ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් මල බව සෑම කෙනෙක්ම හොඳින්ම දන්නවා කාරණාවක්. සිත් ආකර්ෂණය කරන වර්ණයකින් වගේම සිත නිවා සනසන සුවඳකින් සහ පෙනුමකින් යුතු නිල් මානෙල් මලක් බුදුන් පාමුල පුදන්න අකැමැති බෞද්ධයෙක් ඉඳීවි කියලා අපි හිතන්නේ නැහැ. ඇත්තටම ආගමික ස්ථාන ඉදිරියේ තියෙන මල් අලෙවිසල්වල නිතරම දැකගන්න ලැබෙන, වැඩිම මිලට විකිණෙන මල් අතර නිල් මානෙල් මලත් තියෙනවා. අද බුදුන් පුදන්න පමණක්ම නෙමෙයි විවිධ සැරසිලි සඳහා, ආහාරපාන නිෂ්පාදනයට, ඖෂධයක් ලෙසින්, රූපලාවණ්‍ය කටයුතු සඳහා මෙන්ම පිටරටට යැවීම සඳහාත් නිල් මානෙල් මල් යොදා ගන්නවා. ඒ තරමටම නිල් මානෙල් මල වටිනවා සහ ඒ මලට හොඳ ඉල්ලුමක් තියෙනවා.
ඉතින් වටිනාකම් බොහෝමයක් තිබෙන නිල් මානෙල් වගාවක් තමන්ගේ ගෙවත්තේම පටන් ගත්ත ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පිනියක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඇය නමින් නයෝමි තක්ෂිලා. නයෝමි තක්ෂිලාගේ නිල් මානෙල් වගාව ගැන මේ වන විටත් බොහෝ දෙනෙක් දන්නවා ඇති කියලා අපි හිතනවා. මොකද මේ දිනවල ඒ ගැන බොහෝ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. අද නයෝමි තක්ෂිලා ව්‍යාපාරයක් හැටියට මේ නිල් මානෙල් වගාව කරගෙන යනවා. ඇයගේ ගෙවත්තේ හැදෙන නිල් මානෙල් මල්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලත් අපට දැනගන්න ලැබුණා. බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් විවිධ ව්‍යාපාරවල නියැලෙද්දී, කවුරුත් ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැති නිල් මානෙල් වගාවක් ගැන හිතක් පහළ වුණේ ඇයි කියලා අපි මුලින්ම නයෝමිගෙන් ඇසුවා.
"ඇත්තටම අපේ නිල් මානෙල් වගාවේ ආරම්භය ගත්තේ අපේ අම්මා. ඇය බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ගොඩක් මල් ජාති වවන කෙනෙක්. මානෙල් පැළයක් හදාගත්තනම් නිල් මානෙල් මල් පූජා කරන්න පුළුවන් නේද කියලා ඇයට හිතිලා තිබුණා. ඒ අනුව අම්මයි තාත්තයි එකතු වෙලා වත්තේ පොඩි කොටසක නිල් මානෙල් පැළ කිහිපයක් වගා කළා. ඒ පැළ සරුවට වැවිලා මල් ගොඩක් පිපුණා. ඇත්තටම ඒ මල් දකිද්දිත් හිතට සතුටුයි. සැනසීමයි. ව්‍යාපාරයක් හැටියට මේ වගාව කරන්න හොඳයි කියලා තාත්තා යෝජනාවක් කළා. ඊට පස්සෙ තාත්තා සහ මම නිල් මානෙල් වගාව ගැන තවත් විස්තර හොයන්න ගත්තා. පූජා කරන්න වගේම තවත් නිෂ්පාදන බොහෝමයක් සඳහාත් පිටරට යවන්නත් නිල් මානෙල් මල් යොදා ගන්නවා කියලා අපට දැනගන්න ලැබුණා. ඒ වගේම මානෙල් මල් වගාව ගැනත් අපි බොහෝ විස්තර හෙව්වා. ඉන් පසුව මානෙල් වගාව ටිකෙන් ටික දියුණු කළා.’’
මේ වෙද්දි අනුරාධපුරයේ, නයෝමිගේ ගමේ අක්කර දහයකට ආසන්න භූමි ප්‍රදේශයක මානෙල් වගා කරලා තියෙනවා කියලා නයෝමි අපිට කිව්වා. බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට වගේම විවිධ උත්සව සඳහාත් දැන් නයෝමිලාට මානෙල් මල් ඇණවුම් බොහොමයක් ලැබෙනවාලු. ඊට අමතරව තවත් සමාගම් කිහිපයකටම නයෝමි මානෙල් මල් සැපැයීම සිදුකරනවා.
"අනුරාධපුරයට වන්දනාවේ එන බොහෝ දෙනෙක්ට අපි මානෙල් මල් සපයනවා. ඒ වගේම තමයි දැන් බොහෝ දෙනෙක් චෛත්‍යයක අනුරුවක් මානෙල් මල්වලින් හදලා පූජා කරන්න පුරුදු වෙලා ඉන්නවා. එක් එක් පුද්ගලයාගේ ඉල්ලීම අනුව අපි ඒ ආකාරයේ නිර්මාණත් කරනවා. ඊට අමතරව තවත් සමාගම් කිහිපයක් එක්කම එකතු වෙලා කටයුතු කරනවා. මානෙල් මල්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. අනෙක මලක් දකිද්දි, වගා කරද්දී හිතටත් සතුටුයි. ලොකු සැනසීමක් දැනෙනවා. මේ මානෙල් වගාවෙන් ආර්ථික ප්‍රතිලාභයක් වගේම මානසික සුව සහනයත් ලැබෙනවා.’’
රංගන ශිල්පිනියක් ලෙසින් කාර්යබහුල ජීවිතයක් ගෙවන නයෝමි මානෙල් වගාව සහ ඒ ව්‍යාපාරය කරගෙන යන්නේ කොහොමද කියලත් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. නයෝමි කියන විදියට මානෙල් වගාවේ වැඩකටයුතු බොහෝමයක් සිද්ධ වෙන්නේ නයෝමිගේ අම්මා සහ තාත්තා අතින්. නයෝමිගේ තාත්තා මේ වගා කටයුතු වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා කියලා නයෝමි අපිට කිව්වා. නයෝමිත් නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම තාත්තාට මේ වගා කටයුතු කරන්න සහයෝගය ලබා දෙනවලු.
"මම හිතුවේ නැති විදිහට අපේ වගාව සාර්ථක වුණා. මම social media වලට එකතු කරපු වීඩියෝවලින් බොහෝ දෙනෙක් ඒ ගැන දැනගත්තා. හොඳ ප්‍රතිචාර වගේම ලොකු ඉල්ලුමකුත් මානෙල් මල්වලට තියෙනවා. සමහරු කතා කරලා මේ මල් පැළ වගා කරන්නේ කොහොමද කියලා විස්තරත් අහනවා. තාත්තා නොමිලේම ඒ අයට අවශ්‍ය විස්තර ලබා දෙනවා. සමහර තැන්වලට ගිහින් අවශ්‍ය උපදෙස් ලබාදෙන අවස්ථාත් තියෙනවා. තාත්තා ඒ හැම දෙයක්ම කරන්නේ හරිම සතුටින්. ඇත්තටම කිව්වොත් අපි හැමෝම මේ වගාවත් එක්ක ගොඩක් බැඳිලා ඉන්නේ දැන්. සල්ලි ලැබෙනවා වගේම මල් එක්ක කාලය ගත කරද්දි හිතට සතුටකුත් දැනෙනවා. ගෙදර ගියාම මං වැඩිපුරම කාලයක් ඉන්නේ වත්ත පහළ තියෙන මානෙල් වගා කරලා තියෙන ගොවිපළේ. මේ ව්‍යාපාරය තවත් දියුණු කරලා පිටරටටත් මල් සැපැයීම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව."
රංගන ශිල්පිනියක් වුණත් තවත් ආදායම් මාර්ගයක් තිබීමේ වටිනාකම ගැනත් නයෝමි අපිත් එක්ක කතා කළා. ව්‍යාපාරයේ වැඩ කටයුතු නිසා ඉදිරියේදී රංගන කටයුතුවලින් නයෝමි ඈත් වෙයිද කියලත් සමහර ප්‍රේක්ෂකයන් අහනවනේ. ඒ ප්‍රශ්නයට ඇය අපිට දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්.
"ආර්ථික පැත්තෙන් හිතලා වෙනත් ව්‍යාපාරයකට යොමු වුණත් මම රඟපාන එක නතර කරන්නේ නැහැ. ඇත්තටම එහෙම රඟපාන එක නතර කරලා ඉන්නත් බෑ. මේ දිනවලත් මම R.A.T සහ රාග කියන ටෙලි නාට්‍ය දෙකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ ටෙලිනාට්‍ය දෙකටම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව චාලක රණසූරිය අයියාගේ වේදිකා නාට්‍යයකත් පුහුණුවීම් කරගෙන යනවා. අප්‍රේල් 8 අලුත් ටෙලිනාට්‍යයක් කරන්නත් සැලසුම් කරලා තියෙනවා. ඒ ගැන විස්තර මම ඉදිරියේදී කියන්නම්. කොහොම වුණත් මම මොන හේතුවටවත් රඟපාන එක නතර කරන්නේ නැහැ. ඒත් පහුගිය කාලෙ මම මාසයක දෙකකට විවේකයක් ගත්තා. මොකද කැම්පස් එකෙන් අවුට් වුණු තැන ඉඳලා මට නිර්මාණ බොහෝමයකට ආරාධනා ලැබුණා. ඇත්තටම ඒක මගේ වාසනාවක් කියලයි මම හිතන්නේ. එක දිගට වැඩ කරලා මහන්සි නිසා මමත් ටිකක් විවේක ගත්තා. ඒ කාලයේ උපාධියේ වැඩ කටයුතු ටිකත් සම්පූර්ණ කරගත්තා. දැන් ආයෙත් සුපුරුදු පරිදි රංගන වැඩ කටයුතුවලට අවධානය යොමු කරලා තියෙන්නේ. නිර්මාණවලට සම්බන්ධ වෙන අතරතුරම මගේ ව්‍යාපාරයේ වැඩ කටයුතු ටිකත් කරගෙන යනවා."
මේ දිනවල රාග ටෙලි නාට්‍යයේ නයෝමිගේ චරිතය ගැනත් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් කතා කරනවා. ස්පා එකක වැඩ කරන ගෑනු ළමයෙක්ගේ චරිතයක් තමයි නයෝමි එහිදී කරන්නේ. ඉතින් ඒ චරිතය නයෝමිට රංගන ජීවිතයේ ලැබුණු වෙනස් විදිහේ අත්දැකීමක්ලු.
"ළමා නිවාසයක හැදුණු වැඩුණු ළමයෙක් පසු කාලයක ස්පා එකක රැකියාවට යනවා. එතැනදි ඇයට ලොකු මුදලක් හදිසියේ ලැබෙනවා. ඒ මුදලත් හංගාගෙන අනෙක් අයටත් උදව් කරගෙන තනියම ජීවිතය ගැටගහගෙන යන තරුණියකගේ චරිතයකුයි මට කරන්න තියෙන්නේ. මෙහිදී ස්පාවල තරුණියන්ගේ හැසිරීම් මොන වගේද කියලා අධ්‍යයනය කරන්න අවස්ථාවක් මට ලැබුණා. ඒ වගේම ළමා නිවාසවල රූගත කිරීම් කරද්දි ඒ ළමයි කාලය ගත කරන්න සහ ඒ ළමයින්ගේ හැඟීම් සහ සිතුම් පැතුම් ගැන අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහේ අත්දැකීම් ගණනාවක් රාග ටෙලිනාට්‍යයේ චරිතයෙන් මට ලැබුණා."
රංගන ශිල්පිනියක් සහ ව්‍යාපාරිකාවක් ලෙසින් සාර්ථකත්වය කරා යන ගමනට සහකරුවෙක් එකතු කරගන්න කැමැති නැද්ද කියලත් අපි නයෝමිගෙන් ඇහුවා. නයෝමි ඒ ප්‍රශ්නයට දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්.
"සහකරුවෙක් හොයාගන්න බලාපොරොත්තුවක් නැහැ කිව්වත් ඒක බොරුවක්. තමන්ගේ ජීවිතයට ගැළපෙන හොඳ සහකරුවෙක් එකතු කරගෙන විවාහයට යන එක බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුවක්. ඒ හීනය මටත් තියෙනවා. ඒ හීනයට යන්න හරි කාලය එනකම් බලාගෙන ඉන්නවා. ඒ කාලය උදා වෙනකම් මම මුලින් සඳහන් කළා වගේ රංගන කටයුතු සහ ව්‍යාපාර කටයුතු ටික කර ගන්නවා. ඇත්තටම මගේ ව්‍යාපාර කටයුතුවලට තාත්තා සහ අම්මා ලොකු ශක්තියක් බවත් මම මේ වෙලාවේ මතක් කරනවා. ලංකාව තුළ වගේම ලෝකයට අපේ මානෙල් මල් බෙදා හරින්නේ කොහොමද කියන එක ගැනයි මේ දවස්වල අපි හිතන්නේ."