ටැලන්ට් එක පෙන්වන්න සීන් දෙක තුනකුත් ඇති-නිමන්ති පෝරගේ

gossiplanka image 1
නිමන්ති පෝරගේ නම් ප්‍රවීණ රංගන ශිල්පිනිය කලා ක්ෂේත්‍රය තුළ තිස් වසරකට ආසන්න කාලයක් තැබූ මතක සටහන් අපූරුය. ඒ නිසාම එදත් අදත් ඇය ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගන්නා බව නොරහසක්. හිරිපොද වැස්ස හා විසේකාරී ටෙලි නාට්‍ය හරහා මේ දිනවල ඔබේ ආලින්දයට එන ඇය මෙවර හදගැස්ම අප හා කළ කතාබහයි මේ.


මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද? 


මේ දවස්වල මම “හිරිපොද වැස්ස” ටෙලි නාට්‍යයේ සහ “විසේකාරි” ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා.


ඔබේ සැමියාගේ අධ්‍යක්ෂණය යටතේ රංගනයේ යෙදෙන ටෙලි නාට්‍යවල අත්දැකීම් මොනවගේද?


අපි තරුණ කාලයේ රඟපෑමේදී එකපාර ටෙලි නාට්‍ය තුන හතරක රඟපෑවා. ඒ කාලයේ මීට වඩා වෙනස්. මොකද ඒ කාලයේ තිබුණ ටෙලි නාට්‍ය දැන් වගේ මෙගා ටෙලි නාට්‍ය නෙවෙයි. ඒවා උපරිම කොටස් තිහකට වගේ තමයි සීමා වුණේ. නමුත් දැන් තිබෙන්නේ මෙගා ටෙලි නාට්‍ය නිසා නාළිකාවල ඉල්ලීම් මත, ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් මත අපට සීමාවක් නැතිව ඒ ටෙලි නාට්‍ය කරගෙන යන්න වෙනවා. ඉතින් මම රංගනයෙන් දායක වන මේ ටෙලි නාට්‍ය දෙකේ චරිත දෙක දෙවිධියක්. මේ ටෙලි නිර්මාණ නිෂ්පාදන කරන්නෙත් අපේ ආයතනයෙන්ම තමයි. විසේකාරි ටෙලි නාට්‍යයේ මම පණ පොවන්නේ බොහොම අසරණ වුණ අහිංසක මවකගේ චරිතයකට තමයි. නමුත් හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ ගොඩක් දරුණු නපුරු කුඩම්මා කෙනකුගේ චරිතයකට තමයි පණ පොවන්නේ. එකකට එකක් වෙනස් චරිත දෙකකට රංගන දායකත්වය ලබා දෙන්නට ලැබුණ එක ගැන සතුටුයි. 


ඔබ සිතන ආකාරයට වර්තමානයේ කලාකරුවාට ලැබිය යුතු නිසි ඇගැයීම් ලැබෙනවාද?


මම හිතන්නේ ඉස්සර කාලයට වඩා දැන් ඉන්න නළු නිළියන්ට ජනප්‍රිය වෙන්න ඕනෑ තරම් මාර්ග තිබෙනවා. සෝෂල් මීඩියා හරහා තමන්ටම තමන්ගේ වීඩියෝ දාන්න පුළුවන්. අපි ඒ කාලයේ නිර්මාණයක රංගනයේ යෙදුණම ඒක කවදා හෝ ටෙලිකාස්ට් වෙනකල් අපට ඉතුරු මුදල් ලැබුණේ නැහැ. අපට මුහුරත් උළෙල දවසේ ටෙලි නාට්‍යයම වෙනුවෙන් ඇඩ්වාන්ස් එකක් දෙනවා. ඊට පසුව ටෙලිකාස්ට් වුණාම තමයි ඉතුරු මුදල් ලැබෙන්නේ. ඉතින් අපි ඒ කාලයේ නිර්මාණයකට මුදලක් පොරොන්දු වුණොත් අව්ව, වැස්ස එක්ක කොච්චර කල් එහි ෂූටින් කරන්න වුණත් අපට ලැබෙන්නේ ඒ පොරොන්දු වුණු මුදල පමණයි. ඒ කාලයේ දින ගණනට නෙවෙයි කැරැක්ටර් එකට තමයි මුදල කියන්නේ. නමුත් දැන් කාලයේ නළු නිළියන්ට ආර්ථිකමය වශයෙනුත් ලොකු ඇගයීමක් ලැබෙනවා. මොකද ඔවුන්ට දවසට තමයි ගෙවන්නේ. ෂූට් එකේ දවස් ගණන වැඩිවෙන්න වැඩි වෙන්න ඔවුන්ට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මම හිතන්නේ ඉස්සර කාලයට වඩා දැන් රංගන ශිල්පීන් ශිල්පිනියන්ට හොඳ ආර්ථිකමය වටිනාකමක් ලැබෙනවා වගේම ඔවුන්ට අවස්ථාත් වැඩියි. 


නව පරපුරේ බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් කෙටි කලකින් ජනප්‍රිය වුවත් ක්ෂේත්‍රයේ රැඳෙන්නේ නෑ නේද?


ඔව්. ඒ රඳා පැවැත්ම තීරණය වන්නේ එක එක අයගේ ආකල්ප හා හැසිරීම් මත. මොකද සමහරු ඉක්මනට ජනප්‍රිය වුණාට පසුව තමන් ජනප්‍රිය වුණ නිර්මාණයටම බොරු කරනවා. මම දැන් මේ මගේ අදහස කියන්නේ කතා කරන්නේ නිෂ්පාදකවරියක් විධියට. පෞද්ගලිකව අපේ නිෂ්පාදන තුළම අපි අන්ත අසරණ වුණ අවස්ථා තිබෙනවා. මම සහ මගේ සැමියා ඇතුළු නිෂ්පාදක කණ්ඩායම එවැනි අවස්ථාවලට මුහුණදීලා තිබෙනවා. සමහර ආර්ටිස්ට්ලා උදේ හයට ලොකේෂන් එකට එනවා කියලා දුරකථන ඕෆ් කරලා ඉන්නවා නම් නිෂ්පාදකවරයා කොයිතරම් අසරණ වෙනවද? ඒ වෙද්දිත් අපි එදාට නියමිත සියළු ගෙවීම් කරලා. එහෙම වුණාම ලක්ෂ ගණනක් අපතේ යනවා. අපි මේ වගේ දේවල් ගැන කතා කළොත් කියන්නේ ප්‍රවීණයෝ නව පරපුරට ඊර්ෂ්‍යයි කියලා. රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ප්‍රේක්ෂකයන්ගේ ආශාව ලැබෙන තැනට ඔවුන්ව ගෙනෙන්නේ නිෂ්පාදකවරයා වියදම් කරලානේ. ඉතින් නිෂ්පාදකවරයාව රැක ගන්න ඕනෑ කියන සිතුවිල්ල රංගන ශිල්පීන් තුළ තිබෙන්න ඕනෑ දෙයක්. මම මේ හැමෝම ගැන නෙවෙයි සුළු පිරිසක් ගැනයි කියන්නේ. බොහෝ වෙලාවට මෑත කාලීනව බිහි වුණ අය අතර තමයි මෙවැනි අය ඉන්නේ. නමුත් ඒ අය අතරත් නව පරපුරේ බොහොම කැපවීමෙන් වැඩ කරන හොඳ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවා. ඒක තමයි රැඳෙන්නෙ නැති වීමට හේතුව වෙන්නේ. එහෙම වුණාම ඒ වගේ අය ආපහු වැඩකට ගන්නෙත් නැහැ. තවත් කෙනකු අහද්දී රෙකමන්ඩ් කරන්නෙත් නැහැනේ.


දක්ෂ රංගන ශිල්පිනියකට තම හැකියාවන් පෙන්වීමට අනු චරිතයක් වුවත් ප්‍රමාණවත්ද?


තමන්ගේ ටැලන්ට් එක පෙන්වන්න සීන් දෙකක් තුනක් තිබ්බත් ඇති. ඒ තුළ තමන්ට කළ හැකි උපරිමය කරන්න පුළුවන්. ජෝ අබේවික්‍රම මහත්තයා එක ෆිල්ම් එකක පිටුපස හැරිලා ඉන්න සීන් එකක ඇඟිලි ටික හොල්ලමින් හරි එයාගේ පැත්තට අවධානය ගන්නවා. අපේ ටැලන්ට් එක පෙන්වන්න නිර්මාණය පුරා ඉන්න ඕනෑ නෑ.


ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?


මේ දවස්වල විසේකාරී සහ හිරිපොද වැස්ස අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය දෙකක්. ඉතින් ඒ වැඩකටයුතු එක්ක අපි තව චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා තිබෙනවා. ඒක අධ්‍යක්ෂණය කළේ ලලිත් රත්නායක. තව මාසයක වගේ කාලයකින් රිලීස් කරන්න පුළුවන් වෙයි. තවත් අලුත් වැඩක රූගත කිරීම් කරන්නත් බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.

gossiplanka image 2
Previous Post Next Post