන්නේ. ඉදිරියේදී ඒ නිර්මාණවලට නාලිකාවක් සහ විකාශන කාලයක් ලැබුණු ගමන් නැවතත් රූගත කිරීම් ආරම්භ වෙනවා.
අක්ෂි මාපා වීරසිංහ
